අනාගත පරම්පරාවට විශ්වාසනීය මඟක් ජනිත කළ හැක්කේ ඵලදායීතාවය ඉහළ නැංවීම මතයි
Posted on December 15th, 2022

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අනාගත පරම්පරාවට විශ්වාසනීය මඟක් ජනිත කළ හැක්කේ ඵලදායීතාවය ඉහළ නැංවීම මත යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ 2022.12.15 අරලිය ගහ මන්දිරයේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන උළෙල අමතමිනි. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ 2020 වසරේ  ඵලදායිතාවය ඇඟයීමයි. මෙහිදී  රාජ්‍ය, සේවා, නිශ්පාදන, පාසල්, පිරිවෙන් ආදී අංශ ගණනාවක් ඔස්සේ ඵලදායීතාවය අගයමින් සම්මාන ප්‍රධානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
ඵලදායීතාවය අපට අභියෝගයක්. රටක සංවර්ධනයේ ඉදිරි පියවර වගේම, අනාගත පරම්පරාවට විශ්වසනීය මඟක් ජනිත කළ හැකි වන්නේ ඵලදායිතාවය මතයි. අපේ රටේ නිෂ්පාදන ඵලදායිතා ඉහළ නැංවිය යුතුව තිබෙනවා. ඒ අභියෝගය ජයගැනීමේදී පුමුඛතාවයන් හඳුනා ගැනීම වැදගත්.
අපි අලුත් තරුණයින්ගේ නිර්මාණශීලීත්වයට ඉඩදෙන්න ඕනේ. මේ වෙනස තුළින් අලුත් දේවල් බිහි කරන්නට ඉඩකඩ දෙන්න ඕන. සාම්ප්‍රදායික කෝණයෙන් බැහැරව, අලුත් කාලපරිච්ඡේදයකට සමාජයත්, රටත් ගෙනයාමට උත්සාහයේ යෙදෙන පිරිස්වල ඵලදායිතාව හඳුනාගෙන මේ ආකාරයෙන් ගෞරව දැක්වීම විශාල ධෛර්යයක්.
රොනී ද මෙල් කියන්නේ අපේ රටේ විශිෂ්ටතම මුදල් අමාත්‍යවරයෙක්. එදා ඔහු කිව්වා හැම අයවැය ලේඛනයෙන්ම ගොඩනැගිලිවලට මුදල් වෙන්කලත් ගොඩනැගිලිවලින් ප්‍රයෝජනය ගන්නෙ පැය හයයි. ඊට පස්සේ උදේ පාන්දර වෙනකල් ගොඩනැගිලි වහනවා. වෙනත් රටවල අතිරේක දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියට, අතිරේක පර්යේෂණ සදහා ඒ ගොඩනැගිලි යොදා ගන්න බව.
ඵලදායිතාවයට බලපෑම් කරන රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි සමාලෝචනය කළ යුතු කාලයකයි අපි ඉන්නේ. එහෙම නොකලොත් සිද්ධවෙන්නේ කාලය නාස්තිවීමක්.
ගමේ සිට ඉහලටම රටක් වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගයට සෑම ක්ෂේත්‍රයක්ම පරිවර්තනය විය යුතුයි. සමහර ආයතනවලට මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරනවා. මේ මහජනතාවගෙන් එකතු කරන බදු මුදල්.  නමුත් කියන්න කනගාටුයි. මේ ආයතනවලින් ජාතික ධනයට කිසිවක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේ ඵලදායීතාවයක් නැති රජයේ සංස්ථා දෙපාර්තමේන්තු රාශියක් තියෙනවා.
ඉදිරි කාලපරිච්චේදයේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව යම් යම් වෙනස්කම් සිදුකළ යුතුව තිබෙනවා. ඒ වෙනස්කම් මත අලුත් ජයග්‍රහණ වලට අපට පිවිසීමේ මාර්ගය උදාකරන්නේ ඔබයි.  රාජ්‍ය වියදම් පාලනය කරගැනීමට ගැනීමට නොහැකිව, ඵලදායිතාවයක් නොමැතිව අපේ රටේ මහා ධනස්කන්ධයක් වැය වෙනවා. සූර්ය තාපය හෝ විදුලියෙන් ගමන්කරන වාහනවලට ප්‍රමුඛත්වය දෙන්න අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වුනා. අපේ රටට අල්ලපු රටේ විදුලි බලයෙන් දුම්රිය, ත්‍රී රෝද රථ ගමන් කරනවා. නාස්තිකාර වියදම්වලට ණය වෙනවා වෙනුවට අපිත්  එවැනි තත්ත්වයකට පරිවර්තනය විය යුතුයි.
වාහන තොගයක් දුවවන්න අපි කොයි තරම් අපි ණය ගන්නවද. ඒ වෙනුවට විදුලියෙන් හෝ සූර්ය තාපයෙන් ගමන් ගන්න වාහන යොදාගන්න පුලුවන්.  දවසේ පැය විසි හතරෙන් පැය දොළහක්ම  අපේ පිනට ලැබිලා තියෙන සූර්ය තාපය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරම්පරාවගෙන් මම ඉල්ලා සිටින්නේ මේ වෙනසට උර දෙන ලෙසයි.
මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර,  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කම්කරු අමාත්‍යංශ ලේකම් ආර්.පී. ඒ විමලවීර, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress