ජන සභා සංකල්පය, පන්සල හා පොලිසිය – part -2
Posted on October 26th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

(මෙම සංදේශයේ 1 වන කොටසින් සිස්ටම් චේන්ජ් කතාවේ ඉතිහාසය හා රටේ මහාපරිමාණ සිස්ටම් චේන්ජ් එකක් උදෙසා ජන සභා සංකල්පය නිසි ආකාරයට ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය කෙටියෙන් විමසා බලන ලදී. මෙම 2 වන කොටසින් මා විසින් මීට පෙර යෝජනාකල ජන සභා අකෘතිය සළකා බැලේ. එහි දක්වන යෝජනා වලට හේතු පාදකවූ කරුණු පසුව 3 වන කොටසකින් ඉදිරිපත් කරණුයේ, ප්‍රථමයෙන් පාඨකයාට ස්වාධීනව ඒ යෝජනා ගැන යම් නිගමනයකට ඒමට ඉඩ ලබාදියයුතුවන නිසාය).

1953 අගෝස්තු හර්තාලය හා 2022 ගෝල්පේස් කුමන්ත්‍රණය

පලවෙනි කොටසේ සිස්ටම් චේන්ජ් ඉතිහාස කතාවේදී හර්තාලය හා අරගලය අතර ඇති සමානකම සඳහන් කලත්, පාර්ලිමේන්තු මාක්ස්වාදීන් සිස්ටම් චේන්ජ් අවස්ථා බකල් (sabotage) කල හැටි මුහුණු පොත්-වට්ස් ඇප් තරුණයින්ට පෙන්වාදීම මට අමතක විය. 1956 දී සමසමාජ් පක්ෂය සර් ජෝන් පරාජය කිරීමට පිලිප් ගුණවර්ධන-SWRD බලවේගයට එකතුවී ආසන ජයගෙන විරුද්ධ පක්ෂ නායක කමත් ලබාගත්තත් ඉන් පසු පැරදුන JR-ඩඩ්ලිලා වගේම ආණ්ඩුවට භාධා කලේ වසරේ දින ගණනටත් වඩා වැඩියෙන් ස්ට්‍රයික් කරමින්ය. මගේ සැමියා නොමරා මැරුවේ NM යයි Mrs. B 1960 චන්ද රැස්වීම්වල කියා සිටියේය. NM කියුබාව ගැන පාර්ලිමේන්තුවේදී වර්ණනා කරන විට පිලිප් කිව්වේ ආණ්ඩුවට සහාය දෙනවානම් ලංකාවේ කියුබාව බලාගන්නට පුළුවන් බවය. රට අඝාධයට ගෙන යාමේ පවට මාක්ස්වාදීන්ද කරට කර හවුල්වුයේය. දැන් රට අඝාධයට ගෙන යාමේ පවට මාක්ස්වාදීන්ද සම හවුල්කරුවන්ය. දැන් JVP හා පෙරටුගාමීන් හා ඔවුන්ට සම්බන්ධ NGO කාරයින් රඟපාන්නේද මේ නාට්‍යය මය.  සුදු ඇඳ ගත් උපාසකයින්වී විහාරවල කොත්  පලන්දන ගමන්, පවතින දූෂිත ක්‍රමය වෙනස් කරන්නට නම්, ගම්වල  මාක්ස්වාදී පක්ෂ දේශපාලන බලකොටු හදනවා වෙනුවට, නිර්පාක්ෂික ජන සභා ගම් මට්ටමින් පිහිටුවීමට ඔවුන් සුදානම් වියයුතුය. මොවුන් කෙසේ වෙතත් සමහර හාමුදුරුවරුන්වත් තමන් කරන්නේ UN සාමහමුදා ගෙන්වා ගෙන රට කැබලිකර ගැනීම බව අවභෝධ කරගෙන නැත.

ජන සභා  භෞතික සැලැස්ම

(මෙහිදී සඳහන් කරන්නේ යථාවාදී (meaningful) ජන සභාවකට තිබිය යුතුවන මූලික ලක්ෂණ පමණය. මෙම මූල ධර්ම අනුව යමින්, අංග සම්පූර්ණ ජන සභා ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කරගත හැකිය.)

A. ග්ලෝබල් වෝමින් හා නැචුරල් බවුන්ඩරීස්

*1. රටේ පහලම සිවිල් පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී සේවක වසම් 14,021, ස්වභාවික මායිම් සහිත (natural) ඒකක වනසේ, භූගෝල විද්‍යා-භූජල විද්‍යා-පරිසර විද්‍යා (geography, geohydrology, ecology) නිර්‌ණායක අනුව අළුතින්  සීමා මායිම් නිර්ණය කිරීම. කුඩා දූපත් දෙකක් වන නිව්සීලන්තයේද එරට ව්‍යවස්ථාවෙන් නියෝග කර ඇති අන්‌දමටම ලංකාවේදීද මෙය ව්‍යවස්ථාගත කල යුතුය.

*2. අළුතින් සීමා මායිම් කල ග්‍රාම සේවා වසම්, ජනතාව බලවත් කිරීම (empowerment of people at grassroot level) සඳහා ජන සභා වශයෙන් උපයෝගී කරගැනීම. මේ අනුව වසමක්, (හෝ ඒවා එකක් ප්‍රමාණයෙන් කුඩා නම් දෙකක්), ජන සභා (ජන මූල සභා) ඒකකයක් ලෙස හඳුනා ගැනීම.

*2.1. වඩා විශාල ජන සභා ඒකකයක් අවශ්‍යනම් අළුත් ග්‍රාම සේවා වසමක් විශාල ජන සභාවේ කොට්ඨාශයක් (ward) කල හැකිය.  එවිට විශාල ජන සභාව  කුඩා ස්වාභාවික (natural) ඒකක වලින් සමන්විත (දැනට තිබෙන විකෘති ප්‍රාදේශීය සභා ක්‍රමය මෙන්), ඕනෑවට වඩා  විශාල  ස්වාභාවික ඒකකයක් වන්නේය.

B. ජන සභාවේ සංයුතිය

*1. ජන සභාවේ සාමාජිකයින් හා එහි සේවකයින් කුමණ හෝ ආකාරයකට කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ අය විය යුතුය. තමන්ගේ ලඟ ඥාතීන් යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධනම් ඒ බව ජන සභාවේ සාමාජිකයින් විසින් ලිඛිතව ජන සභාවේ ලේකම් වෙත දැනුම් දිය යුතුය. ජන සභාවේ සාමජිකයින්ට, සේවකයින්ට හා ඔවුන්ගේ ලඟ ඥාතීන්ට ජන සභාව සමඟ මුදල් ගණුදෙනු, කොන්ත්‍රාත් හෝ වෙනත් සැපයුම්, සේවා කටයුතුවල නියැලීම තහනම්ය.

*2. ජන සභාවකට මහජන චන්දයෙන්  නියෝජිතයින් 15 ක් තෝරා පත්වේ. ඉන් 5 දෙනෙක් පලවෙනි වර්ෂයෙන් පසු ඉවත් වන්නේය.  එම පුරප්පාඩු 5 සඳහා චන්දයක් පැවැත්වේ. ඉවත්වන අයටද තව එක වරක් පමණක් චන්දය ඉල්ලිය හැකිය. දෙවෙනි වර්ෂය අග මුලින් තේරුණු 15 දෙනාගෙන් තව 5 දෙනෙක් ඉවත්වීම හා චන්දයක් පැවැත්වීම සිදුවේ. තුන්වන වර්ෂය අග මුලින් තේරුණු ඉතිරි 5 දෙනා ඉවත්වේ. මෙම ක්‍රමය අනුව ජන සභාව අඛණ්ඩ ආයතනයකි.

*3. ජන සභා භූමි ප්‍රදේශය තුල ඇති විහාර ස්ථාන, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, හා මුස්ලිම් පල්ලි වලින් එම ලබ්ධීන් සඳහා නියෝජිතයින් දෙදෙනෙක් බැගින් ඔවුන් විසින් නම් කරණු ලැබේ.

*4. ජන සභා ප්‍රදේශය අයත්වන පොලිස් වසමේ හා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් බැගින් නිලවශයෙන් පත් කරණු ලැබේ.  ඔවුන් ජන සභා ප්‍රදේශය තුල චන්දය ඇත්තන් විය යුතුය.

*4. ඉහත අංක 3 හා 4 යටතේ පත්වන අයට ජන සභාව තුල චන්ද බලයක් ලැබෙන්නේ, අංක 2 යටතේ පත්වෙන සාමාජිකයින්ට යම් කරුණක් පිළිඹඳව පොදු එකඟතාවයකට ඒමට නොහැකි වුවහොත් පමණය.  එවැනි අවස්ථාවකදී අංක  3 හා 4 ට අයත් අයගේ සාමූහික තීරණය ජන සභාවේ තීරණය වන්නේය.

C. මධ්‍යම රජය හා ජන සභාව අතර සම්බන්ධතා

*1. ස්වාභාවික (natural) මායිම් අනුව ප්‍රතිස්ථාඵනය කල සහිතව ග්‍රම සේවා වසම (GSN) මධ්‍යම රජයේ සිවිල් පරිපාලන පද්ධතියේ මූලික භූමි ඒකකය වනවාසේම ඒවා ජන සභා ක්‍රමයේ ද බිම් මටටමේ ඒකකය වන්නේය. GSN ට ඉහලින් ප්‍රාදේශීය ලේකම්ද (AGA) ඔවුන්ට ඉහලින් දිස්ත්‍රික් ලේකම්ද (GA) සිටී. මෙම ක්‍රමයේ සිදුවන එකම වෙනස නම් මින් ඉදිරියට එම සිවිල් පරිපාලන ඒකක ස්වභාවික මායිම් සහිත වීම පමණය.

*2. ජන සභා ක්‍රමය යටතේ දැනට ඇති පලාත් සභා 9 අහෝසිවී යන නිසා, ඒ වෙනුවට අවශ්‍යනම් දිස්ත්‍රික් මට්ටමින්  හෝ පලාත් මට්ටමින් ජන සභා එකතුකල හැකිය. මෙසේ කිරීමට හේතුව නම් විශාල භූමි ඒකකයක් මඟින් සිය අභිලාශ ඉටුකර ගත හැකිය යන සුළු ජනවර්ගවල දේශපාලන නායකයින්ගේ මතයට ඉඩක් ලබා දීම සඳහාය.

*3. මේ ආකාරයට සිවිල් පරිපාලන පද්ධතිය හා ජන සභා පද්ධතිය යනුවෙන්  ප්‍රවාහ දෙකක්  බිහිවන අතර, සිවිල් රාජ්‍ය පද්ධතියේ හිනිපෙත්ත වන්නේ ජනාධිපති/කැබිනට් මණ්ඩලයය. අනිත් අතට, ජන සභා පද්ධතියේ හිනිපෙත්ත වන්නේ ජාතික ජන සභා මණ්ඩලයය. මෙය පාර්ලිමේන්තුවට දෙවෙනි වන සෙනේට් සභාවක් වැනිය. එය සමන්විත වන්නේ ජන සභා වලින් තෝරාගත් 100 දෙනෙකු ගෙන්ය. 

*4. පලාත් සභාවලට හා ප්‍රාදේශීය සභා වලට දී තිබූ කාර්යයන් සිවිල් පරිපාලන පද්ධතියට හා ජන සභා වලට බෙදා දිය යුතුය. තමන්ගේ ජන සභා බල ප්‍රදේශය තුල කරන කටයුතු හා ඒවා සිවිල් පරිපාලන ඒකක සමඟ පාස්සා ගැනීම ජන සභාවේත්, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්ලාගේත් වගකීමය

D. ජන සභාවේ නිලධාරීන්

*1. ජන සභාවේ චන්දයෙන් පත්වූ සාමාජිකයින් විසින් වර්ෂයක කාලයක් සඳහා සභාපති කෙනෙක් තෝරා පත්කර ගනී.

*2. ජන සභාවේ තීරණ ක්‍රියාත්මක කරන්නේ එහි විධායක නිලධාරියා වන ජන සභා ලේකම් වරයාය. ජන සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන ධූරයක් වන්නේ පර්යේෂණ අධ්‍යක්ෂක තනතුරය. මෙම නිලධාරියා එදිනෙදා පරිපාලන කටයුතුවලදී ලේකම් යටතේ ක්‍රියාකලත්, ඔහුගේ පර්යේෂණ කටයුතු වලදී ඔහු වගකියන්නේ ජාතික ජන සභා ලේකම් කාර්යාලයටය. ඔහු පිළියෙල කරණ වාර්තා, දත්ත යනාදිය ජන සභාවේ පරිගණක පද්ධතියට ඇතුලත් කල පසු, ඒවා යාවත්කාලීන කල හැක්කේ, ඔහු විසින්, ජාතික ජන සභා කාර්යාලයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය.

*3. ජන සභාවේ තීරණ ක්‍රියාත්මක වනවාද යන්න නිරීක්ෂණය කර ප්‍රගති වාර්තා පිළියෙල කිරීම පර්යේෂණ අධ්‍යක්ෂකගේ වගකීමය.

*4. ජන සභාවේ පර්යේෂණ අධ්‍යක්ෂක විසින් පහත සඳහන් පර්යේෂණ කටයුතු කලයුතුය.

පියවර 1- ජන සභා ප්‍රදේශය තුල ඇති සම්පත් (resources) හා භූමි පරිභොගය (land use maps) සිතියම් ගත කිරීම.

(1931 දී බ්‍රිතාන්‍ය භූගෝල විද්‍යාඥ ඩඩ්ලි ස්ටෑම්ප් විසින් මෙම සංකල්පය ඒ රටේ ආරම්භ කලේය. මේ වනවිට එය ඩිජිටල් කරණයට ල‌ක්‌වී ඇත. පසුකලෙක ආරක්‍ෂක ඇමතිව සිටි මියගිය රන්ජන් විජේරත්න මහතා කෘෂි පර්යේෂණ ආයතනය භාරව සිටියදී මෙවැනි සමීක්‍ෂණ ව්‍යපෘතියක් දියත් කලේය. ප්‍රභාකරන් සිය බලප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් මට්ටමින් මෙවැනි සිතියම් සදවා පරිගණකගත කෙරෙව්වේය).

අද ලංකාවේ මේ සඳහා අවශ්‍ය, එහෙත් විසිරී ඇති, තොරතුරු එමටය. මිණුම් දෙපාර්‌තමේන්තුවේ නූතන සිතියම් පදනම් කරගෙන, ඒවා ක්‍ෂේත්‍ර සමීක්‍ෂණ මඟින් යාවත්කාලීන කිරීම රටේ ඇති භූගෝල විද්‍යා දෙපාර්‌තමේන්තු හරහා ග්‍රාම සේවා වසම් මට්ටමෙන් කරගත හැකිය. ඒ සඳහා සංවිධානාත්මක පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍යය. එක් එක් ග්‍රාම සේවක වසම් (ජන සභාව) සඳහා පිළියෙල වන මෙම සිතියම් එම වසමේ ඇති පාසැල්, පුස්තකාල, පන්සල්/කෝවිල්/පල්ලි වල ප්‍රසිද්‌ධ කල යුතුය, ඒවායේ වැරදි, අඩුපාඩු පෙන්‌වා දීමට මහජනයාට ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතුය.

පියවර 2- සිතියම්වල ඇති තොරතුරු සංඛ්‍යා සටහන් (data table) වශයෙන් පරිගණකගත කිරීම ඊලඟ පියවරය. මේ අනුව යම් ග්‍රාම සේවක වසමක ඇති සිතියම්ගත තොරතුරු සටහනක (ටේබල්) තිරස් කොලම් හා හරස් පේලි වශයෙන් වාර්තාගත කල යුතුය. ජන සභාවේ කටයුතු සඳහා පදනම/පසුබිම වන්නේ සිතියම් හා මෙම සටහන් (ටේබල්) ‌ය (data-driven decision making).

පියවර 3- සමහර විට, ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින කිසිම රටක දැනට සිදු නොවන දෙයක් නම් හා, ඉන්දියාවේ පංචයාත් රාජ්‍ය ආයතන වල අකාර්යක්‍ෂමතාවයට හේතුවක් නම්, ජන සභාවලට තනියෙන් සිට ගැනීමට නොහැකි බව වටහාගෙන ඒවාට ඔක්‍ෂිජන් සපයන මධ්‍යම ආයතනයක් නොමැතිවීමය. මෙම මධ්‍යම ආයතනය සේවා සපයන ස්වාධීන පක්‍ෂ. දේශපාලනයෙන් නිදහස් ඒකකයක් විය යුතුය.

මෙහිදී රටේ සෑම ග්‍රාම සේවක (ජන සභා) වසමක්ම විශාල සංඛ්‍යා සටහනක (ටේබල්) එක පේලියකි. එම වසමට අදාල, ඉහත දෙවන පියවරේ ඇති තොරතුරු (variables), සටහනේ සිරස් කොලම්‌ය. මේවාට  සීමාවක් නැත. උදාහරණයක් වශයෙන් කෘෂිකර්‌මාන්තය යටතේ, එක් එක් භෝග සඳහා වේරියබල්ස් තිබේ. භෞතික සම්පත් යටතේ, වනාන්තර, ඛණිජ, ජලය, පස යනාදියද, මානව විද්‍යා අංශයෙන්, මිනිසුන්ගේ අපරාධ, ආගම, භාෂාව, ජාතිය, වෘත්තිය, අධ්‍යාපන මට්ටම යනාදියද, ස්වාභාවික ආපදාවල්, අලි-මිනිස් ගැටුම්, වටු කුරුල්ලන්ගේ බිත්තර, කුකුල් ෆාම්, පාරවල් වර්‌ග, ලෙඩ රෝග ව්‍යප්තිය, බෝ නොවන ලෙඩ රෝග සංඛ්‍යා යනාදිය දැක් විය හැකිය.

පරිශීලනයේ පහසුව සඳහා එක් මෙග ටේබල් එකක් වෙනුවට, භූමිය වශයෙන් හෝ විෂය වශයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්‌යාල වශයෙන් ටේබල් වෙන් කල හැකිය. මෙහිදී වැදගත් කාරණය වන්නේ ග්‍රාම සේවා වසමේ සිටම මෙම වේරියබල්ස් එකම ප්‍රමිතියක් (ස්ටෑන්ඩර්‌ඩ්) අනුගමණය කිරීමය.

මෙම ටේබල් පරිශීලනය කරන්නාට ඒවායේ ඇති සංඛ්‍යා වෙනස් කිරීමට ඉඩක් නොතිබිය යුතුය. ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම ජන සභාවක ටේබල් හා සිතියම් බැලීමට හැකිවිය යුතුය.

Using science to create a better place යන තේමාව යටතේ සළකණ විට ජන සභාවල ප්‍රතිපත්ති තීරණ සඳහා පදනම වන්නේ මෙම සිතියම් හා ටේබල්‌ය. තීරණ අනුව ගන්නා ක්‍රියාමා‌ර්‌ග අනුව ටේබල් යාවත්කාලීන කිරීමට පෙර (update) ජන සභාවේ ඉන්නා ස්වාධීන පර්යේෂණ අධ්‍යක්ෂකවරයා ඒ සඳහා මධ්‍යම පර්යේෂණ ඒකකයට වාර්‌තාකර අනුමැතිය ලබාගත යුතුය. මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය මොනිටර් කිරීම ඔහුගේ වගකීමය.

මෙම බිම් මට්ටමේ ප්‍රගතිය, පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් ජන සභාවට, හා මාස 4 කට වරක් රැස්වන ජන සභා මහජන රැස්වීමට ඉදිරිපත් කරන්නේද එම නිලධාරියා විසින්මය. අඩු පාඩු, ගැටළු, විසඳුම් හා නව සංශොධිත ඉලක්ක, මෙසේ අවස්ථා දෙකකදී සාකච්චා කෙරේ.

මෙම සංදේශයේ 3 වන කොටසින් ලෝකයේ මෙම ජන සභා සංකල්පය වර්ධනයවූ ආකාරයත්, ලංකාවේ එහි ඉතිහාසයත් සලකා බැලේ. 4 කොටසින් ලංකාවට නිසි ආකාරයේ ජන සභා ක්‍රමයකින් ලබාගත හැකි ප්‍රයෝජන ඉදිරිපත් කෙරේ. ලංකාවේ තෝරාගත් භූමි ප්‍රදේශ 6 ක මෙම ජන සභා සංකල්පය ප්‍රථමයෙන් අත්හදා බැලිය යුතුය යන්න මගේ අදහසය.

පියවර 4- ජනසභා තොරතුරු ලංකා සිතියමේ පෙන්‌වීම.
රටේ ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙකුට අමතරව, රටේ ඕනෑම මන්ත්‍රී ප්‍රාණයකට විනාඩි කීපයක් තුල තම චන්ද ප්‍රදේශයේ පමණක් රටේ ඕනෑම ජන සභාවක කටයුතු පිළිඹද දැණුමක්, පරිගණකයක් හරහා දැන ගැනීමට මෙම ක්‍රමය මඟින් අවස්ථාවක් ලැබේ.

නිදසුනක් වශයෙන් ජනාධිපතිට රටේ අලි-මිනිස් ගැටුම් වල අළුත්ම තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඔහු කල යුතුවන්නේ තම පරිගණකයේ ඇති ඊට අදාල වේරියබල් එකේ නම ටයිප් කිරීමය. ඊට අදාල ලංකා සිතියමක් පරිගණකයේ දිස්වෙන්නේ එක් ජන සභාවක් සිතියමේ තිතක් වශයෙන් ලකුණු කර (ග්‍රිඩ්ගතකර) ඇති නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress