සෞඛ්‍යය අමාත්‍යාංශය වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා 
Posted on June 24th, 2022

වෛද්‍ය වසන්ත බණ්ඩාර ලේකම් දේශහිතෛෂි ජාතික ව්‍යාපාර Lanka Lead News

වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට විරුද්ධව එල්ල වූ චෝදනා පිළිබඳව කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ල කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යයවරයාට යැවූ ලිපිය…

ගරු සෞඛ්‍ය අමාත්‍ය,
කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 8

වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට විරුද්ධව එල්ල වූ චෝදනා පිළිබඳව කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වගකීම් පැහැර හැරීම පිළිබඳව

මුදල් විශුද්ධිකරණය සහ සිංහල මව්වරුන් පිරිසක් ඔවුන්ගේ කැමැත්ත නොමැතිව වඳභාවයට පත් කිරීම පිළිබඳව එල්ල වූ චෝදනා මත වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසුව සමස්ත ක්‍රියාවලිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නිසා මේ වනවිට සමාජයේ බරපතළ වැරදි මත වාද ප්‍රචලිත වෙමින් තිබේ. ඒ නිසා එම ක්‍රියාවලිය තුළ වින්දිතයන් බවට පත්වූ 800කට අධික මව්වරුන්ට බරපතල මානසික පීඩනයක් ඇතිවී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් පද්ධතිය තුළ සිදු වූ ක්‍රියාවලියක් මගින් යම් රෝගියෙකු හෝ රෝගීන් සමුහයක් වින්දිතයන් බවට පත් වුවහොත් ඊට අදාලව සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකීමෙන් බැඳී සිටින බව ඔබතුමා පිළිගන්නවා ඇත.

එසේම වෛද්‍ය මොහොමඩ් සාෆිට අදාලව ද අධිකරණ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විනය පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වනතුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු ලෙස සැලකිය යුතුය. ඔහුට ද සාධාරණය ඉටු වන්නේ එම පරීක්ෂණ වහා අවසන් කිරීම මගිනි. නමුත් චූදිතයා විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බලධාරීන්ට මුදල් පරිත්‍යාග කිරීම මගින් එම පරීක්ෂණ වලට බලපෑමක් එල්ල විය හැකි බව ඔබතුමා පිළිගන්නවා ඇත. විධායකය ඒ ආකාරයට වගකීම් විරහිතව චූදිතයෙකුගෙන් මුදල් ආධාරයක් ලබා ගැනීම මගින් සිදුකරන නොසැලකිලිමත් භාවය නිසා වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට ලක්වන බව ද පිළිගැනීමට සිදුවේ.

වෛද්‍ය මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කළ යුතු බව රාජ්‍ය පරිපාලනය පිළිබඳව අවම දැනුමක් ඇති නිලධාරියකුට වුවද වටහාගත හැකි කරුණකි. නමුත් විමර්ශන කටයුතු වලට වගකිවයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ නීති නිලධාරිනියගේ මැදිහත්වීම් මත චූදිතයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත. ඒ මගින් රජයට හිග වැටුප් ගෙවීමට බැඳීමක් ඇති වූ අතර වින්දිතයින්ට බරපතළ අගතියක් සිදුවිය. එසේම පරිපාලන ක්‍රියාවලියට අදාලව වැරදි පූර්වාදර්ශයක් ද අදාළ නිලධාරීන් විසින් සපයා ඇත. ඒ ආකාරයට එම නිලධාරීන් පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම නිසා වෛද්‍ය සාෆි ට හිග වැටුප් ගෙවීම සඳහා අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට හැකිවී ඇත.

නමුත් එම අධිකරණ නියෝගය මගින් මේ වන විට අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තකට හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු විනය පරීක්ෂණයට බාධාවක් එල්ල නොවේ. අභියාචනාධිකරණය මගින් අභ්‍යන්තර විනය පර්යේෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කටඋත්තර ලබා දෙන ලෙස වෛද්‍ය සාෆිට නියෝග කර ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට අධිකරණ නියෝගයකට යටත් ව විනය පරීක්ෂණයට මුහුණ දී සිටින චූදිතයාගෙන් විනය බලධාරීන් විසින් මුදල් පරිත්‍යාග ලබා ගැනීම සහ එසේ මුදල් පරිත්‍යාග කිරීම නීතියට කෙසේ වෙතත් සදාචාරයට සහ යහපාලනය ට පටහැනි බව ඔබ පිළිගන්නවා ඇත.
එම නිසා වහාම පහත සඳහන් පියවර ගැනීම මගින් වින්දිත මව්වරුන්ට සාධාරණය ඉටු කරන ලෙස අපි ඔබ තුමා ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

1) වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාගෙන් ලබාගත් මුදල් පරිත්‍යාගය විනය පරීක්ෂණ අවසන් වනතුරු චූදිතයා වෙත බාරදීම සහ එසේ මුදල් ලබා දීම සදාචාරාත්මක නොවන බව චූදිතයාට දන්වා සිටීම. විශේෂයෙන් ඔහුගේ ගිණුමට නොදන්නා පාර්ශවයකින් රුපියල් මිලියන 400ක් ලැබීමට අදාළව නඩු කටයුත්තක් පවතින තත්ත්වයක් තුළ එසේ මුදල් භාරගත නොහැකි බව ද ඔහුට දැන්විය හැක.

2) වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට එරෙහිව මෙතෙන් අවසන් කර නොමැති අදාල අභ්‍යන්තර විනය පරීක්ෂණය කඩිනම් කිරීම.

3) වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට චෝදනා එල්ල වීමෙන් පසුව වගකිව යුතු නිලධාරීන් පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කිරීම පිළිබඳව අදාල සියලුම නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

4) වින්දිත මව්වරුන්ට මානසිකව සහ මූල්‍යමය වශයෙන් සහන සැලසීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාර

20/06/2022

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress