දෙමළ සංවිධාන තහනම ඉවත් කළේ ඇයි?
Posted on August 17th, 2022

කතුවැකිය උපුටා ගැන්ම  අරුණ පුවත්

විදේශයන්හි සිට ක්‍රියාත්මක වන දෙමළ සංවිධාන හයකට හා පුද්ගලයන් තුන්සිය දහසය දෙනකුට මෙරට තුළ පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සාමාන්‍ය ජනතාව අතර කෙසේ වෙතත් දේශපාලන ලෝකය තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම තහනම පැනවීමට පියවර ගෙන තිබුණේ එම සංවිධාන හා පුද්ගලයන් කොටි සංවිධානයට ආධාර හා අනුබල දෙමින් ත්‍රස්තවාදය හා බෙදුම්වාදය ප්‍රවර්ධනය කරන්නේය යන පදනමිනි.

කෙසේ වෙතත් මෙම තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ උක්ත සංවිධාන හා පුද්ගලයන් තවදුරටත් කොටි සංවිධානයට ආධාර හා අනුබල නොදෙන බව සනාථ වී ඇති නිසා ඔවුන් මත පනවා තිබූ තහනම ඉවත් කරන බවය. ආණ්ඩුවේ මෙම තීරණය දෙමළ සංවිධාන හා දෙමළ පක්ෂවල සතුටට හේතුවී ඇතත්, ඒ සම්බන්ධයෙන් අසතුට පළ කරන පිරිස්ද සිටිති. ඔවුන් කියන්නේ මෙම තහනම ඉවත් කිරීමට හේතුවූ කරුණු ප්‍රමාණවත් නොවන බවය. ඒ නිසා උක්ත දෙමළ සංවිධාන හා පුද්ගලයන් තවදුරටත් කොටි හිතවාදී නොවන බවට තහවුරු කර ගත්තේ කුමන සාධක මතදැයි රටට හෙළිකළ යුතු බව ඔවුන් ආණ්ඩුවට බලකර සිටිති.

මේ අතර ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක හා පුද්ගලයන් විශාල පිරිසකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය අගය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග සාකච්ඡා කොට රටට ඩොලර් ගෙන ඒමට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ. මන්ත්‍රිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දෙමළ සංවිධාන වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට හේතු වී ඇත්තේ වෙනත් කාරණයක් බවය. ආණ්ඩුව මෙම තීරණය ගත්තේ අදාළ සංවිධාන තවදුරටත් කොටි සංවිධානයේ ඒජන්තයන් ලෙස කටයුතු නොකරන බව සියයට සියයක්ම තහවුරුවීමෙන් පසුව නම් කිසිදු ප්‍රශ්නයක් නැත. එය සිදුවිය යුත්තකි.

තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සතුට පළකරන ගෝලීය දෙමළ සංසදයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එම්මානුවෙල් පියතුමා කියන ආකාරයට මේ දක්වා මෙම තහනම පනවා තිබුණේ ව්‍යාජ, බිය සහ සැකය යන චෝදනා මත පදනම්ව බවය. එසේ නම් මේ දක්වා එම සංවිධානයන්ට මෙන්ම විදේශගත දෙමළ ප්‍රජාවට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි. ප්‍රමාද වී හෝ ඒ වරද නිවැරැදි කිරීම විදේශගත දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් පවතින වැරැදි ආකල්පයන් නිවැරැදි වීමටත්, වාර්ගික ඒකාග්‍රතාව, සහයෝගීතාව වර්ධනය වීමටත් පදනමක් ඇති කිරීමටත් හේතු වනු ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුව තෝරාගත් දෙමළ සංවිධාන ඇතුළුව පුද්ගලයන් පිරිසකට බලපැවැත්වූ තහනම ඉවත් කිරීමට පියවර ගත්තේ ඩයස්පෝරාව හරහා රටට ඩොලර් ගෙන්වා ගැනීමේ අරමුණෙන් පමණක් නම් එය බරපතළ ලෙස කල්පනා කළ යුතු කාරණයකි. ඩොලර් හිඟය රට මුහුණපා සිටින බරපතළම අර්බුදයක් වුවත් ජාතික ආරක්ෂාව හා රටේ ඒකියභාවය ඒ වෙනුවෙන් උගසට තැබිය හැකි ද?

ආණ්ඩුව ඉවත් කර ඇත්තේ ප්‍රධානම විදේශීය දෙමළ සංවිධාන හයකට පනවා තිබූ තහනම පමණකි. තවත් සංවිධාන ගණනාවක් සම්බන්ධයෙන් එම තහනම තවදුරටත් ක්‍රියාත්මකය. ඒ නිසා තහනම ඉවත් කරන ලද දෙමළ සංවිධාන කොටි න්‍යාය පත්‍රයෙන් සියයට සියයක්ම ඉවත් වී ඇත්ද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැකිය. මේ නිසා තහනම ඉවත් කරනු ලැබුවේ කුමන සාධකය මත පදනම්වද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් රටට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. මෙම කාරණය සම්බන්ධයෙන් රට තුළ සැකයක් ඉතිරිව තිබීම, එම තීරණයෙන් අපේක්ෂා කරන කිසිම කාරණයක් ඉෂ්ට කර ගැනීමට බාධාවක් වීමටද ඉඩ තිබෙන නිසාය.

ආණ්ඩුව මෙම දෙමළ සංවිධාන තහනම ඉවත් කිරීමට පියවර ගත්තේ, හුදෙක්ම ඩොලර් ගෙන්වා ගැනීමේ අරමුණෙන් නම් ඒ වෙනුවෙන් ගනු ලැබූ අවදානමට සාපේක්ෂව ඩොලර් රටට ලැබෙනු ඇත්ද යන්නද විමසා බැලිය යුතු කාරණයකි. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙම සංවිධාන වෙත පනවා තිබූ තහනම ඉවත් නොකළ නමුත්, ඒවායේ ඇතැම් ප්‍රධානීන් රටට පැමිණීමට පවා අවසරය හිමිව තිබිණ. කෙසේ වුවත් ඒ සමයේදී දෙමළ ඩයස්පෝරාව අඩුම වශයෙන් උතුර නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා හෝ ආයෝජනය කළ බවක් වාර්තා වී නැත. එසේ නම් දැන් ඔවුන් කියන තරම්, ඩොලර් රටට ගෙන එනු ඇත්දැයි සහතිකයක් දිය හැක්කේ කාටද?

මෙම සංවිධානයන්ගේ මැදිහත්වීමෙන් සැලකිය යුතු මට්ටමකින් ඩොලර් ගෙන එන්නේ වුවද, ඒවා ආයෝජනය කෙරෙන්නේ කුමන පදනමකින්ද? ඒ මුදල් ආයෝජනය කෙරෙන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි ඔවුන්ගේ ව්‍යාපෘති හා වැඩසටහන් තුළද? නැතහොත් රජයේ පොදු සංවර්ධන වැඩසටහන තුළද? මෙලෙස ඩොලර් ගෙන ඒම වෙනුවෙන් එකී සංවිධාන හෝ පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද හෝ හිමිකම් ප්‍රදානය කෙරෙන්නේද? මේ අය රටට ඩොලර් ගෙන ඒම සඳහා තවත් දේශපාලන කොන්දේසි ඉදිරිපත් කරනු ඇත්ද? එසේ ඉදිරිපත් කළහොත් ආණ්ඩුව එකී කොන්දේසි ඉටු කරන්නේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ ආණ්ඩුවය. එසේම තවමත් තහනම ඉවත් කර නැති දෙමළ සංවිධාන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නද ආණ්ඩුව පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි. එම සංවිධාන වෙත පනවා තිබෙන තහනම ඉවත් කරන්නේද? නැද්ද? යන කාරණය සංවිධාන හයක තහනම ඉවත් කිරීමට ගත් තීරණයේ වලංගුභාවයට ඉතා වැදගත් වන නිසාය.

දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ගත් තීරණයට අදාළව පැනනැගෙන මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන පරිදි තහනම ඉවත් කිරීම හා ඉදිරි පියවර සම්බන්ධයෙන් මාර්ග සිතියමක් ඉදිරිපත් කළ හැකි නම්, ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් රට තුළ මතුව තිබෙන සැක-සංකා තුරන් කිරීමට අතිශයෙන්ම වැදගත් වනු ඇත. දෙමළ සංවිධාන තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ එවැනි සැලසුමක් නොමැතිව බව පෙනී යන්නේ තවමත් එම තීරණය මිස ඒ ගැන පැහැදිලි කිරීමක් රටට ලැබී නොමැති නිසාය. එසේ නම් මේ තීරණය භූමරංගයක් වීමට නියමිත බව ආණ්ඩුව සිහි තබා ගත යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress