ජන සභාසංකල්පය, පන්සලහාපොලිසිය – part l
Posted on October 22nd, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

(පුදන කොටම කාපි යකා කියන්නාක් මෙන්, ජනාධිපති රනිල් – හිටපු කතානායක කරු ජයසූරිය යන දෙදෙනා විසින් කඩිමුඩියේ දියත් කරන්නට යන ජන සභා වැඩසටහන පැහැදිලි පදනමක් රහිත ව්‍යපෘතියක්වීම නිසාම, එය වැරදිලෙස වටහාගත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නැතැයි ප්‍රකාශ කලේය. ජන සභා සිස්ටම් එකක් මඟින් ලංකාවේ පක්ෂ දේශ-පාලකයින් විසින් 13-A මර උගුලද ඇතුළු, රටට කල සමාජ, ආර්ථික, සදාචාර, පරිසර යනාදී නොයෙක් මාදිලියේ බොහෝ කරුම වලින් සාමකාමී ලෙස ගැලවීමට ඉඩ සළසා ගත හැකිය. මෙම කාරණය 2005 සිටම වරින් වර අවස්ථා කීපයකදීම ලංකාවෙබ් හරහාත්, කෙළින්ම ඊමේල් මඟිනුත්, පුද්ගලිකව හමුවීත් රටේ පාලකයින්ටත්, කොමිෂන් සභා දෙකකටත් පෙන්වා දෙන ලදී. මේ නිසා මෙම ලිපි මාලාව විශේෂයෙන් කරු ජයසූරිය මහතාගේ අවධානය පිණිස පිළියෙල කරණ සවිස්තරාත්මක සංදේශයක පලවෙනි කොටසය).

සිස්ටම් චේන්ජ් කතාවේ කෙටි ඉතිහාසය

යම් රටක, සමාජයක පවතින සිස්ටම් එක චේන්ජ් කිරීම පහසු නැතත් එය ලෝකයේ මානව සංහතියේ ඉතිහාසයය. පොලොව වටේ ඉර කැරකෙනවා යන කතාව මත ගොඩ නැඟුණ <ලෝක සිස්ටම් එක>  දැන් අමතකය. ලංකා දිවයිනේ සිස්ටම් ගැන කතා කිරීමේදී 1551 දී දොන් ජුවන් ධර්මපාල රටේ ක්‍රිස්තියානි රජු වීමත් සමඟ ඇතිවූ ක්‍රිස්තියානි සිංහල පරම්පරා අමතක කල නොහැකිය. දිවයින අල්ලාගත් සුද්දන්ට දිගටම උපකාර කලේ මේ සිංහල ක්‍රිස්තියානී කල්ලිය. 1818, 1848 කැරළි හා 1915 මුස්ලිම්-සිංහල කෝලාහලය නිදසුන්ය. කෝල්බෘක් සාමි විසින් 1832 දී ලංකා කොලනියට හඳුන්වා දුන් (පසුව මැකෝලි සාමි විසින් 1835 Education Minute යනුවෙන් ඉන්දියාවේදී නිල වශයෙන් එලිදැක්වූ) ලිබරල් ධනවාදය හා කළු සුද්දන් පැලැන්තියක් බිහිකිරීම, යටත් විජිත පාලන ක්‍රමය නමැති සිස්ටම් එකේ මූලික ලක්ෂණයක් විය.

සිංහල බෞද්ධයින් මිස වෙන ජනවර්ගයක් රටේ ඉංග්‍රීසි පාලකයින් හා ගැටුණේ නැත.  1802 සිට ලංකා කොලනියේ ඉතිහාස කතාව ඉංග්‍රීසි පාලකයා හා පන්සල අතර ඇතිවූ නිරන්තර හීතල සුද්ධයක් නොවේද කියා සිතෙන්නේ එකිනෙක හා බැඳුණ එවැනි ගැටුම් අවධි දුසිමක් පමණ හඳුනාගත හැකි නිසාය (1948 න් පසු සිදුවූයේ බලයට ආ කළු සුද්දන් පන්සල් රැවටීමය). කෝල්බෘක් සිස්ටම් එක හා  වලානේ සිරි සිද්ධාර්ථ නාහිමියන් විසින් 1841 දී රත්මලානට වැඩමකර ආරම්භකල පරම ධම්මචේතිය මඟින් බිහිවූ සිංහල බෞද්ධ සිස්ටම් එක අතර ගැටුමේ එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ 1873 පානදුරා මහා වාදයය. එහි ආභාෂය අනුව ඉදිරියට යමින්, අමද්‍යප ව්‍යාපාරය වැනි විරෝධතා වලට පණදීමට වඩා ඔබ්බට යමින්, පවතින යටත් විජිතවාදී සිස්ටම් එක චේන්ජ් කිරීම පිණිස මුලින්ම <ගිහි දේශපාලන> සටනක් දියත් කලේ  අනාගාරික ධර්මපාලතුමාය. සුද්දන්ගේ පාලන තන්ත්‍රය <පර සුද්දගේ>   ක්‍රියාවක් යයි ඔහු අභියෝග (challenge) කලේය. ඔහුව රටින් එලවා ගැනීමට සුද්දන් හා කළු සුද්දන් ක්‍රියාකලේ ඒ නිසාය.

ඔහුගේ මඟ අනුගමණය කරමින් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමිපාණෝ පොලිසිය සමඟ එකතුව අපරාධ මර්දන හා ග්‍රාම ප්‍රතිසංකරණ නමින් ජාතික ව්‍යාපාරයක් දියත් කලේය (1933-1948). මෙම සාර්ථක වැඩ සටහන සුද්දන් හා ස්වදේශ කටයුතු ඇමති ඩී. බී. ජයතිලක, කෘෂිකර්මාන්ත ඇමති ඩී. ඇස්. සේනානායක යන ඇමතිලා දෙදෙනා විසින් බකල් කලේය. පලාත් පාලන ඇමති SWRD ද කරඇරියේය (2004-2010 කාලය තුල සර්ථක ලෙස, පක්ෂ දේශපාලකයාගේ  ඇඟිලි ගැසීමෙන් තොරව, ක්‍රියාත්මකවු ගැමිදිරිය වැඩසටහනටද අත්වූයේ එවැනි ඉරණමකි).

1956 අප්‍රේල් මස සිදූවූයේ නිහඬ මහජන විප්ලවයක් යයි සැළකිය හැකිය. 1953 අගෝස්තු හර්තාලය නිසා අසනීපවූ අගමැති සර් ජෝන්ට රට භාර දී ගියේය. බටහිර ගැති ආණ්ඩුවක් දෙදරා ගියත්, කුඹුරු පණත, බස් ජනසතුව, සිංහල රාජ්‍ය භාෂාව වැනි ක්‍රියා ධනපති පන්තියට තර්ජනයක් වුවත් පවතින සිස්ටම් එක වෙනස්වූයේ නැත. 1959 අගමැති SWRD ඝාතනයත් සමඟ පක්ෂ දේශපාලන තට්ටුමාරු ක්‍රමය ආරම්භවිය. 1962 පොලිස්-නේවි ක්‍රිස්තියානි කුමන්ත්‍රණය 1956 අපේ ආණ්ඩුව සංකල්පය බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ක්‍රියාවට නොනැගීමේ ප්‍රතිඵලයකි

1971 කැරැල්ල සිස්ටම් චේන්ජ් එකක් කරන්නට සිතුවේ පන්ති පහක් උගන්වාය. ඊට හවුල්වූ වික්ටර් අයිවන් දැන් කියන්නේ එය මෝඩ වැඩක් බවය. එයට විසඳුමක් ලෙස ගෙනා 1972 ජනරජ ව්‍යවස්ථාව රටේ මුළු පාලන තන්ත්‍රයම පක්ෂ දේශපාලකයින්ගේ ග්‍රහණයට නතුකලේය. ඒ අවධියේ ගත් මහජන හිතවාදී තීරණ (රාජ්‍ය සංස්ථා සංකල්පය වැනි) නුසුදුසු දේශපාලන හෙංචයියලා දමා කෙළෙසා ගත්තේය. උදාහරණයක් වශයෙන්, ජනතා කොමිටි සංකල්පය යටතේ ඒවාට පත්කලේ තම  පක්ෂයේ නුසුදුසු පංචස්කන්ධය. මේ නිසා විරුද්ධ පක්ෂ ඒවා ජනතා කොටි ලෙස හංවඩු ගැසුවේය (1988/9  JVP කැරල්ලට පසුව 1990 දී තරුණ අසහනයට අදාලව කොමිෂන් වාර්තාවක් පිටවිය).

1978 දී JRJ විසින් ගෙනා සිස්ටම් චේන්ජ් එකෙන් ලැබුණ එකම යහපත් ප්‍රතිඵලය නම් තිස් අවුරුදු යුද්ධය නිමකිරීමට ඇත්ත වශයෙන්ම ඕනෑකමක් ඇති අයෙකුට විධායක ජනාධිපති ධූරය නමැති බලයක් හිමිවීමය. ඒ හැරෙන්නට 1978 සිස්ටම් චේන්ජ් එක යටතේ ක්‍රමයෙන්, හැම පැත්තකින්ම, රට අඝාධයට වැටුණේය.  2000 වර්ෂයේ ගෙනා ව්‍යවස්ථාව රට කැබලිකිරීමේ ප්ලෑනක් විය. මෙම ප්ලෑන 2018/19 දී ඔරුමිත්තනාඩු කෙටුම්පත වශයෙන් මතුවිය.

1978 ට පෙර රටේ පැවති චන්ද ක්‍රමය වෙනස් කිරීම, ගම් සභා ක්‍රමය අහෝසිකිරීම යන තීරණ මඟින් භූමිය මතුපිට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය (territorial democracy) විනාශ විය.  1999 දී අභයවර්ධන කොමිෂම (Local government reforms commission) මඟින් නිර්දේශකලේ 1988 දී ගෙනා විකාර ප්‍රාදේශීය සභා ක්‍රමය වෙනුවට ආපසු ගම් සභා හා වෝඩ් චන්ද ක්‍රමයට යන ලෙසය. 2006 දී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම (LLRC) මඟින් බිම් මට්ටමින්  ජනතාවට පාලන බලය පැවරීමට නිර්දේශ කලේය. මෙය බොරුවට හෝ කොපිකිරීමක් 2018 දී ඔරුමිත්තනාඩු කෙටුම්පතේද දක්නට ලැබුණි. 2020 දී රොමේෂ් ද සිල්වා කොමිටියද මධ්‍යම-පර්යන්ත සම්බන්ධතා (center-periphery relations) යන මාතෘකාව යටතේ මහජන අදහස් විමසුවේය. එය ගත්තේ පලාත් සභා මර උඟුල් පාරද, ජන සභා පාරද යන්න රට තවම දන්නේ නැත.

මෙවැනි පසුබිමක්, ඉතිහාසයක්, යටතේ ජන සභා සංකල්පය පිළිඹඳව ආණ්ඩුවේ බලවත් අවධානය යොමුවුනේ ගෝල් ෆේස් අරගලයෙන් මතුවූ  සිස්ටම් චේන්ජ් කතාව නිසාය. <ගෝටා ගෝ හෝම්> කතාවට පසු සිස්ටම් චේන්ජ් ලෙස කරන්නේ කුමක්ද යන්න පිළිඹඳව අන්ද මන්දව සිටි ඔවුන්ට, ඉන්පසුව මෙම මහජන සභා අදහසේ තිබූ <සිස්ටම් චේන්ජ්> වටිනාකම නිසියාකාරව අවභෝධව නොතිබූ බව ඔවුන් අතරින් යම් තරමකින් හෝ පරිණතභාවයක් පෙන්වන පැතුම් කර්නර් පවා, නිර්පාක්ෂික, නිරාගමික, බහුජාතික මාතෘකා ගැන මිස, ජන සභා ගැන කතා නොකිරීමෙන් පෙනේ. ජන සභා සංකල්පය බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවට අනුකූලය. මීට පෙර ජනාධිපති සිරිසේන විසින් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන නිතරම කතාකලා මෙන් නව ජනාධිපතිවරයාද කූඨදන්ත සූත්‍රය අනුව ක්‍රියාකරණ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

ගෝල්පේස් දාර්ශනිකයින් රොත්ත

ගෝල්පේස් අරගලය, හාල් මිල වැඩිකිරීම නිසා ගිනිගත් 1953 හර්තාලයට සමානය. මිනිස්-අලි ගැටුම් වලින්, පෝර දියව් පෙලපාලි වලින්, ගෑස්, ඩීසල්, පෙට්‍රෝල්, විදුලිය කැපීම් නිසා ඇතිවූ මහජන නැඟිටීම, නිර්මාල් දේවසිරි විසින් ප්‍රංශ විප්ලවයට සමාන කලේය. වික්ටර් අයිවන් මෙන් 1971 JVP කැරල්ලේ සිටි ජයදේව උයන්ගොඩ ගෝල්පේස් ආවේ තරුණයින්ගෙන් පාඩම් ඉගෙන ගැනීමටය. මොවුන් මුලදී අහිංසක ලෙස අරගලයට ආ තරුණයින් නොමග යැව්වේය.  එසේ නැත්නම් ඔවුනුත් රැවටුනේය. අරගලය වනාහි රට කැබලි කිරීමේ  ව්‍යාපාරකාරයින්ගේ කුමන්ත්‍රණයක් බව, නොබෝදා බූකර් තැග්ග (Booker prize-2022) දිණු ෂෙහාන් කරුණාතිලක පවා අවභෝධ කරගෙන නැත. අරගලය නිසා රටේ ජනවර්ග එක්සත් වුනා යයි ඔහු කල ප්‍රකාශයෙන් ඔහුට තෑග්ග දුන් එංගලන්තයේ පිරිස සතුටු වනවා නිසැකය. එහෙත් රට කැඩීමේලා ඉදිරියෙන්ම ඉන්නේද මෙ බූකර් ගනයේ පිරිස්මය. බොරු එක්සත් කතාවෙන් ෂෙහාන් මිදෙන්නේ කවදාද?

ජන සභා උන (Jana Sabha fever)

නව ජනාධිපති මේවන විට තෙවරක්ම මහජන සභා (ජන සභා) පිහිටුවීම ගැන කතාකර ඇත. සැප්තැම්බර් 11 දා සමන්තා පවර්ට (USAID) ඔහු කියා සිටියේ කරු ජයසූරිය හා වික්ටර් අයිවන් විසින් ග්‍රාම සේවා වසම් 14,000 යොදා ගනිමින් ජන සභා පිහිටුවීමේ සැලැස්මක් සදමින් සිටිනා බවය. ඉන් පසුව ඔක්තොබර් 7 දා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානීන් සඳහාවූ වැඩමුළුවේදී ඔහු කරු ජයසූරිය මහතා විසින් ජන සභා පිහිටුවීම නැවතත් සඳහන් කලේය. ඔක්තෝබර් 9 දා වෘත්තීයවේදීන් සමඟ කල සාකච්චාව ලංකාසීනිව්ස් වල මෙසේ පලවිය.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතලා ඒ අනුව අපි කටයුතු කළයුතුයි. ජනතාවට ගම් මට්ටමේ දේශපාලනය එපා වෙලා තිබෙන නිසා අද අලුත් සංකල්පයක් අපි පිළිගන්නවා. ආණ්ඩුව නොවේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා ජන සභා ක්‍රමය ඉදිරිපත් කරලා තිබෙනවා. හැම ඡන්ද කොට්ඨාසයකම ඒ ගමේ තිබෙන පොදු සංවිධාන එක් කරලා එක් කමිටුවකින් ඒ වැඩකටයුතු කරන්න. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ ක්‍රමය හොඳයි. මීට පෙරත් මේ ක්‍රමය තිබුණා ග්‍රාමෝදය මණ්ඩලය හැටියට. ඒක ආණ්ඩුවට සම්බන්ධ එකක්, මෙය ආණ්ඩුවට සම්බන්ධ නොවන එකක්. මේ ජන සභා වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපාරොත්තු වෙනවා.

ජනසභා ක්‍රියාත්මක වන විට ප්‍රාදේශීය සභා එක්ක සම්බන්ධීකරණය තියෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට ජන සභා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොමද අපි එකට වැඩ කරන්නේ කියලා සැලසුම් කරන්න ඕන. ප්‍රාදේශීය සභා ක්‍රමය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. බොහෝ ප්‍රාදේශීය සභාවලින් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒවත් යැපෙන්නේ බදු මුදල්වලින්. මුදල් ලබා ගන්න නගර සභා, ප්‍රාදේශීය සභා ඒවා පඩි ගෙවන්න යොදවනවා. එහෙනම් අපිට මේ ක්‍රමය ගැන හිතන්න තිබෙනවා.

නමුත් පසුගිය සැරේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හාරදහස, අටදහස කළා. රට ඉල්ලුවේ නැහැ, පක්ෂ නායකයින් එකතු වෙලා මේ වැඩකටයුත්ත කළා. එහෙනම් අපිට දැන් තිබෙන්නේ ඊළග ඡන්දයට කලින් මේ අටදහස, හාරදහස බවට අඩු කර ගන්න.

මේ ප්‍රකාශ වලට පසුව ලැබුණ අළුත්ම ආරංචිය වන්නේ (ඔක්තෝබර් 12 දින Daily FT වෙබ් පත්‍රය) ජාතික ජන සභා කාර්යාලයක් පිහිටුවීමටත්, ඔබ හා වික්ටර් අයිවන් මහතා විසින් ඉදිරිපත් කලා යයි අනුමාන කලහැකි ඉලක්ක හයක් පිළිඹඳවත් කැබිනට් අනුමැතිය ලැබුණු බවය. මෙම ඉලක්ක වලට අනුව සිතෙන්නේ < ජන සභා සංකල්පයේ > නියම බලාපොරොත්තුව වන බිම් මට්ටමින් ජනතාව බලවත් කිරීම (empowerment) වෙනුවට, මෙම අළුත් ජන සභා මඟින් කරන්නට යන්නේ මධ්‍යම රජය විසින් ගන්නා තීරණ වලට හවුල්වීම, සහභාගිවීම, හා දායකවීම (involvement, participation & contribution) යන කාරණා බවය.  මෙය පවතින අසාර්ථක පක්ෂ දේශපාලන රාජ්‍ය පරිපාලන ක්‍රමයට පැලස්තර දැමීමක් නොවන්නේද? අරගලකාර යම් පිරිස් ඉල්ලා  සිටියේද මෙවැන්නක් නොවේ.

ගමේ ජනතාවට හයිය දීලා ගම් මට්ටමින් රට ගොඩනගන අලුත් වැඩපිළිවෙලකට දොරටුව විවෘත වෙලා තියෙනවා. දේශපාලන න්‍යායන් ගෙන් තොරව ගමේ බලය අප තහවුරු කරගත යුතුයි. ගමේ බලය ආර්ථික පරිපාලනය බවට පත්කරගත යුතුයි. ගමේ බලයේ අතිරික්තය රට පුරා ගමන් කිරීමේ වැඩපිළිවෙළ දියත් කළ යුතුයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඔක්තෝබර් 17

ජන සභා යනු විලවයකින් තොර විප්ලවයකි

මධ්‍යම ව්‍යවස්ථාදායකයක් විසින් ශක්තිමත් විධායක ජනාධිපති පාලන ක්‍රමයකට අනුකූලව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වියයුතුය යන මතය ගැන විවාදයක් නොමැත. එහෙත් දූෂිත පක්ෂ දේශපාලන ක්‍රමයක් යටතේ මේ වනවිට රට වැටී සිටිනා අඝාධයෙන් ගොඩ ඒම නමැති ව්‍යායාමයේදී, ජන සභා විසින් කල හැකි හා කලයුතුව ඇත්තේ මීට වඩා වෙනස් ජාතික <දේශ-පාලන>  ගණුදෙණුවකි. පක්ෂ දේශපාලකයාගේ ඇඟිලි ගැසීමකින් තොරව මෑත කාලයේ සිදුවු සාර්ථක ලෙස කරගෙන ගිය එක්තරා ආකාරයක <ජන සභා ක්‍රමයක්> වූයේ දේශපාලකයින් විසින් කඩාකප්පල් කල ගැමි දිරිය වැඩ සටහනය (2004-2010). Development Projects : Community Development and Livelihood Improvement “Gemi Diriya” Project – P074872 (worldbank.org) සම්මුතිවාදී දේශ-පාලන ක්‍රමයක් යටතේ සැදුනු, පක්ෂ දේශපාලකයාගෙන් මිදුන, ස්වාභාවික මායිම් සහිත ජන සභා පද්ධතියක් හරහා මිස මහජනයා බලාපොරොත්තුවන අන්දමේ සිස්ටම් චේන්ජ් එකක් සිදුවීමට ඔබලාගේ යෝජිත ඉලක්ක අනුව අවකාශයක් නැත යනු මගේ අදහසය. ජන සභා නියෝජන ක්‍රමයකින් බිහිවෙන ජාතික  ජන සභා කවුන්සිලයක්, දෙවන සෙනේට් සභාවක් වශයෙන්, මධ්‍යම ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලියට අනුගත කල යුතුය.

Balkanization of Sri Lanka & Victor Ivan’s plan යන මාතෘකාවෙන් 2022 අගෝස්තු 21 හා 28 දිනවල මෙම ජන සභා සංකල්පයට අදාල ලිපි දෙකක් Daily FT කතෘ මඟින් මා විසින් වික්ටර් අයිවන් මහතාට යැවුවේ, තුන්වන ලිපියකින් රට තුල ජන සභා මාවත මඟින් සාමකාමි විප්ලවයක් කල හැකි ආකාරය පැහැදිලි කරදීමේ අභිප්‍රායෙනි.  මට එසේ සිතුනේ ඔහු විසින් ලියන ලිපි, පොත් යනාදියේ මෙම බිම් මට්ටමින් මහජනයා බලවත් කරන ජන සභා සංකල්පය ගැන සළකා බලනවා මා දැක නැති නිසාය (ඔහුගේ Sri Lanka overcoming the crisis: Victor Ivan proposes comprehensive plan (newswire.lk 3/26/2022)  වාර්තාව මීට හොඳ නිදසුනකි). ඒ නිසා මෙම සංදේශය මඟින් එම කාර්යය ඉටු කරන්නට හැකිවේ යයි සිතමි.

මීට පෙර දේශපාලකයින්ට ඉදිරිපත්කල සංදේශ

ඔබතුමාට මෙම භාරධූර ජාතික මෙහෙවර භාරදීම සම්බන්ධයෙන් මා සතුටට පත්වෙන්නේ ජන සභා අදහසේ වටිනාකම සම්බන්ධයෙන් සංදේශයක් දැනට බොහෝ කලකට පෙර (2007/5/28) මා විසින් ඔබතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  ස්වදේශකටයුතු ඇමතිව සිටියදී ඉදිරිපත් කල නිසාය. <රට වැටෙමින් පවතින ප්‍රපාතයෙන් ගලවා ගැණීම සඳහා මඟක්> යන එම සංදේශයෙන් යෝජනාකලේ ග්‍රාම සේවක වසම් මට්ටමින් දත්ත රැස්කරමින් පක්ෂ දේශපාලනයෙන් තොර ගම් මට්ටමේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ අඩිතාලමක් දැමීමය. ඒ සම්බන්ධයෙන් ඔබගේ නිලධාරියෙක් (ටී. එම්. කේ. බී තෙන්නකෝන්, අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය), එවූ ලිපියේ මුල් පිටුව මෙහි පහතින් කොපිකර ඇත.

ලංකාවේ දැනට තිබෙන යමෙකුගේ මනස අවුල්කරණා සුළු අකාරයේ විවිධ දේශපාලන, ආර්ථික, සමාජීය, සදාචාරය, විනය ගරුක බව, ජනවාර්ගික හා පරිසර විද්‍යාත්මක ප්‍රශ්ණ වලට මූලික විසඳුමක් වශයෙන් ජන සභා සංකල්පයේ ඇති වටිනාකම ලංකාවේ දේශපාලන නායකයින්ට පෙන්වා දීමට 2005 සිටම මම උත්සාහ කළෙමි. 2005 දී මහින්ද චින්තනය ඇට්ලස් නමින් මෙම අදහස ජනාධිපති මහින්දට යවන ලදී. 2010 දී මහින්ද චින්තනය දෙවන භාගය නමින් යැවූ සංදේශයද බීරි අලින්ට වීනා ගැයීමක් විය. 2011 දී ලංකාවට පැමිණ උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම (LLRC) ඉදිරියේ මෙම ජන සභා අදහස ඉදිරිපත් කරණලදී (එම වාර්තාවේ ගම් මට්ටමින් ජනතාවට බලය පැවරීම ගැන නිර්දේශ කර තිබුණේය). මෙම අවස්ථාවේදී මහින්ද ජනාධිපතිව හමුවු අතර ඔහු විසින්  එම සාකච්චාවට ලේකම් ලලිත් වීරතුංගව  කැඳවා මෙම අදහස ගැන ක්‍රියාකරණ ලෙස දැණුම් දුන්නේය. මේ අතරතුර බැසිල් ඇමති විසින් ජන සභා අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක් පවා පත් කර (කොළඹ විශ්ව විද්‍යාලයේ ධම්ම දිසානායක මහතා) යම් සූදානමක් පෙන්වුවත් අන්තිමේදී දිවි නැඟුම (සමුර්ධි බලකාය) නම් ව්‍යපෘතියක් ආරම්භ කරන ලදී. 2015/9/18 දිනැති සිරිසේන ජනාධිපතිවරයාට යැවූ සංදේශය (සාමකාමී සහජීවනය හා රටේ තිරසර සංවර්‍ධනය උදෙසා බිම් මට්ටමින් ගතයුතු ප්‍රථම පියවර) ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරීන් ඔහුට පෙන්වූවාද කියාවත් මට සැකය.

මෙහිලා  ඉන්පසු  සිද්ධිය වන්නේ ගෝඨාභය 2019 චන්ද ප්‍රකාශනයේ ජන මූල සභා පිහිටුවීමට දුන් පොරොන්දුවය. රොමේස් ද සිල්වා ව්‍යවස්ථා කෙටුම්පත් කොමිටියට මා විසින් 2020/ 11/ 20 දින ඉදිරිපත් කල සංදේශයේ ජන සභා සංකල්පය පිළිඹඳ සංක්ෂිප්ත විග්‍රහයක් මෙන්ම, 13 -A සංශෝධනය හරහා රට කැබලි කැබලිවී යාමට ඇති ඉඩකඩ ජන සභා ක්‍රමයක් යටතේ මගහරවා ගතහැකි අන්දම පැහැදිලි කරදෙන ලදී. 

රටවල් කඩන UN සාම හමුදා

ජන සභා සම්බන්ධයෙන් පක්ෂ දේශපාලකයින් මෙතෙක් අනුගමණය කල  ක්‍රියා පිළිවෙල පැලැස්තර දමා තවදුරටත් ගෙනයාමේ විශාල අවදානමක් ඇත. වසර 75 ක් පුරා සිදුවු මිස් මැනේජ්මන්ට් නිසා රටේ දැනට තිබෙන ලොකු කුඩා සෑම සිස්ටම් එකක්ම ග්‍රීස් නැතිව මලකඩකෑ රෝද සහිත යන්ත්‍ර සූත්‍ර වැනිය. JVP-පෙරටුගාමි කොටස් රටපුරා ගම් මට්ටමින් පවතින කසිකබල් පාලක/පාලන ක්‍රමයට විරුද්ධව ජනයා සංවිධානය කරමින් සිටී. සරත් ෆොන්සේකා කියන්නේ සාමකාමි අරගලයකට ඔහු <මඟ> පෙන්වන බවය. වෙනත් බොහෝ කොටස් යූටියුබ්-ෆේස්බුක් සමාජ ජාලා හරහා ජනයා කුලප්පු කිරීම හා නොමඟ යැවීම ගජරාමෙට කරගෙන යයි. මේ අතර මෙතෙක් කරණ ලද අධර්මිෂ්ට පක්ෂ දේශපාලනය නිසා හිට්ලර් ක්‍රමයකට යාමට (ලීක්වාන් ගනයේ) අධ්‍යාත්මක ශක්තියක් නැතිකම  හා වල්බූරු නිදහස නමැති-බොරු ප්‍රජාතන්ත්‍රවාදයකට ආවැඩීම යන වරණ දෙක අතර <ආණ්ඩු තන්ත්‍රය>  හෙවත් පවතින අබලන් සිස්ටම් එක අතරමංව සිටී.

බංකොලොත් වුන රටකට නැවත ගොඩගැනීමට සෑහෙන කාලයක් ගතවේ.  මේ කාලය තුල රටේ සාමාන්‍ය ජනතාවට නොයෙක් දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවේ. මෙම කාරණය උපයෝගීකරගෙන රටේ කලබල ඇතිකර අවිචාරමත් සමයක් (anarchy) බිහිකර ගැනීමෙන් වාසි ගන්නට හැකියයි සිතන නොයෙක් කොටස් සිටී. අවසානයේ සිදුවන්නේ මේ අය සිතන දේ නොව විදේශ බලවේග වල න්‍යායපත්‍ර වලට අනුව UN සාම හමුදා පැමිණ රට විනාශවී යාමය.  මෙම ව්‍යසනයෙන් රට මුදවා ගැනීමට හැකි ප්‍රබලතම සිස්ටම් චේන්ජ් එක වනුයේ. නිසි ආකාරයට,  විද්‍යාත්මක ලෙසට ජන සභා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමය. මේ සඳහා අපගේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයෙන් බොහෝ උදාහරණ සැපයේ.

මීලඟ දෙවන කොටසින් රට ගොඩගැනීමට උපකාරවන අන්දමේ ජන සභාවක් සදන ආකාරය විස්තර කෙරේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress