රජවක රක්ෂිතය කොල්ල කයි..
Posted on July 27th, 2022

කීර්ති හේවාගොඩ

බලංගොඩ ප්‍රදේශයේ කූරගල පර්වතය ට බද්ධව පිහිටා ඇති රජවක වන රක්ෂිතය ජෛව විවිධත්වයෙන් පොහොසත්  සහ ජල පෝෂක වටිනාකමින් යුත් වන භූමියකි.  වර්ග කිලෝමීටර 26.33 ක වපරිසරයක ආවරණය කරන මේ රජවක වනාන්තරය සමනල වැව ජලාශයේ ප්‍රධාන ජල පෝෂකය ලෙස හදුනාගෙන තිබේ.

රජවක වනාන්තරයේ අතිශය වැදගත් කම නිසාම අංක 1577/5 දරණ ගැසට් පත්‍රය මගින් වර්ෂ 2008 නොවැම්බර් 25 වන දින රක්ෂිත වනාන්තරයක් ( reserved forest) ලෙස ප්‍රකාශය ට පත් කෙරිණ. 

එහෙත් පසුගිය කාලයේ රජවක වනාන්තරය ට කණ කොකා හැඩීමට පටන් ගත්තේ රජවකට අනුරූපව ඇති,කූරගල පර්වතය ආශ්‍රිතව  ඉදිකිරීම් සමූහයක ට   මුල පිරීමක් සමගය. 

පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන කුරගල සංවර්ධනය කිරීමට අදාල පිරිස් විසින් රජවක රක්ෂිතය සහ ප්‍රේරක කලාපය ඇතුලු පුරා විද්‍යා රක්ෂිතයේ භූමිය ඩෝසර් කිරීම්, මාර්ග තැනීම් , ගල් පර්වත විදීම් සහ මහා පරිමාණයෙන් කොන්ක්‍රීට් ඇතිරීම් කිරීම මගින් භෞතික පාරිසරික වෙනස් කම් කරන ලදි.  

ඉන්පසු ඉතා සංවිධානාත්මක ලෙස  මෙම 2022 වසරේ මැයි 4 දින අංක 2278/04 ගැසට් පත්‍රය මගින් රජවක රක්ෂිතයෙන් හෙක්ටයාර 27.3684 ක් රක්ෂිත භාවයෙන් නිදහස් කරගෙන ඇති අතර , මෙලෙස රජවකින් කඩා ගත් හෙක්ටයාර 27.3684 කොටස හා වෙනත් ඉඩම් සමග හෙක්ටයාර 53.7583 ක් මායිම් කොට,  මෙම 2022 ජුනි 8 වන දින අංක 2283/29 ගැසට් පත්‍රයෙන් “කූරගල රජමහා විහාරස්ථාන පූජා භූමිය ” ලෙස  පවරා දී තිබේ. එමෙන්ම එය “නාගරික සංවර්ධන භූමියක් ” ලෙස නම් කොට තිබේ.

උක්ත කොන්ක්‍රීට් ඉදිකිරීම් සහ රක්ෂිතය කඩා ගැනීමේදී පිලිගත් පාරිසරික ආඥා පනත් අනුව කල යුතු පාරිසරික සාක්‍යතා අධ්‍යනයන් සිදු කරන ලද්දේද ? ඒ යටතේ පාරිසරික සාක්‍යතා වාර්තා ( EIA ) අනුමත කොට ඇත්ද ?

ජාතික පාරිසරික පනතට අනුකූලව වර්ෂ 1993 ජුනි 24 දාතම  අංක 772/22 දරණ ගැසට් ප්‍රකාශය අනුව හෙක්ටයාර 1 කට වැඩි වනාන්තර ඉඩමක් හෙලි පෙහෙලි කොට වනාන්තර ආශ්‍රිත නොවන ඉදිකිරීම්   කිරීමට කලින් පාරිසරික ඇගයීම් ක්‍රියාවලියක් කොට ලිඛිත අනුමැතිය ලබා ගත යුත්තකි.

දෙවනුව , පුරා වස්තු ආඥා පනතේ වර්ෂ 2000 දී ගැසට් අංක 1152/14 ප්රකාශයට (සංශෝධන ) අනුව  හෙක්ටයාර 2 කට වැඩී වපරිසරයක් එලි කිරීමට පෙර පුරා විද්‍යා හානි ඇගයීමක් කල යුතුය.  

උප කදුකර වනාන්තර ( sub montane forests)  සහ හුදකලා ගල් කුලු  ආශ්‍රිතව සුවිශේෂී පාරිසරික පද්ධති සහ සතුන්ගේ ක්ෂුද්‍ර වාසස්ථාන (micro habitats) ඇති රජවක වැනි වනාන්තරයක් කැබලි කර දීම කෙතරම් අපරාධයක් ද?  උක්ත ඉදිකිරීම් නිසා සහ පූජා භූමියෙන් රක්ෂිත වපරිසරය ට එල්ලවන අධික විදුලි ආලෝකය  නිසා වන ආලෝක දූෂණය, ශබ්ද  දුෂණය සහ රක්ෂිතය ට වන කැලි කසල ආදී අපද්‍රව්‍ය  බැහැර කිරීම විශාල ගැටලුවකි. මෙලෙසම හෙට දිනයේදී සප්ත කන්‍යා කදු සහ මරගල කන්ද ආදී සුවිශේෂී කදුකර වනාන්තර තුලත්  ආගම ආවරණය කොට ගෙන මහා පරිමාණ වනාන්තර කැබලී කිරීම් සහ වන හායනයට ලක්  කිරීමට ගිය හොත් කුමක් වනු ඇත්ද?

මේ සමග අමුණා ඇති ලේඛන සහ ඡායාරූප අනුව දත්ත අධ්‍යනය කල හැකි වේ. වර්ෂ 2021 මාර්තු මස අදාල භූමියේ චන්ද්‍රිකා ඡායාරූපය සහ එහිම මෙම 2022 ජුලි මස තත්ත්වය පැහැදිලිව දැක ගත හැකි අතර අනෙක් සිතියමේ  කූරගල පුජා භූමියට පවරා දී ඇති මුලු වපරිසරය දම් පැහැයෙන්  දැක්වේ.

ආගමික, දේශපාලනික, ව්යාපාරික, මිලිටරි  මැදිහත් වීමෙන් සහ   බලය අවභාවිත කරමින්  මහජනතාවගේ පාරිසරික උරුමය සහ පාරිසරික සුරක්ෂිතභාවය කොල්ල කෑමට ලක්වේ නම් එය අපරාධයකි. ශිෂ්ඨ සමාජයක සම්මුතීන් වලට එරෙහිව යාමකි.  

මාගේ දැනුම සහ නිරීක්ෂණ අනුව මේ ලේඛනය නෛතිකව, සදාචාරාත්මකව සහ විද්‍යාත්මකව   අනුකූලව,  පරිසර ක්රියාකාරීයෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස මාගේ සිවිල්  වගකීම (  civil responsibility) යටතේ රටේ මහජනතාව, පරිසරවේදීන්, රාජ්‍ය ආයතන,  ජාතික සහ ජාත්‍යන්තර ජන මාධ්‍ය සහ සංවිධාන  වෙත  දන්වා සිටිමි.

කීර්ති හේවාගොඩ

26 ජුලි 2022

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress