“ඍජු බදු වැඩි කර රටේ ආදායම වැඩි නොකළොත් නැවත පෝලිම් යුගයකට යාමට සිදු වෙනවා” – ජනපති
Posted on October 19th, 2022

උපුටාගැණීම  මව්බිම

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපතිවරයාමේ බව සඳහන් කළේ, බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද (ඔක්. 19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුව ද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්. 7) රැස්වීමට සහභාගි වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමග රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් ඍජුව සහ සූම් ඔස්සේ එම රැස්වීමට සහභාගි වුණා.

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 3 වන ජපානය, චීනය සහ ඉන්දියාව සමග පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක් ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේ ම ද්විපාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගි වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.

ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා.

ඒ වගේ ම, අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.

නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්ක ම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.

රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන් ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේදී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේ ම, ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේ ම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේ ම, ඔවුන් සඳහන් කළේ අපේ පළමුවන අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බව ත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින් ම බදු ගෙවීම සිදු කළ බවත් ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනවා නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.

ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුර ම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි ඍජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදුවලින්.

විශේෂයෙන් ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා. ඒ අය කිව්වේ ඍජු බදුවලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 2ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා. එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහය අපිට හිමි වන්නේ නැහැ. එහෙ ම වුණොත් අපිට නැවත පෝලිම් යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේ ම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේ ම, මහ කන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණා ම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේ ම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාර ගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලු දෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress