ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා බවට එල්ලවන චෝදනා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් – තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් දෙනවා – අමාත්‍ය මනුෂ නානායක්කාර
Posted on September 19th, 2022

Manusha Media




ඊශ්‍රායල් රැකියා සදහා පිටත්ව යාමේදී කිසියම් පිරිසක් මුදල් එකතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ලබාගෙන පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් නොසිට අදාල සාක්ෂි සමග පැමිණිලි ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මෙම චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවද ඔහු සදහන් කළේය.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා ගුවන් ටිකට්පත් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.


මෙහි දී මාධ්‍ය ඇමැතූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

‘පෙර ආණ්ඩුවේ මම නියෝජ්‍ය ඇමැතිවරයා ව සිටි කාලයේ පන්සියයක පිරිසක් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියාවන්ට යොමු කළා. සේවා කාලය අවසන් වීමෙන් පසු නැවත පැමිණියේ සියයට 10ක් විතරයි. අනෙක් පිරිස දැනටත් අනීතිකව ඊශ්‍රායලයේ රැදී සිටිනවා. මේ පිරිස රට සහ ආණ්ඩුව පිළිබද අසත්‍ය චෝදනා, විවේචන ඉදිරිපත් කර, ඒවාට අදාළ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර සරණාගතභාවය මත තමයි එහේ රැදී සිටින්නේ. ඒ නිසා ඊශ්‍රායල රජයේ දැඩි ස්ථාවරය නැවත ශ්‍රී ලාංකිකයන්ට කෘෂිකාර්මික අංශයේ සේවා ලබා නොදෙන බවයි. අපි ඊශ්‍රායල් රජයෙන් ඉල්ලීමක් කළා ආව පිරිසට හරි නැවත එන්න දෙන්න කියලා. එහෙත් නීති විරෝධී ව රැදී සිටින පිරිස ඊශ්‍රායලයේ සිටින තාක් නැවත අපට එම ක්ෂේත්‍රෙය් රැකියා නොදෙන බව ඊශ්‍රායලය දැනුම්දීලා තියෙනවා.

රජය විදියට අපි තවමත් උත්සාහ අතහැරලා නෑ. අපි ඊශ්‍රායලය සමග සාකච්ඡා කර හෝ මේ ගැටලුව විසදන්නට සූදානම්. එහෙත් කණගාටුවට කරුණ තමයි ඊශ්‍රායල් රජය අපේ මේ ඉල්ලීම තවම පිළිඅරගෙන නෑ. මේ ගැටලුව කතා කරන්න රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සදහා වේලාවක් හෝ වෙන් කර දී නෑ.

යහපාලන සමයේ ඊශ්‍රායලය සමග ගිවිසුමක් අත්සන් කළා ශ්‍රමිකයන් යොමුකරවීමේ දී රජයටත් අවස්ථාවක් දෙන්න කියලා. 2018 දී ඒ කෝටාව ලැබුණා. ඒ වන විට පෞද්ගලික අංශයත් සිටියා. අපි කිසිම විටෙක පෞද්ගලික අංශයේ කටයුතු නතර කරන්න කිව්වේ නෑ. එහෙත් පෞද්ගලික අංශය මගින් සාත්තු සේවිකාවනක් සදහා ලක්ෂ තිහක තිස් පහක මුදලකුත්, සේවකයකුට ලක්ෂ හැටක හැත්තෑවක මුදලකුත් අය කරන බවට ඊශ්‍රායල් රජයට පැමිණිලි කරලා තිබුණා. ඒ අනුව ඉකුත් මැයි මාසයේ සිට ඊශ්‍රායල් රජය තීරණයක් අරගෙන තියෙනවා පෞද්ගලික අංශයට මේ කාර්යය සදහා අවස්ථාව නොදීමට.

පෞද්ගලික අංශයෙන් රැකියා සදහා පිටත්ව යාම නැවැත්වීම මගේ ප්‍රතිපත්තිය නොවෙයි. නිසි නියාමනයකට යටත් ව, උපරිම අයකිරීමේ සීමාවක් සහිත ව, සීමාවන් උල්ලංඝනය කරන්නේ නම් බලපත්‍රය අහෝසි කිරීමේ කොන්දේසියට යටත් ව පෞද්ගලික අංශයත් කටයුතු කළ යුතුයි යන්න මගේ අදහසයි.  දැනට ඊශ්‍රායලය සමග අත්සන් කර ඇති ගිවිසුමට අනුවත් පෞද්ගලික අංශයට කටයුතු කළ හැකියි. එහෙත් ඊශ්‍රායල් රජය මගින් ම පෞද්ගලික අංශය සදහා අවස්ථාවන් දීම නතර කරලා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කරමින් ඉන්නවා. ඊශ්‍රායල් රජයෙන් එයටත් තවම අවස්ථාවක් දෙන්නේ නෑ. අපි ඉල්ලීමක් කරලා තිබුණත්, තවම ඔවුන් ඒ සදහා කාලය ගනිමින් සිටිනවා. මේ සාකච්ඡාව සදහා ඔවුන් නිල වශයෙන් දැනුම්දීමක් කරන තුරු අපට බලන් ඉන්න වෙනවා.

ඊශ්‍රායල් සාත්තු සේවයේ මෙහෙයුම් පටිපාටිය නොදන්නා පාර්ශ්ව මේ සදහා විශාල මුදලක් අය කරනවා යැයි චෝදනාව කරනවා. මුලින් ම කාර්යංශයේ ලියාපදිංචි වෙන්න ඕනෑ. ඒ පිරිස ඊශ්‍රායල් නියෝජිත ආයතනයෙන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. සුදුසුකම් සපුරන අයගේ තොරතුරු අදාළ වෙබ් අඩවියට ඔවුන් ම යාවත්කාලීන කරනවා. අනතුරු ව ඊශ්‍රායල් රජය විසින් පමණක් ක්‍රියාත්මක කරන ලොතරැයි ක්‍රමයක් මගින් ජයග්‍රහණය කරන අයට පමණක් රැකියා අවස්ථා ලැබෙනවා. මේ ජයග්‍රාහකයන් අතරින් තමන්ගේ සේවාව සැපයීමට සුදුසු කෙනා අදාළ වැඩිහිටියා විසින් තෝරා ගන්නවා. අන්න ඒ තේරුණු කෙනාට, තෝරා ගත්ත කෙනා ළග, සේවයේ යෙදෙන්න යන්න පුළුවන්.

චෝදනාව තියෙන්නේ ඒ විදියට තේරුණු අයගෙනුත් දුරකථන ඇමතුම් මගින් සල්ලි ඉල්ලන බවටයි. හැබැයි ඊශ්‍රායලය බලා පිටත්ව යන ශ්‍රමිකයින් තමන්ට එහෙම කතා කළ බවක් හෝ මුදල් දුන් බවක් කිසිම වෙලාවක කියලා නෑ. ඒත් චෝදනා කරන්නේ ඇමැතිවරයයි, කාර්යංශයයි, නිලධාරීනුයි මේකට සම්බන්ධ බවට. ඒ සියලු දෙනාට අපි කියන්නේ පදනම් විරහිත චෝදනා නොකර හරි විදියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. එහෙම පැමිණිලි කරනවා නම් චෝදනා එල්ල වෙන ඕනෑ ම කෙනෙකුට විරුද්ධ ව තරාතිරම නොබලා නීතිමය කටයුතු කරනවා. කාර්යංශයට හෝ නිලධාරියකුට චෝදනාව තියෙනවා නම් ඒ පැමිණිල්ලත් ඉදිරිපත් කරන්න. පැමිණිල්ල ඉදිරිපත් කරන මොහොතේ සිට අදාළ නීතිමය පියවර ගන්නවා. හැබැයි විවිධ වේදිකාවල විවිධාකාර අභූත චෝදනා එල්ල කළත්, මේ වන තුරු කිසිම කෙනෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නෑ. ඒ නිසා අපි තීන්දුවක් අරගෙන තියෙනවා ලොතරැයියෙන් සුදුසුකම් ලබන පිරිස කවුද කියන එක වෙබ් අඩවියේ යාවත්කාලීන නොකරන්නට.

මම පැහැදිලි ව අවධාරණය කරන්නේ ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත් ව යන කිසිවකු රජයේ ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවයි. කිසිදු පාර්ශ්වයකට කිසිදු මුදලක් ගෙවන්න එපා. ඒ වගේ ම වෙනත් අනීතික ක්‍රමවලට ඊශ්‍රායලයට යවන කණ්ඩායම් ඉන්නවා. ඒ මිනිස් වෙළෙදාම, මිනිස් ජාවාරම. ඒකත් හරියට බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට ගෙනියනවා වගේ දෙයක්. කිසි ම වෙලාවක මේ ජාවාරමට අහු වෙන්න එපා.

අද වන විට ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් පළ වන මේ වාර්තා පිළිබද රහස් පොලීසියට වහා ම පැමිණිලි කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දුන්නා. මුදල් ගත්තා යැයි පවසා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමටත්, අවශ්‍ය නම් ඊශ්‍රායලයට ගොස් ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීමක් සිදුකර හෝ මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

රජයේ වැඩපිළිවෙළට අකමැති පෞද්ගලික අංශයේ සමහරු මේ අභූත චෝදනා පිටුපස්සේ ඉන්න පුළුවන්. ලක්ෂ තිහ හතළිහේ සිට හැත්තෑව දක්වා අය කළා නම්, මේ ව්‍යාපාරයට සම්බන්ධ සියලු අතරමැදියන් සුවිසාල මුදලක් හම්බකරගෙන තියෙනවා විය හැකියි. රජය මේකට සම්බන්ධ වීම ඒ සියලු දෙනාට ගැටලුවක් වෙලා තියෙන්නේ ඒකයි. එයාලගේ ආදායම් මාර්ගය වැහිලා. ඒ නිසා ජාවාරමට සම්බන්ධ සියලු දෙනා එකතු වෙලා රජයේ වැඩපිළිවෙලට චෝදනා කරනවා.

අවුරුදු හතළිස් පහට වැඩි කිසිදු කාන්තාවකට යන්න බෑ. පිරිමි අයට යන්න තියන අවස්ථාව ඉතා ම සීමිතයි. ඒක අපි පිළිගන්නවා. අපේ වැඩපිළිවෙළ ඇතුළෙත් සම්පූර්ණ විය යුතු තැන් කිහිපයක් තව තියෙනවා. ලොතරැයියෙන් නොතේරෙන අය ආයි ඇතුළු වෙන්නේ කවදද කියන ප්‍රශ්නයත් තියෙනවා. හැබැයි මාෆියාකාරයන්ගේ, ජාවාරම්කාරයෙන්ගේ ආදායම් අහිමි වුණු නිසා ඔවුන් විසින් සංවිධානාත්මක ව රජයේ වැඩපිළිවෙලට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරලා තියෙනවා. ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කරනවා.

විදෙස්ගත වෙන්න බලාපොරාත්තුවෙන් ඉන්න සියලු ලාංකිකයන්ගෙන් ඉල්ලන්නේ කිසිදු තැරැව්කරුවකුට සත පහක් දෙන්න එපා කියලයි. ඒවට අහුවෙලා, සල්ලි දීලා පස්සේ දුක් වෙන්නත් එපා. අමාරුවේ වැටෙන්නත් එපා. ජපානය, කොරියාව වගේ රටකට යනවා නම් අනිවාර්යයෙන් ම ඒ රටේ භාෂාව ප්‍රගුණ කළ යුතු ම යි. අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ යුතුමයි. එහෙම නැති ව කෙටි පාරවල් තියෙනවා කියලා, කවුරු හරි කෙනෙක් සල්ලි ඉල්ලනවා නම් ඒ සියල්ල ව්‍යාජයන්, වංචාවන් සහ ජාවාරම් පමණයි. එහෙම දේවල් තියනවා නම් කරුණාකරලා අපිට පැමිණිලි කරන්න. ඒවාට එරෙහි ව අපි දැඩි ව නීතිය ක්‍රියාත්මක කරනවා. ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් වුණත් අනවශ්‍ය පරිදි මුදල් අය කරනවා නම් ඒ පිළිබද අපිට දැනුම් දෙන්න, පැමිණිලි කරන්න. සියලු රැකියාවල් සදහා අනුමත ගාස්තුව වෙබ් අඩවියේ සදහන් කරලා තියෙනවා. ඊට වඩා සත පහක්වත් වියදම් කරන්න එපා.  

Video – https://we.tl/t-rs11O1nb1i

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress