ජූලි 09 වනදා සිද්ධීන්ට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට
Posted on August 22nd, 2022

 Lanka Lead News

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව වාර්තාවේ.

මේ අතර ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති අතර ඔහුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඇප ලැබුනු බව අප වාර්තාකරුවෝ පවසති.

ජුලි 09 වැනිදා අරලියගහ මන්දිරයට සහ ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, අමාත්‍යවරුන්ගේ නිවෙස්වලට ගිනි තැබීම ඇතුළු දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස කොළඹ පෝට් සිටි වැඩබිමේදී සහ පොතුහැර සහ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි භික්ෂුන් හිමි නම පොතුහැර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක වැඩ වාසය කරන බවත්, කොළඹ වරාය නගරයේ සේවය කරන 26 හැවිරිදි පුද්ගලයා ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනාවරණය වී තිබේ.

නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොතටුව ප්‍රදේශයේදී 53 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවද වාර්තාවේ.

මීට අමතරව, අරලියගහ මන්දිරයේ දේපළ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී 60 හැවිරිදි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු සන්තකයේ තිබී අරලියගහ මන්දිරයේ දී සොරකම් කරන ලද විසිතුරු පිත්තල කැබලි හතක් සහ විශාල ප්‍රමාණයේ ගමන් මල්ලක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

මේ අතර, ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතා ව්‍යාපාරය සඳහා නීතිවිරෝධී ලෙස පිරිස් එක්රැස් කළ බවට සැක කෙරෙන 38 හැවිරිදි පුද්ගලයෙකු සහ ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ නීති විරෝධී උද්ඝෝෂණයක සාමාජිකයෙකු ලෙස කටයුතු කළ 42 හැවිරිදි තවත් අයෙක්ද කොහිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ නිවසට ජුලි 09 වැනිදා , වාහන දෙකක් සහ නිවසට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 39 හැවිරිදි සැකකරුවකුද පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි තවත් සැකකරුවෙකු හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු බවද පොලිසිය පවසයි.

පසුගිය මැයි මස 9 වැනිදා කොල්ලුපිටියේදී බස් රථයක ගමන් ගත් පිරිසක් නවතා එහි සිටි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී ඔහු බේරේ වැවට තල්ලු කිරීමේ සිද්ධියකට අදාළව 34 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් අදාළ අධිකරණවලට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress