ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජා තන්ත්‍ර-නාස් ලණු-වාදය)
Posted on July 11th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්වීම part I

පොතක් වශයෙන් මා විසින් පිළියෙලකල ඉහත සඳහන් මාතෘකාව සහිත ලිපි එකතුවට ලියනලද හැඳින්වීම කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නේ ජූලි 9 දා සිදුවූ ජනාධිපති ගෝඨභයගේ ඉවත්කිරීම සමඟ රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය ඉදිරියේ එහි සඳහන් කර ඇති කරුණුවල වැදගත්කම නිසාය. අලිමිනිස් ගැටුම් ගැන ඇතිවූ පෙලපාලි මෙන් නොව, පෝර දියව් පෙළපාලි රෙජීම් චේන්ජ් එකක් සඳහා මානබලමින් සිටි රට කැබලිකිරීමේ දෙස්විදෙස් ව්යාපාරයට ඉණිමඟක් ලබාදුන්නේය. රටේ යහපත සඳහා සිස්ටම් චේන්ජ් එකක් වේවිද, නැද්ද යන්න නුදුරු අනාගතයේදී දැනගැනීමට හැකිවනු ඇත. ලංකාව ලෝකයේ වඳවෙමින් යන අතීත ශිෂ්ටාචාරයක් වන සිංහල බෞද්ධයාට ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල බව පෙන්වා දෙන්නට තරම් දණුමක් හෝ ආත්ම ශක්තියක් ඇති සිංහල බෞද්ධයෙක් මෙම අරගලයේ ඉන් පිට නැතිවීම ඛේදජනකය.

(1956 අප්රේල් මස මහ මැතිවරණයට පෙර බෙදාහරින ලද මෙම කාටූනය සංකේතවත් කලේ කළු සුද්දන්ගෙන් රට බේරා ගැනීමේ අවශ්යතාවයය. 2018 නොවැම්බර් ජනාධිපති මැතිවරණයෙන් පසු තරුණ තරුණියන් තාප්පවල, බිත්තිවල චිත් අඳිමින් ප්රදර්ශණය කලේද එම අභිප්රායමය).

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019

(මන්ත්‍රී ප්‍රජා-තන්ත්‍ර [නාස් ලණු] වාදය)

පටුන

1. හැඳින්වීම

2. කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය

1.බමුණු කුලය බිඳ වැටීම

2.වළාකුළක් ලණුවකින් බැඳගත හැකිද?

3.විදේශ අමාත්‍යාංශයට අබසරණයි

4.බුද්ධාගම කොට උඩ යවන්න හිතන තිසරණී

5.හින්දු-බෞද්ධ මිත්‍රත්වය

6.දොස්තර මහත්තයා හා වෙද මහත්තයා

7.රෙදි ගැලවීම නිසා යට ගවුමෙන් ඉන්නා කඳු

8.හාමුදුරුවරුන්ට 13 සංශෝධනය අමතකවීම

9.සිවුරු පොරවා ගත් කළුසුද්දෝ

3. ප්‍රජා-තන්ත්‍රවාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු

1.ලිප්බොක්කේ හිරවුණු බෝධිසත්ව නාගයා

2.බුදු දහම හා ප්‍රජාතන්ත්‍රවාදය

3.කොරෝනා-තන්ත්‍රවාදය

4.ඕ මයිගෝඩ් ලංකාව හා බුදු අම්මෝ ලංකාව

5.වැව් බැඳි රාජ්‍යය

4. කළු සුද්දන් නැටූ නාඩගම් හා ඒවාට මුහුණ දීම

          1. ඒකීය ශිරි ලංකාව මොන බම්බුවටද?

          2.දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම

3. ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ශාරියා මිණීමරුවන් කිරීම

4.මැකියාවේලි ශාස්ත්‍රය අනුගමනය කල මුවර් නායකයින්


5. ශාරියා/ඉකුවාන් ආක්රමණය: අගමැතිලා, ජනාධිපතිලා නාස්ලණු දමා ගැනීම

6.සිංහලයා ශ්රී ලාංකික කිරීමේ ව්යාපාරය, හා ගර්භාශ යුද්ධය

7.සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැඩීමේ ප්ලෑන

8.ඉංග්‍රිස් පාරුව කරට ගැනීම

9. සුප්‍රීම් උසාවිය හා පක්ෂ දේශපාලනය: නීතියේ ආධිපත්‍යය

10.ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය

5.  අපට මඟක් ඇතබුදු දහම හා තිරසර සංවර්ධනය

          1. පර සුද්දාපර මන්ත්රීපර කළුසුද්දා

2.රටවල් අසමත් වන්නේ ඇයිධර්මපාලතුමා ලොවට දුන් දායාදය

          3. ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්මපාලතුමා මුණගැසීම

          4.පොසොන් ආක්රමණය

5.පන්සල් අතරමංකල ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්ධයා

6. බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට ඇයි මච්චර ලොල්!

7. රට ගොඩගන්නට වෙහෙසුණ කළුකොඳයාවේ මහනාහිමි

හැඳින්විම

අසිරිමත් ලංකාව: අනුරාධපුර-පොළොන්නරු රාජධානි

යම් රටක ඉතිහාසය වනාහි ඒ රටේ අතීත භූගෝල විද්‍යාවය. අතීතයේ පැවති ආර්ථික, දේශපාලන, ආගමික, සාමාජික ක්‍රියාදාමයන්  පොළෝ තලය මතුපිට ඇතිකල රටා (landscape patterns), ඒ, ඒ කාලවල පැවති භූගෝල විද්‍යාව හෙවත් මිනිසා හා ඔහුගේ/ඇගේ පරිසරය අතර පැවති අන්තර් සම්බන්ධතාවයේ ප්‍රතිඵල විය. මෙම සම්බන්ධකම් පිළිඹඳ ශාක්ෂි පුරාවිද්‍යාවෙන් හා මහාවංශය වැනි ලේඛන මඟින් අපට දැනගන්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, ඉන්දියාවේ අශෝක අධිරාජයා කවුරුන්දැයි හඳුනාගත්තේ ලංකාවේ මහාවංශය මඟින්ය. ඉතිහාසඥයින් විසින් මෙම අතීතය, අවධි, යුග, කාල, හෝ සම වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගන්නේ ඒ කාලවල පැවති විශේෂ භූගෝලවිද්‍යාත්මක සාධක අනුව යමින්ය. උදාහරණයක් වශයෙන් අනුරාධපුර යුගය, පොලොන්නරු යුගය, දඹදෙණි, කෝට්ටේ, කන්ද උඩරට යනු යම් නගරයක්/රාජධානියක් හා බැඳී තිබූ භෞතික-සාමාජික පද්ධතිය.

1505-1948

1505 දී බටහිර ජාතීන්ගේ ආගමනයත් සමඟ, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි සමය වශයෙන් රටේ ඉතිහාසය කොටස් කරගෙන ඇත. ශත වර්ෂ  පහකට ආසන්න මේ යුග තුන ඊටම ආවේණික විශේෂ ලක්ෂණ වලින් යුක්ත වුවත්, තුනටම පොදු නිර්ණායක වූයේ, ක්‍රිස්තියානි ලබ්ධිය පැතිරවීම, යටත් වැසියා ශීලාචාර කිරීම, සංඝ සමාජය හා ජනයා බැඳ තැබූ මුර දේවතා සංකල්පයට හානි කිරීම, රට වැසියාගේ සිත් තුලට හීනමානයක් රිංගවීම හා රටේ සම්පත් සූරාකෑම වැනි කාරණාය.  1948 න් පසුව උදාවූයේ නිදහස් සමය යයි ව්‍යවහාරවේ. සමහරු ‘නිදහස් සටනක්’ ගැනත්, තවත් සමහරු ‘පෙත්සම් ගසා ලබාගත් නිදහස’ පිළිඹඳවත් ලියයි. එසේ වෙතත් නිදහස ලැබුණේ කාටද යන ප්‍රශ්ණය, සුද්දන් විසින් නිදහස ලබාදී ගියේ කාටද යන ප්‍රශ්ණයත්, සුද්දා හිටියානම් මීට වඩා හොඳයි යන කියමනත් සමඟ ගලපා ගත යුතුව ඇත.

1948-2022

1802 න් පසු ලංකාවේ ඉතිහාසය රටේ පන්සල් (හාමුදුරුවරුන්) හා සුද්දන්/කළුසුද්දන් අතර පැවති අඛණ්ඩ අරගලයක් නොවේද යනුවෙන් සළකණ විට, එකිනෙක හා බැඳුණු අවධි රැසක්ම ඒ තුල හඳුනා ගැනීමට හැකිය. 1948 න් පසු කාලය, විශේෂයෙන් 1978 න් පසු කාලය, රටේ සිංහල බෞද්ධ සමාජයට බෙහෙවින් අශුභදායී අඩසියවසක් විය. මෙම 1948 න් පසු කාලය ‘ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය’ වශයෙන් හඳුනාගත ගත නොහැකිද යනුවෙන්, 2014 වර්ෂයේදී පමණ සිට මට ඇතිවූ කුකුස, දැන් 2022 වනවිට, ‘මුන් අවුරුදු 75 ක් පුරාම රට කෑවා,’ ‘මුන් 225 ම එපා,’ යනුවෙන් අසන්නට ලැබෙන මැසිවිලි, සටන් පාඨ, සමඟ සම්බන්ධ කල හැකියයි සිතේ. මෙම මාතෘකාව, දෙස් විදෙස් පොත් ලියන්නන් විසින් සිතා මතාම මගහරින, කර අරින, තහනම් ගහක් වැනිය. ප්‍රභූ පැලැන්තියේ නැඟීම යන කතාව යටින් සැඟවී ඇති සත්‍යය වන්නේ කළු සුද්දන්ගේ සම්භවය, නැඟීසිටීම හා බලයට ඒමය  (Michael  Roberts,  Elite  Formation  and  Elites,  1832–1931,”  in  History  of   Ceylon, ed.  Kingsley M.  De Silva (Peradeniya:  University of Peradeniya, 1973).

මහාවංශ විරෝධී පොත්

මෑත කාලයේ ලංකා සමාජයට, ඉතිහාසයට අදාලව ලියන ලද පොත් පත් ප්‍රමාණය අති විශාලය. මේ කිසිවක් 1948 න් පසු කාලය කළු සුද්දන්ගේ පාලන සමයක් ලෙස විමසා බලා නැත. ඒ වෙනුවට රටතුල හා රටින් පිට පොත් රාක්ක පිරී තිබෙන්නේ ලංකාවේ දමිළ ජනයාගේ දුක, ඔවුන්ට රටේ මහජාතිය වන සිංහලයින්ගෙන් (සිංහල බෞද්ධයින්ගෙන්) සිදුවුනා, සිදුවෙනවා, යයි කියන අසාධාරණ කම් හුවා දක්වන කතා අඩංගු පොත් වලින්ය. දමිළ ජාතිකයින් විසින් ලියා ඇති මෙම පොත් සම්භාරයේ එක් ප්‍රධාන කෘතියක් වන්නේ ඇමෙරිකාවේ හාවඩ් යුනිවර්සිටියේ පලපැදියම්ව සිටි, ක්‍රිස්තියානි දමිළ, ස්ටැන්ලි තම්බයියා විසින් ලියන ලද බුඩිසම් බිට්‍රේයිඩ් (Buddhism Betrayed, 1992) යන ග්‍රන්ථයය (මෙම පොතේ ඇති සාවද්‍ය, අර්ධ සත්‍ය, කරුණු ගැන ඔහු ජීවත්ව සිටියදී මවිසින් ඊමේල් මඟින් ඔහුට දැණුම් දුන්නේය). කුඩා ළමයෙක් මෙන් ඔහු අසන්නේ අහිංසාවාදී යයි පවසන බෞද්ධයින් මිනිසුන් මරන්නේ මන්ද කියාය. යාපනේ තිබෙන උග්‍ර කුල භේදය ගැන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරණවා වෙනුවට, වෙල්ලාල ඔහු, තායිලන්තයේ ථේරවාද බුද්ධාගම ගැන හොයන්නට ගියේ, D. C.  විජේවර්ධන විසින් 1953  දී ලියූ Dharma Vijaya (Triumph of Righteousness) or The Revolt in the Temple යන පොතට වඩා, The Betrayal of Buddhism යන  Buddhist Commission (1956) වාර්තාව කියවූ නිසා විය හැකිය.

සිංහල බෞද්ධයා නමැති මුව හමට තඩිබාමින්, ලන්ඩන් වල තම සුදු මව සමඟ හැදුන වැඩුන විශාඛා කුමාරි ජයවර්ධන (සොයිසා) විසින් පොත් කීපයක්ම ලියා ඇත. ඒවායේ ආරම්භය ඇගේ ආචාර්ය උපාධි නිබන්ධනය  ආශ්‍රිත, The rise of the labor movement in Ceylon (1972) යන පොතය. මෙම පොතෙන් ඇය සිංහලයින් උග්‍රජාතිභේදවාදීන් (chauvinists) ලෙස හංවඩු ගැසීමේ ඇගේ මාක්ස්වාදී ගමනට ප්‍රවේශයක් ගත්තේය. ඉහතින් සඳහන් තම්බයියාගේ පොතේ පිටකවරයට, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ යක්ෂාරූඪවූවා වැනි ආකාරයේ මුහුණක් පෙන්වන පින්තූරයක් සැපයූවේ ඇයය. එය කෙතරම් අපහාසාත්මක හා ආන්දෝලාත්මක වූවේද යත් රජය විසින් එම පොත තහනම් කරණ ලදී. ඇගේ සැමියා වන ලාල් ජයවර්ධන තම්බයියාගේ පොත මුද්‍රණයට ඩොලර් සපයා ඊට පෙරවදනක්ද ලියුවේය. ඇය මිලින්ද මොරගොඩගේ නැන්දා බව මෙහිදී සඳහන් කලයුතු වන්නේ මෙම පිරිස් අතර ඇති නෑ සබඳකම්, මිත්‍රත්ව, අන්තර් සම්බන්ධතා (networks) පෙන්වා දීමටය. උතුරේ මහ ඇමතිව සිටි විග්නේශ්වරන් විසින් දමිළයින්ව සමූළඝාතනය (genocide) කරනවා යයි කිසිදු  ලැජ්ජා භයකින් තොරව යෝජනා පාස් කලේ, ඈ වැනියවුන් විසින් දුන් තල්ලුව, සුනිල් ආරියරත්නගේ දෙමළ බෞද්ධයා නම් පොත සමඟ පටලවා ගනිමින්ය.

තම්බයියා-ගණනාත් ඔබේසේකර-A.J විල්සන් (ත-ග-වි) යන ත්‍රිත්වය ප්‍රමුඛ මෙම එකිනෙකාගේ පිටවල් කසා ගන්නන්ගේ ව්‍යාපාරයේ තවත් තද බල පුරුකක් වූයේ ඇමෙරිකාවේ වසන හිටපු මහාචාර්ය, H.L. සෙනෙවිරත්නය. මාක්ස්වාදී පසුබිමක් ඇති ඔහු විසින් ලියන ලද, ද වර්ක් ඔෆ් කින්ස් (2000) යන පොතට අනුව වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම යන හාමුදුරුවරුන් දෙනම ලංකාවට 1956 න් පසු සිදුවූවායයි ඔහු සිතන නැස්පැත්තියේ වග උත්තර කරුවන්ය! ගාල්ලේ පාසැලකට ගිය, දැන් ඕස්ට්‍රේලියාවේ වසන මයිකල් රොබට්ස් කරාවේ කුලයේ ඉතිහාස කතාව ලියමින් ආරම්භකල ගමන අවසානවූයේ ඕස්ට්‍රේලියාවට ගොස් ‘තුප්පහියා’ යන නමින් වෙබ් අඩවියක්ද නිර්මාණය කරගෙනය. ඔහුට අනුව අනාගාරික ධර්මපාල යනු  ‘අපි සිංහල’  (we Sinhalese) කියා (1912 දී) ඉංග්‍රීසියෙන් ලියූ සිංහල ජාතිවාදියෙකි. ඩොනමෝර් යුගයේ ජාතිවාදී දේශපාලනය ගැන අපක්ෂපාති ආචාර්ය නිබන්ධනයක් ලියූ ජේන් රසල් විසින් මෑතකදී කාරණා පහදාදීමෙන් පසු, ඔහු දැන් දැන් ඔහුගේ දමිළ ලෙන්ගතුකම යම් තරමකින්වත් අකුලා ගෙන ඇත. සිංහල ගැමි ව්‍යවහාරයට අනුව තුප්පහියා කියන්නේ සංකර, අසංවර, ජාතියක්-ජම්මයක් නැති කළු සුද්දෙකුට මිස බර්ගර් වාර්ගිකයෙකුට නොවේ. ජාතික ගීය දෙමළෙන් ගයන්නට සටන් කල රොබට්ස් ඔහුටම තුප්පහියා කියා ගැනීම ඔහුටම ඔහු ලබා දෙන හීනමාන දඬුවමක් වැනිය!

ඉහතින් සඳහන් ලංකාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවූ ත-ග-වි ත්‍රිත්වයේ පොත් කියවු ඇමෙරිකාවේ හා යුරෝපයේ සුදු පෘතග්ජනයින් ලංකාවේ දමිළ අර්බුදය තම පර්යේෂණ පිණිස තෝතැන්නක් කරගත්තේය. මේ මඟින් ඔවුන් නොයෙක් ප්‍රතිලාභද උපයා ගත්තේය. ඔවුන්ගෙන් සිංහල බෞද්ධයාට සාධාරණයක් ඉටුවූයේ නැත. ඔවුන්ගෙන් සමහරු ඇමෙරිකන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ලබා ලංකාවට ආ අයය. තවත් සමහරු ඇමෙරිකන් සාම හමුදාවේ (Peace Corp) සේවකයින් විය. 1962-64 කාලයේ ලංකාවේ සිටි පැට්‍රික් පීබල්ස්, ලංකාවේ ඉතිහාසය පිළිඹඳව ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියූ ප්‍රථමයාය. ඔහු ලංකාවේ මුදලි වරු ගැනත්, රොබට් නොක්ස් ගේ ඉතිහාසය ගැනත් ලියුවේය. ඔහුත්, රොබට් කර්නිත් (Robert Kearney, The Politics of Ceylon, 1973), ‘දමිළ උණකින්’ නොපෙළී, අපක්ෂපාතී ලෙස රට දෙස බැලූ විදේශිකයින් අතුරෙන් උදාහරණ දෙකකි. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ලංකාවට ආ, පසුව 1977-79 කාලයේ ලංකාවේ ඇමෙරිකන් තානාපතිවු  හොවාර්ඩ් රිගින්ස් ලංකාවේ මෑත ඉතිහාසය ගැන, ලංකාව මුහුණ දෙන ප්‍රශ්ණ ගැන, වටිනා පොතක් ලියුවේය (William Howard Wriggins,  Ceylon: Dilemmas of a New Nation (1960). මෙම පොතේ ඔහු ඉතාමත් සරලව පෙන්වා දුන් රෝග නිධාන කාරණා ටික වත් රටේ කළු සුද්දන් තේරුම් ගත්තා නම් රට මෙවැනි අගාධයකට වැටෙන්නේ නැත.

වල්පොළ රාහුල හිමියන් විසින් උන්වහන්සේගේ ආචාර්ය උපා.ධි නිබන්ධනය, ‘ලක්දිව බුදු සමයේ ඉතිහාසය,’ පොතක් වශයෙන් සිංහල භාෂාවට පෙරලා, 1955 දී ප්‍රසිද්ධකරණ ලදී. එහි ඇති ‘පැරණි ලංකාව’ යන සිතියමට දැන් 2022 වනවිට ඇති ඓතිහාසික වටිනාකම කියා නිමකල නොහැකිය අනාගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයෙකුවූ, කලින් මහණව සිටි, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද විසින් ලියනලද ඉතිහාස පොත් ප්‍රමාණය අති විශාලය. ඉන්දියාව හා ලංකාව අතර ඇති කොදෙව් (දූපත්) වල, රටට ඇති ආරක්ෂක වැදගත්කම සම්බන්ධයෙන් ඔහු පලකල අනාවැකි දැන් 2022 මැදදී සැබෑවෙමින් පවතී. කච්චතිව් දූපත ඉන්දියාවෙන් ලංකාවට තෑගි දුන්නා යන දුර්මතය ඉන්දියා මාධ්‍ය විසින් පතුරවමින් සිටී. (ද්‍රවිඩ මුනේත්‍ර කලාගම් ව්‍යාපාරය හා සිංහලයාගේ අනාගතය, 1965?). ලංකාවේ ඉතිහාසය පිළිඹඳව මහාචාර්ය කින්ස්ලි ද සිල්වා විසින් ලියා ඇති පොත් හා ලිපිලේඛන සංඛ්‍යාව අති විශාලය. භූගෝල විද්‍යා මහාචර්ය වරයෙකුවූ ජෙරල්ඩ් පීරිස් විසින් ද ඉතිහාසය දෙස භූගෝල විද්‍යා අක්ෂියෙන් බලා පොත් ලියා ඇත.  වෙනත් බොහෝ අයද ඉතිහාසය ගැන ලියා ඇතත් ඒ ඉතා පටු මාතෘකාවකින් කල පර්යේෂණ නිබන්ධන වශයෙනි. 

එහෙත් විශ්‍රාමික ජනාධිපති (R. ප්‍රේමදාසගේ) ලේකම් K.H.J. විජේදාස විසින් ලියන ලද සිංහල ජාතිය පාවාදීම-ISGA- (Betrayal of the Sinhala Nation, 2005) හා  මනෝහර ද සිල්වා විසින් ලියන ලද  බෙදුවාදයේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධනය (The strategy of separatists and Constitutional Amendments, 2017) යන පොත් දෙක කළු සුද්දන්ගේ ජාති භ්‍රෂ්ට හැසිරීම පිළිඹඳ වාර්තාවන්ය. සිය ජීවිතයට 1988/9 කාලයේ එල්ලවූ මරණ තර්ජන නිසා ලන්ඩන් වල ජීවත්වීමට සිදුවූ ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් 1958 දී ලියනලද විහාර නීති විත්ති යන පර්යේෂණ කෘතිය ලංකාවේ සංඝ සංස්ථාවට සුද්දගේ නීතිය මඟින් දිගින් දිගටම කල හානිය විග්‍රහ කලේය. එය නිවැරදි කිරීමට සිංහල බෞද්ධ යයි කියනා පක්ෂ දේශපාලකයින් මෙතෙක් අසමත්වී ඇත. ඔහු විසින් ලන්ඩන් සිට ලියන ලද  A lost generation: Sri Lanka in crisis : the untold story (1998) යන  පොත මට කියවීමට නොහැකිවිය.  ලංකාවේ උතුර-නැඟෙනහිර පුරාවිද්‍යා ඉතිහාසය, සිය ජීවිතය පරදුවට තබා, වලසුන්, නයින් හා ප්‍රභාකරන්ගේ කොටින්ගෙන් ගැලවී ජාතියට එකතුකර දීමට  පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් විසින් ගත් උත්සාහයට එක් නිදසුණක් නම්, උතුරු-නැඟෙනහිර පලාත්වල සිංහල බෞද්ධ උරුමය (2005) යන පර්යේෂණ කෘතියය.

චරිත කතා පොත්

ලංකාවේ මෑත ඉතිහාසය පිළිඹඳ වැදගත් කාරණා සහිත චරිත කතා පොත් අතරින් තුනකින් කළු සුද්දන්ගේ ක්‍රියාකලාපය අනියම් ආකාරයෙන් එලිදරව්වේ. ඉහතින් සඳහන් හොවාර්ඩ් රිගන්ස්, ඉතිහාසඥ K.M.de සිල්වා සමඟ ලියන ලද J.R. ජයවර්ධන (1906-89) චරිතාපදානය J.R. Jayewardene of Sri Lanka a Political Biography: 1906-1956-1989 (J. R. Jayewardene of Sri Lanka (1988/1995) නම් විශාල පොතට අනුව JR කිසිම දේශපාලන පවක් නොකල ශාන්තුවරයෙකුසේ සුදුහුණු ගෑමකට ලක්කර ඇතත්, එහි අන්තර්ගත තොරතුරු රටේ ඉතිහාස පොතක් කියවනවා වැනිය. බණ්ඩාරනායක පවුලේ යැස්මින් ගුණරත්න විසින් ලියන ලද පොතද කළු සුද්දන්ගේ ජීවන ක්‍රමය දිගහැර පෑ නිර්ව්‍යාජ විස්තරයකි Yasmine Gooneratne,  Relative Merits: A Personal Memoir Of The Bandaranaike Family Of Sri Lanka (1986). සුප්‍රීම් උසාවියේ නඩුකාරයෙකුගේ පුතෙකුවූ,  ජාතික හෙළ උරුමය (සීහල උරුමය)  පක්ෂය පිහිටුවීමේලා පුරෝගාමියෙකුවූ ලක්ෂ්මන් ගුණසේකර විසින් ලියන ලද පොත් අතරින් ලංකාවේ නඩුකාරවරු, අගමැතිලා හා ඇමෙරිකන් තානාපති කාර්යාල හැසිරෙන ආකාරය පිළිඹඳව ලියන ලද, Lore of the Law and Other Memories,  S. L. Gunasekara, (2011),  යන පොත කළු සුද්දන්ගේ පාලන සමයේ එක් පැත්තක අඳුර එලිකරදේ. ඔහුගේ අද්විතීය සේවය සම්බන්ධයෙන්, රටේ කළු සුදු පොත් ලියන්නන් හා NGO නඩ ගැන රට දැනුවත් කල විදුලි ඉන්ජිනේරු කමින් සාමාජ දේශපාලන විද්‍යා  පැත්තට මාරුවුන සුසන්තා ගුණතිලක විසින් ලියූ ලිපියක් මෙම හැඳින්වීමට පහළින් කොපි කලේ ඒ දෙන්නාගේ ජාතික සේවය අමතක නොකල යුතු නිසාය.

කළුකොඳයාවේ ප්‍රඥාශේඛර මහනාහිමි

කළු සුද්දන් යන යෙදුම මුලින්ම භාවිතාකලේ ඉන්දියාවේ දුඹුරු පාට බ්‍රිතාන්‍යයින් බිහිකිරීම සඳහා, 1835 දී අධ්‍යාපන වාර්තාවක් (the Education Minute) ඉදිරිපත් කල  මැකෝලි සාමිය (1832 දී කෝල්බෲක් සාමි මෙය ලංකා කොලනියට නිර්දේශ කලේය). සුද්දන් විසින් බෝකල කළු සුද්දන්ට සුද්දන් විසින් අනාගතයේදී රට භාරදී යන විට වන විනාශය අනාගාරික ධර්මපාලතුමා විසින් 1920 ගණන් වල සිටම පෙන්වා දුන්නේය. සුද්දන්ටත් වඩා එතුමාට වටකරගෙන පහර දුන්නේ, නින්දා අපහාස කලේ රටේ කළු සුද්දන් කල්ලිය,  එතුමාගේ මඟ අනුව යමින්  ප්‍රායෝගිකව බිම් මට්ටමින් කළු සුද්දන්ට වෙනස් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත  වැඩසටහනක් (ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්ධන ව්‍යාපාරය) බිම් (ගම්) මට්ටමින්, සාර්ථක ලෙස ක්‍රියාවට නැඟුවේ ප්‍රඥාශෙඛර හිමිඳුන් විසින්ය (1933-1950). උන්වහන්සේ විසින් ලියනලද ස්වයං චරිතාපදානය (1970), නැවත මුද්‍රණය කර රටට බෙදා දිය යුතු වන්නේ, එම පොතේ ඉදිරිපත් කර ඇති කරුණු 99 න් බොහොමයක් දෑන් 2022 දී රටට කෙතරම් සුදුසු දැයි සිතෙන නිසාය. ලංකාවේ ඉතිහාසය පිළිඹඳ තවත් පැත්තක් මෙම චරිතාපදානයෙන් එළිවේ.

දොන් ජුවන් ධර්මපාල 1551-97

ලංකාවේ ප්‍රථම හා එකම කතෝලික රජුවූ දොන් ජුවන් ධර්මපාල ගෙන් ලංකාවේ ප්‍රථම වරට සිංහල ක්‍රිස්තියානි පිරිසක් නිල වශයෙන් බිහිවිය (කන්ද උඩරට අල්ලගෙන කතෝලික රජෙක්/රැජිනක් පත්කරගැනීමට පෘතුගීසීන් ගත් උත්සාහ ව්‍යවර්ථ විය). එය අදටත් සංකේතවත් වන්නේ 1815 න් පසු දළදා මාළිගාව භූමියේ ඉදිකල පල්ලියට වඩා කෝට්ටේ රජ මහා විහාරයට අල්ලා ඉදිකල උස කතෝලික පල්ලියෙනි. එතැන් සිට දැන් 2022 දක්වාම මෙම ක්‍රිස්තියානි පිරිස ක්‍රමයෙන් වර්ධනයවූ, සංඛ්‍යාව අතින් කුඩා වුවත්, බලය අතින්  බොහෝ ශක්තිමත් කණ්ඩායමක් විය. 1910 න් පසු, 1931, 1948 න් පසු, මේ දක්වා රටේ දේශපාලකයින්, අගමැති, ජනාධිපතිධූර දැරූ අයගේ ගෙදර, පවුලේ ලඟම ඥාතීන් ක්‍රිස්තියානි ලබ්ධිකයින් විය. ඔවුන්ගේ එක කකුලක් පන්සලේය, අනික පල්ලියේය. මෙහිදී ඇතිවන ප්‍රශ්ණය නම් ඔවුන් දෙබිඩි චරිත රඟපෑමය. ගෙදරට ක්‍රිස්තියානි, ටවුමට බෞද්ධවීමය.

ගුණමකු කළු සුද්දෝ!

මෙම සිංහල ක්‍රිස්තියානි පිරිස, පෘතුගීසීන්ට, ලන්දේසීන්ට හා ඉංග්‍රීසීන්ටත්, අදවන විට ඇමෙරිකාවේ හා යුරෝපයේ ලංකාව කැබලි කිරීමේ ව්‍යාපාරයට සහාය දෙන දේශපාලකයින්ටත් හා විදේශ NGO වලටත්, දරදිය අදින, බැලමෙහෙකම්කරණ, කේලම් කියන හා ඔත්තු සපයන ඒජන්තලා කල්ලි විය. අවස්ථාණුකූලව කලින් කලට, පාලකයාගේ ලබ්ධියට මාරුවෙමින් තමන්ගේ හොද්ද බොරකර ගන්නට ඔවුන් ක්‍රියාකලේය. උදාහරණයක් වශයෙන් ඩොනමෝර් බෞද්ධයින් යයි කියන්නේ රටේ ගැමි ජනතාවට සර්වජන චන්ද බලය ලැබුණු විට නැවත බොරුවට බෞද්ධාගමට ආ අයටය.

පෘතුගීසින්ගෙන් ගැලවී මුස්ලිමුන්ටත්, ලන්දේසීන්ගෙන් ගැලවී කතෝලිකයින්ටත් උඩරටට පදිංචිවීමට සිංහල රජු අවසර දුන්නේය. මෙය ලෝකයේ ප්‍රථම සරණාගත කඳවුරු ක්‍රමයය! ලන්දේසි කාලයේ ජුසේ වාස්ට සැඟවී සිටීමට උපකාර කලේ ගමේ පන්සල්ය. වඩා මෑත කාලයක ක්‍රිස්තියානි පූජකයින් සිය ලබ්ධිය සඳහා බැටළු පැටවුන් සොයමින් බද්දේගම වැනි දුර ප්‍රදේශ වල ඇවිදින විට රෑ නවතින්නට ගියේ ගමේ පන්සලටය. හාමුදුරුවෝ ඔවුන්ට රෑ කෑමත් සදා දුන්නේය. මෙවැනි ක්‍රියාකලාපයක් ගැන නිදසුණක් ලෝකයේ වෙන කොහේවත් තිබෙනවාද?

ලංකා යටත් විජිතයේ පන්සල හා ගම අතර ඇති බැඳීම කඩා දැමිය යුතු බව 1799 දී නෝත් ආණ්ඩුකාරයා වාර්තා කලේය. මෙය මුරදේවතා සංකල්පයය. 1832 න් පසුව, 1848 කැරැළ්ලට පසුව බුද්ධාගම කියන්නේ බොරුවක් යන ව්‍යාපාරය ඉදිරියට දැම්මේ සුද්දන්ට වඩා රටේ ක්‍රිස්තියානි කළු සුද්දන්ය. ඔබේසේකර-බණ්ඩාරනායක පවුලට අයත්  ජේම්ස් ද අල්විස් (පසු කලෙක සිදත් සඟරාව ආශ්‍රිත පඬිවරයෙක්වූ) 1840 ස් ගණන් වලදී කියා සිටියේ තව දශක දෙකකින් පමණ බුද්ධාගම, ලංකාවෙන් නැතිවී යනවා ඇත යනුවෙනි. 1873 පානදුරා මහාවාදයෙන් පරාජය කලේ මේ දුෂ්ට ක්‍රියාකලාපයය. පුදුමයට කරුණක් නම් එසේ ආගම, ජාතිය හා භාෂාව රැකගත් පන්සල, 1880 දී ඕල්කොට් ආගමනයත් සමඟ පිළිකන්නට තල්ලුවීමය. ඕල්කොට් බිහිකල බටහිර පාසැල් ක්‍රමය නිසා අළුත් ඕල්කොට් බෞද්ධයින් පිරිසක් බෝවිය.

ශාෂා හා ෂමානි

මෙහි ඉහතින් සඳහන් කර ඇති පොත් වලින්, 1948 න් පසු කාලය, ‘කළු සුද්දන්ගේ පාලන සමය’ වශයෙන් හඳුනාගැනීමට උපකාරවන පසුබිම් තොරතුරු සපයන්නේය. ඒවා ලියු කිසිවෙක් තමන් ලියන්නේ කළු සුද්දන්ගේ කතාවක් යයි සඳහන්  කිරීමට අකමැතිවූ හෝ කිසිසේත් එසේ නොසිතූ හෝ එම ප්‍රශ්ණය උවමනාවෙන්ම මඟහැරිය අය හෝ විය.  මීට වෙනස්ව මෙහිදී මා විසින් අනුගමණය කලේ නම් ගම් සහිතව යමෙක් කළු සුද්දෙක්ද නැද්ද යන තීරණය ගැනීමට පාඨකයාට උපකාරවන තොරතුරු එකතුකර දීමය. ‘නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත’ යන සුභාෂිතයේ කවි පදය පරිදි, ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි මෙම පංචස්කන්ධ, අනාගාරික ධර්මපාලතුමා විසින් සඳහන් කල අයුරු, කළු සුද්දන් වශයෙන් හඳුනා ගැනීම සාධාරණ වන්නේ ඔවුන් රටේ දේශපාලනයට, ඔවුන්ගේ ක්‍රියා නිසා රටේ මහජනයාට අත්විඳින්නට සිදුවූ අහිතකර, අමිහිරි බලපෑම් නිසාය. ආත්මාර්ථකාමී ලෙස ඔවුන් ගත් තීරණ නිසා ඔවුන් කලා යයි සැළකෙන යම් හොඳ ක්‍රියාවල් පවා අච්චාරුවී ගිය අවස්ථා බොහෝය. ජීවත්ව සිටිනා මොවුන් මළ මිනිසුන් වැනිය. මෙහිදී මළවුන්ට අපහාස නොකරන්න යන රීතිය අනුගමණය කලොත් එය සත්‍යය වසන්කිරීමකි. මෙම පොත පුරාම වාර්තාගත කර තිබෙනුයේ රටේ පරණ හා අළුත් පරම්පරා විසින් දැනගත යුතුදේය.

නැඟෙනහිර හා මධ්‍යම අප්‍රිකාවේ කිස්වාහිලි භාෂාව කතාකරණ ජනයා තමන්ගේ මියගිය මිනිසුන් ලිවින් ඩෙඩ් (ශාෂා) හා ඩෙඩ් (ෂමානි)  වශයෙන් කොටස් දෙකකට බෙදයි.  Living-dead යනු අනිත් ජීවත්වන අය සමඟ සිට මෑතකදී මළ අයය. යම් මළ පුද්ගලයෙකු  දැනසිටි අන්තිම පුද්ගලයා මළ විට ශාෂා, ඩේඩ් හෙවත් ෂමානි යෙක් වේ. මේ අනුව ලංකාවේ කැප්පෙට්ටිපොල මහ අදිකාරම් ෂමානිය. විජේවීර ශාෂාය.  (Lies across America, James W. Loewen, 1999, p. 37). ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය යනු ෂමානිලාගේ හෝ ශාෂාලාගේට වඩා අදටත් ජීවත්වන අය විසින් රටට කල හානිය.  ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ ට්‍රැජඩි ඔෆ් ද කොමන්ස්  (කෙටි කාලීන පුද්ගල  වාසිය තකා පොදු සම්පත් කා දැමීම නිසා රටේ හැම දෙනාටම අනාගතයේදී සිදුවන විනාශය, tragedy of the commons), නොහොත්, මිහිඳු හාමුදුරුවන්ගේ දේශණයට අනුව රටේ භාරකාරයින්, රටේ අයිතිකාරයින් වීමය.

Part II- කළු සුද්දා යනු කුමක්ද (What is a black-white?)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress