අරගලය ක්‍රියාත්මක සමයේ මට රුපියල් ලක්ෂ හත අටක මුදලක් ආවා – දමිතා අබේරත්න (වීඩියෝ).
Posted on October 12th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

කොළඹ ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක වූ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරය හා එක්ව සිටි සමයේ දී තමන්ට සමීප හිතවතුන්ගෙන් මුදල් ආධාර ලැබුණු බව ජනප්‍රිය රූපවාහිනී සහ චිත්‍රපට නිළි දමිතා අබේරත්න පවසනවා.

ඇය මේ බව පවසා සිටියේ, හිරු ප්‍රවෘත්ති සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, එම කාලසීමාව තුළ දී අයගේ සමීපතම සුබ පතන්නන් විසින් රුපියල් ලක්ෂ 7ක 8ක පමණ මුදලක් ලබා දුන් බව යි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බොහොමයක් ආරංචි සහ තොරතුරු අසත්‍ය බවත් තමන් හට මිලියන ගණනින් කිසිදු අවස්ථාවක මුදල් ලැබී නොමැති බවත් ඇය සඳහන් කළා.

එමෙන්ම මෙහි දී දමිතා අබේරත්න වැඩිදුරටත් කියා සිටියේ, මේ ආකාරයට තමන්ට චෝදනා එල්ල කරන කිසිවෙකු හෝ අරගලයට කිසිදු ආකාරයක ආධාරයක්, උපකාරයක් සිදු කළ අයවලුන් නොවන බව යි.

මාස ගණනාවක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක වූ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදලින් මෙන්ම ද්‍රව්‍යවලින් ද ආධාර උපකාර කළ දෙස් විදෙස් බොහෝ පිරිසක් සිටි බවත් ඔවුන්ගේ ශක්තිය නොමැතිව අරගලය පවත්වාගෙන යාමේ හැකියාවක් නො තිබූ බවත් ඇය කියා සිටියා.

එමෙන්ම මෙහි දී සිය සැමියා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ බවට නැඟෙන චෝදනාවලට පිළිතුරු දුන් දමිතා අබේරත්න කියා සිටියේ, තමන් දමිළ ජාතිකයකු විවාහ කර ගත් සැණින් ඔහු දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ හෝ ඔහු කොටියෙක් ලෙස හෝ හංවඩු ගසන්නේ, තමන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කිරීම නිසා ද යනුවෙන් ඇය ප්‍රශ්න කළා.

සිය සැමියාගේ පියා කේරළ ජාතිකයෙකු බවත් මව සිංහල බවත් වැඩි දුරටත් කියා සිටියි.

දමිතා අබේරත්න සඳහන් කළේ, ඔවුන්ගේ නිවාස 1983 කළු ජූලියේ දී ගිනි තබා විනාශ කළේ සිංහල මිනිසුන් විසින් බව යි.

එමෙන්ම සිය සැමියා මේ වේ වන විට වසර නවයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන බවත් මින් පෙර කිසිදු අවස්ථාවක මේ ආකාරයේ චෝදනාවක් ඔහුට එල්ල නො වූ බවත් ඇය සඳහන් කළා.

මෙහි දී සමගි ජන බලවේගය පක්ෂය සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට ඇති සූදානම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් දමිතා අබේරත්න කියා සිටියේ, පක්ෂ දේශපාලනය සඳහා එක්වීම සහමුලින්ම තමන්ගේ පෞද්ගලික තීරණයක් බවයි.

එය ගාලු මුවදොර ප්‍රකාශනය උල්ලංඝනය කිරීමක් හෝ වෙන යමක් නොවන බව ඇය සඳහන් කළා.

එමෙන්ම කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය පක්ෂයෙන් තමන්ට දේශපාලනය කිරීම සඳහා ආරාධනාවක් නො ලැබුණු බවත් නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් සහ පොදුජන පෙරමුණෙන් තමන්ට ආරාධනා ලැබුණු බවත් ඇය සඳහන් කළා.

මෙහි දී රුපියල් කෝටි ගණනක මුදල් වංචාවකට සම්බන්ධ වී සිටින තිලිනි ප්‍රියමාලි නමැත්තිය හමුවේ මුදල් තැන්පත් කර ඇතැ යි සහ ඇයගෙන් මුදල් ලබාගෙන ඇතැයි යන චෝදනාව ට පිළිතුරු දෙමින් දමිතා කියා සිටියේ, කිසිදු අවස්ථාවක තමන් තිළිණි ප්‍රියමාලි හමුවේ කිසිදු මුදල් තැන්පතුවක් සිදු කර නොමැති බව යි.

සිය ඥාති පුත්‍රයෙකු අනතුරකට ලක් වී ඇති අවස්ථාවක ඇය ශෙරීන් කුමාරතුංගගේ නම භාවිත කරමින් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් සිය ඥාති පුත්‍රයා කොළඹ ජාතික රෝහලෙන් ඉවත් කරගෙන ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙසත් එම සියලු වියදම් තමන් බලා ගන්නා බවත් කියා සිටි බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇයගේ එම යෝජනාව එම අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කළ බවයි දමිතා කියා සිටියේ.<br /><br />ඉන් අනතුරුව සිය නිවසට පැමිණි ඇය තමන්ගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා සිටි බවත් එය සතියක් තුළ දෙගුණ කර දීමට තමන්ට හැකි බවත් ඇය කියා සිටි බවයි දමිතා අබේරත්න වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙරට පවතින වාණිජ බැංකුවකට ලබාදිය නොහැකි පොළී මුදලක් ඇය ලබාදීමට පෙළැඹීම සම්බන්ධයෙන් තමන්ට ගැටළු තිබුණු බවයි මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ.

“අරගලයට මුදල් ලැබුණු හැටි දමිතා පළමුවරට හෙළිකරයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress