ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරන “අරගලය” ඉංග්‍රීසි ජාතිවාදීන් පෝෂණය කිරීමටද?
Posted on July 9th, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

(ඉංග්‍රීසි ජාතිවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දීම වළක්වාගෙන ඇත. “නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්න ඉන් බිඳවැටී ඇත. මේ කෙටි ලිපිය ඒ ගැන පැහැදිලි කිරීමට සහ එය නිවැරදි කර නීතියේ පාලනය ස්ථාපිත කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටය.)

“නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්න පිළිගත් වලංගු නීති සිද්ධාන්තයකි. නීතියේ මූලාශ්‍ර 2කි. ඒ පාර්ලිමේන්තුව පනවන නීති සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය. පාර්ලිමේන්තුව පනවන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන සෑම තීරණයක්ම නීතිය ලෙස සළකනු ලබයි. ඒ අධිකරණ පූර්ව නිදර්ශන සිද්ධාන්තය  ක්‍රියාත්මක වීම තුළය.

පාර්ලිමේන්තුව පනවන නීති බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දුන්නද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දෙන්නේ නැත. ඒවා ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පනවන නීති හෝ නීති අර්ථනිරූපණ දැනගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණක් වන අතර, ඉංග්‍රීසි නොදන්නා ජනතාවට ඉන් බලවත් අසාධාරණයක් සිදුවේ. මෙය නිවැරදි කිරීමට අධිකරණ අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව ක්‍රියා නොකරන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ බලපෑම හේතුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීම මගින් “නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්න නිවැරදිව යොදාගත හැකිය.

පහළ අධිකරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් තීන්දු ලබා දුන්නාද, නීති මූලාශ්‍රයක් ලෙස සළකන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා නොදීම නීතියේ පාලනය දුර්වල කිරීමට හේතුවකි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන්නේත් හෝ එය නිවැරදි කරන්නේ නැත.

අරගලයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාව භාවිතා කරන භාෂාවෙන් ලබා දෙනවාද? එසේ නැත්නම් වර්තමානයේ මෙන් ඉංග්‍රීසි දන්නා සුලුතරයගේ භාෂාවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දෙනවාද යන්න විසඳා ගැනීම ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරනවා කියන අරගලයේදී පැහැදිලි කර ගැනීමෙන් ජනතාව කබලෙන් ලිපට වැටීමෙන් ගැලවිය හැකිය. නැත්නම් වන්නේ පෘතුගීසින් යවා ලංදේසීන් ආවාට වැඩි පාවාදීමක් අරගලයෙන් පසු ජනතාවට අත්විදීමට සිඳුවීමය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress