ආදානිගේ සුළං බලශක්ති ව්‍යාපෘති
Posted on August 17th, 2022

බන්දුල චන්ද්‍රසේකර

පසුගිය ආණ්ඩු  සමයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් සහ එවකට ලංකා විදුලිබල මණ්ඩලයේ  හිටපු සහාපති එම්. එම්. සී. ෆඩිනැන්ඩු මහතා විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමකට අනුව, මෙරට සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් ඉන්දියානු අදානි සමාගමට පැවරීමට කටයුතු සිදුකෙරිණි. මන්නාරමේ මෙගාවොට් 286 ක සහ පුනරීන් හි මෙගාවොට් 234 ක එම සුළං බල ව්‍යාපෘති දෙක සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක ආයෝජනය කිරීමට බලාපොරොත්තුවේ. එනමුත්, මෙම ව්‍යාපෘති දෙක මගින් ජනනය කරනු ලබන විදුලි ඒකකයකට රුපියල් 25 ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවින් මෙම ව්‍යාපෘති පිළිබදව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් තම අප්‍රසාදය පළ කෙරිණි. කිසිදු තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගවොට් 500 ට ආසන්න ධාරිතාවක් සහිත විදුලි ව්‍යාපෘති මේ ලෙස වැඩි මිළකට ලබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබිණි.

එකී ව්‍යාපෘති ආරම්භ කිරිම සඳහා අදානි සමාගම, ලංකාව තුළ ව්‍යාපෘති කාර්යාලයක්ද ආරම්භ කළ අතර, අදාල ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුලීක අවසර බලපත්‍ර ලබාගැනීමට සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ව්‍යාපෘති යෝජනාවක්ද බාර දී තිබිණි. කෙසේවුවත්, ඉන්දියානු – ශ්‍රී ලංකා රජයන් දෙක අතර සිදුවන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සලකා මෙම ව්‍යාපෘතිය කැබිනට් අනුමැතියකින් සිදුකිරිමට යෝජනා කළ ද, මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම, ඉන්දියානු පෞද්ගලික සමාගමක් මැදිහත්වීමෙන් සිදුකරන ව්‍යාපෘතියක් වූයෙන් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සාකච්ඡාවකද මතභේදයට තුඩු දුන් කරුණක් වූයේය. එම මතභේදාත්මක කරුණ දුර දිග යමින්, කෝප් කමිටුව ඉදිරියට පැමිණි එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆඩිනැන්ඩු කළ ප්‍රකාශයක් නිසා ඉන්දියානු දේශපාලනද උණුසුම් විය. වැඩි මිළ ගණනක් දී විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාගැනීමට සිදුවන මෙම ව්‍යාපෘතියට අවසර ලබාදීම ප්‍රතික්ශේප කළ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරු වූ සුලක්ෂණ ජයවර්ධන මහතා සහ හර්ෂ වික්‍රමසිංහ මහත්වරුන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.   

කෙසේවුවත්, පසුගිය 16 දින, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමුවූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නියමිත පුනර්ජනනීය ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කරමින් එකී අදානි සමාගමට අදාල මුලීක අවසර ලබාදුන් බැව් සදහන් කළේය. ඔහුගේ ට්විටර් ගිණුමේ ඒ බව සඳහන් කර තිබිණි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress