මහබැංකු අධිපතිගේ බාප්පා පණ පිටින් අත කපා මරා දාලා..
Posted on October 6th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

‘අමරකීර්ති අතුකෝරල මන්ත්‍රිතුමාව පාරේදි ගහලා මැරුවා වගේම 1987 අඟුණකොළපැලැස්ස වැටිය හන්දියේදී නිරායුධ ජිනදාස වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ අත කපා පණ පිටින් මරා දැම්මා.  එතුමා වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමාගේ බාප්පායි’ 

යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මෙසේද කියා සිටියේය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියල විපකෂය කිව්වා. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ල යථාර්තය පැහැදිලි කරන කොට ඒක පිළිගන්න විපක්ෂයේ සමහරු කැමති නැහැ. දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් දරපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයගේ කාලසීමාවන්වල මුකුත් නොවුන වගේ අද කතා කරනවා.

මම පාර්ලිමේන්තුවට ආවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියටයි. පසුව ආණ්ඩු බලය ගත්තා. නමුත් අපිට කොරෝනා නිසා අවුරුදු දෙකහමාරක් ඉන්න වුණා.  කොරෝනා යම් තරමකට පාලනය වෙලා රට විවෘත කිරීමත් සමඟ සංචාරකයන් ලක්ෂයක් ලංකාවට ගෙනාව. අපි අපේ වගකීම ඉටු කළා.

අපි මේ කාරණාව ගැන ගරු සභාවේ වාර ගණනාවක් කතා කළා. මේ ආර්ථික හා දේශපාලන අර්බුදය සඳහා ජනතාව ඉල්ලු වෙනස සාම්ප්‍රදායික වෙනසක් නෙවේ. ඒ නිසා අපි හැමෝටම පක්ෂ භේදයෙන් තොරව සම්ප්‍රදායෙන්  පිට ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබද එකඟතාවයන් වලට පැමිණීමට සිදුව තිබෙනවා.  

මේ තත්ත්වය තුළ වර්තමාන ජනාධිපතිතුමා සියළුම දේශපාලන පක්ෂවලට මෙම අළුත් වැඩපිළිවෙල සඳහා ආරාධනා කළා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා ගත් පොදු ජන පෙරමුණේ අපි එම නව දේශපාලන ප්‍රතිසංස්කරණවලට එකඟවී කැප වීම් කළා.  

අපට අපේ නොවන ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සිද්ධ වුණා.  මේ ජනාධිපතිවරයා අද ස.ජ.බයේ ඉන්න මන්ත්‍රීවරුන්ට නායකත්වය දුන්නා. 

මම විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් එතුමා දැඩිව විවේචනය කළා. අපිට වඩා විපක්ෂයට වගකීමක් තියෙනවා වත්මන් ජනාධිපතිතුමා එක්ක වැඩ කරන්න. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ජනාධිපතිතුමාව පහත් කර කතා කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා පස්ස දොරොන් මේ තනතුරට ආවේ නැහැ. ඔහු ජනාධිපති වෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලිනුයි. ඒ නිසා මිනිස්සුන්ව හෑල්ලුවට කතා කරන්න හොඳ නැහැ.  අපි පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේ සභාපතිකම විපක්ෂයට දුන්නා. අපි විපක්ෂයට අත දිගු කරන්නේ එකට එකතුවෙලා වැඩ කරල රට ගොඩ ගන්නයි. පාර්ලිමේන්තු කාලය ස්වාධින මන්ත්‍රීවරුන්ටත් ලබා දෙන්න තරම් අපි ප්‍රජාතන්ත්‍රවාදී වුණා.  

නව ව්‍යවස්ථාවක් සඳහා අපි සාකච්ඡා කළා. අද 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රිවස් කර ගත්තා කියලා විපක්ෂය චෝදනා කරනවා. මම මේක පැහැදිලි කළා. විපක්ෂය කියන හැම දෙයක්ම කරන්න අපි සූදානම් නැහැ. හැමෝටම එකඟවන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නයි අපි උත්සාහ ගන්නේ. අපි රිවස්කර ගත්තෙ නැහැ.

එක එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන්න ගියපු නිසයි මේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්නේ. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී ඒ සඳහා නීතීඥවරුන්ගෙන් යුතු කමිටුවක් පත් කළා. ඒ කමිටුව හදපු කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

 මේ අවස්ථාව අපි එකිනෙකාට චෝදනා කරන අවස්ථාවක් නොවේ.  චෝදනා කරනවා නම් සමහර දේශපාලඥයන්ගේ  දෙමාපියන් සිහිපත් කරන්න සිද්ධ වෙනවා.  කොළඹින් ඉඩම් අරන් ගෙවල් හැදු ඉතිහාසය මතක් කරන්න වෙනවා.  හැබැයි ඒ කාලකන්නි සතුට ලබන්න අපි සූදානම් නෑ.  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා මේ අර්බුද ඇති වුනේ නැහැ. අවුරැදු ගණනක් තිස්සේ මේ ආර්ථික අර්බුද ඇතිවුණා. තිස් අවුරුදු යුද්ධය මේ රටේ මහජන මුදල් විනාශ කළා. රාජ්‍ය දේපළ විනාශ වුණා. ඒව‍යින් වුණ විනාශය අපිට මතක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආර්ථික අර්බුදය ගැන දැක්මක් තිබුණ නිසා තමයි පිටරටින් වාහන ගෙන්වන එක නැවැත්තුවේ. එතුමා අවබෝධයක් නැතුව රට පාලන කළ නෙවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොවිඩි වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ නිසා අපිට ‍ඩොලර් නැති වුණා.

ඩොලර් හිඟය නිසා අපට ගෑස් නැතිව ගියා.  ඩීසල්, පෙට්‍රල් නැතිව ගියා.  විදුලිය නැතිව ගියා.  අවසානයේ අත්‍යාවශ්‍ය ආහාරපාන පවා ගෙන්වා ගැනීමට බැරි තැනට අපි හිරවුණා.  විපක්ෂයේ අන්තවාදී දේශපාලන නායකයෝ මේව ගැන සතුටුවුණා. මිනිස්සු අරගලවලට යොමු කලා. අරගල කළා කියල ප්‍රශ්න විසඳන්න බැහැ. අරගල කරල ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ අරගල තියෙන කොට සංචාරකයෝ රටට එන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා මේ තත්ත්වයන් කළමණාකරනය කරගෙන තියෙනවා. රටේ ප්‍රශ්න විසඳෙන කොට නැවත අරගල කරන්න සමහරු උත්සාහ ගන්නවා. මිනිස්සුන්ව පාරට බස්සන්නෙ නැතුව එකතුවෙලා මේ ප්‍රශ්නයට උත්තර හොයමු.

ගරු මූලාසානාරූඩ මන්ත්‍රී තුමනි,

ජාත්‍යන්තරය ඉල්ලන්නේ මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා.  හැබැයි ආණ්ඩුව කරන්නේ විරෝධතා මර්දනය කරන එක

මානව හිමිකම් ආරක්ෂා කරනවා කියන්නේ මුළු රටේ ජනතාවගේම මානව හිමිකම් ආරක්ෂා කිරිම.  කඩාකප්පල්කාරින්ගේ, ගෙවල් ගිනි තියන, ත්‍රස්තවාදීන්ගේ, මහජන නියෝජිතයන් මහ පාරේ ඝාතනය කරන ඝාතකයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම නොවේ.  රටේ නීතියක් තියෙනවා.  ඒ නීතිය කාටත් පොදුයි.  උද්ඝෝෂණය කරන්න ඕන නම්, විරෝධතා දක්වන්න ඕන නම් සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් සිදු කළයුතුයි.  ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න අපි ඉඩදෙන්නේ නැහැ.  

අද සමහරු අරගල කරුවන්ගේ පිහිටෙන් බලයට එන්න හදනවා. විශ්ව විද්‍යාලවලට ගිහිල්ල ළමයින්ව අවුස්සනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නාවක වදය නිසා මොකද්ද වුනේ. අපි නවක වදය පිළිගන්නවාද. රටක් හැටියට නීතිය හා සාමය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා. එතුමා තනි මන්ත්‍රීවරයෙක් විදියට මේ අභියෝගය පිළිගත්තා. ස.ජ.බයට. අනුර කුමාර දිසානායකය අපි ආරාධනා කළා. නමුත් ඔවුන් මඟ හැරියා. අභියෝග පිළිගන්න බැරි අය නායකයො වෙන්නෙ කොහොමද. පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ප්‍රාණ ඇපකරුවෙක් කරගෙන නැහැ. අපි එතුමා එක්ක සම්මුතියෙන් වැඩ කරනවා. එතුමා අනාත කළේ ස.ජ.බ යයි.

නිර්පාක්ෂික කියපු සමහර අරගල කරුවො අද ඉන්නෙ කොහෙද. සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරු දරුවන්ට වෛරය උගන්වනවා. ශිෂ්‍යයන් දේශපාලන පක්ෂවල අතකොළු නොවිය යුතුයි.

ගරු මූලාසානාරූඩ මන්ත්‍රී තුමනි,

මම කියන්න කැමතියි මැයි 9 වනදා ප්‍රචණ්ඩත්වය 1971 කැරැල්ලේ වැරදුණු ප්‍රචණ්ඩත්වයයි.  71 කැරැල්ලේ ගහන්න කියලා එවපු පණිවුඩය තමයි . ජේවිපි අප්පුහාමි මළා.  අවසන් කටයුතු අප්‍රේල් 05 වෙනිදා සවස 6.00 ට වැල්ලවායේ පොදු සුසාන භූමියේ සිදුකෙරේ කියන එක. ඒක  වැරදුනු නිසයි එදා සිරිමා බණ්ඩාරනායක මැතිනියට ජිවිතය බේරා ගන්න පුළුවන් වුණේ. මැයි 9 වන දින සිද්ධියත් එවැනිම ප්‍රචණ්ඩත්වයක පූර්වා දර්ශයක්. ඔවුන් සුදානම්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 ක් ඝාතනය කරන්න.  ආණ්ඩු පක්ෂ පමණක් නොව විපක්ෂයත් ඇතුළත්.  කතා කරන තමුන්නාන්සේලාත් මේ ලැයිස්තුවේ ඉන්න තිබුණා.  ඒ නිසා මතක තියා ගන්න නයින්ට කිරි පොවන්න එපා කියලා.  ත්‍රස්තවාදීන් හුරුතල් කරන්න එපා.  ත්‍රස්තවාදීයෝ ත්‍රස්තවාදියෝ මයි.

ගෝඨාභය රාජපක්ෂ මහත්තය එළවන්න අරගල කරුවන් එනවිට ඒනකට නායකත්වය දුන්න අය අපි දැක්කා. සරත් ෆොන්සේකා මහතා එතන හිටියා. ප්‍රචණ්ඩත්වය වපුරල බලයට එන නායකයො දැනගන්න ඕන තමන්ටත් කවදහරි වරදිනව කියලා.

අමරකීර්ති අතුකෝරල මන්ත්‍රිතුමාව පාරේදි ගහලා මැරුවා වගේම 1987 අඟුණකොළපැලැස්ස වැටිය හන්දියේදී නිරායුධ ජිනදාස වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ අත කපා පණ පිටින් මරා දැම්මා.  එතුමා වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමාගේ බාප්පායි. භීෂණයට ප්‍රචණ්ඩත්වයට මනුෂ්‍යත්වයක් නැහැ.  ඒ නිසයි අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපතිතුමාව ඝාතනය කරන්න කැරලිකාරයන් උත්සාහ කරන්නේ. 

මේ ගොඩාක් මන්ත්‍රීවරුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ පිටරට. ඒ නිසා ඔවුන්ට තානාපතිවරුන්ගේ පදයට නටන්න වෙලා තියෙනවා. ගෝඪාභය රාජපක්ෂ සාමකාමීව මේ රට පාලනය කරන්න උත්සාහ ගත්තා. නමුත් ඒක සමහරුන්ට තේරුම්ගන්න බැරි වුණා. යුද්ධය යුද්ධයෙන් පාලනය කරන්න ඕන. ප්‍රචණ්ඩත්වය පාලනය කරන්න අපි ත්‍රිවිධ හමුදාවට උපරිම සහය දෙනවා. ඒ වගේම නීතිවේදීන්ගෙන් ඉල්ලීමක් කරනව තමන්ගේ ගරුත්වය රැකගෙන වැඩ කරන්න කියලා. අරගලකරුන් නීතිය අතට අරගෙන රට විනාශ කරල ඊට පස්සේ අධිකරණයට අත තියනවා. අධිකරණය ආරක්ෂා වුනේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා.

විපක්ෂය ආණ්ඩුවට එනවනම් අපි ඇමතිකම්වලින් ඉල්ලා අස්වෙන්න සුදානම්. අපිට තනතුරු එපා. එකතුවෙලා වැඩ කරල රට වැටුණු තැනින් ගොඩ ගමු.

– ප‍්‍රදීප් අනුර කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress