පසුගියදා මා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගියේ දානයකට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහාය.
Posted on July 7th, 2026
උපුටාගැණීම මුහුනුපොත
පසුගියදා මා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගියේ දානයකට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහාය. එක් වර්ගයකින් කිලෝ දෙක තුන බැගින් අවශ්‍ය වූ බැවින් මා ගියේ ආර්ථික මධ්‍යස්ථානයේ මැද පිහිටි තොග වෙළඳ අංශය වෙතය. එහිදී මා මිලදී ගත් එළවළුවල කිලෝ එකක තොග මිල ගණන් මෙසේය:
අළු කෙසෙල් – රු. 130/-
දඹල – රු. 300/-
කැකිරි – රු. 120/-
පිපිඤ්ඤා – රු. 100/-
කරවිල – රු. 300/-
බීට් – රු. 240/-
පසුව නිවසේ පරිහරණය සඳහාද එළවළු අවශ්‍යව තිබූ බැවින්, මේ පිළිබඳව කුඩා ප්‍රායෝගික සමීක්ෂණයක් කිරීමට මා තීරණය කළෙමි. ඒ අනුව, එම එළවළුවලින්ම ග්‍රෑම් 500 බැගින් ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපස ඇති සිල්ලර වෙළඳසැල්වලින් මම මිලදී ගත්තෙමි. එහිදී එම එළවළුවල කිලෝ එකකට සාපේක්ෂ මිල ගණන් තීරණය වූයේ මෙලෙසය:
අළු කෙසෙල් – රු. 250/- (ග්‍රෑම් 500ක් රු. 125/- බැගින්)
දඹල – රු. 640/- (ග්‍රෑම් 500ක් රු. 320/- බැගින්)
කැකිරි – රු. 240/- (ග්‍රෑම් 500ක් රු. 120/- බැගින්)
පිපිඤ්ඤා – රු. 240/- (ග්‍රෑම් 500ක් රු. 120/- බැගින්)
කරවිල – රු. 620/- (ග්‍රෑම් 500ක් රු. 310/- බැගින්)
බීට් – රු. 500/- (ග්‍රෑම් 500ක් රු. 250/- බැගින්)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පසුපස ගොඩනැගිල්ලේ සිට ඉදිරිපස ගොඩනැගිල්ලට, එනම් මීටර් කිහිපයක දුරක් යන විට එළවළු කිලෝවක මිල නිවැරදිවම දෙගුණයක් වී ඇත!
අපි උදාහරණයක් ලෙස අළු කෙසෙල් ගනිමු. ගොවියෙකු වලවල් කපා, පොහොර දමා, වතුර ගසා, වනසතුන්ගෙන් ආරක්ෂා කරගනිමින් වසරක් පුරා මහන්සි වී අළු කෙසෙල් වගාවක් රැකබලා ගනී. එය මීගොඩට පැමිණෙන විට ප්‍රවාහන වියදම සහ අතරමැදි මුදලාලිගේ ලාභය සමඟ තොග මිල රුපියල් 130ක් වේ. මෙයින් පැහැදිලි වන්නේ ගොවියා සිය අස්වැන්න අතරමැදියාට විකුණා ඇත්තේ රුපියල් 50කටත් වඩා අඩු මිලකට බවය. සියලු පිරිවැය හැරුණු විට වසරක් පුරා මහන්සි වූ ගොවියාට ඉතිරි වන ශුද්ධ ලාභය කිලෝවකින් රුපියල් 20ක් වැනි සුළු මුදලකි.
නමුත්, එම කෙසෙල් කිලෝවම ආර්ථික මධ්‍යස්ථානයේ එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට මාරු වන විට, කිසිදු වටිනාකමක් එකතු නොකර , පැයක් ඇතුළත කවුරුන් හෝ රුපියල් 120ක ශුද්ධ ලාභයක් උපයා ඇත!
මෙය පට්ටම පට්ට අසාධාරණයකි. අපේ රටේ සැබෑ නිෂ්පාදකයා යනු මෙවැනි සූරාකෑමකට ලක්වන අසරණයෙකි. මෙම අසාධාරණ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය භයානක වන අතර අප දැන් එය අත්විඳිමින් සිටිමු.
සාධාරණ මිලක් නොලැබීම නිසා ගොවියන් දිනපතාම වගාව අත්හැර දමති.
වගාව අත්හැරීම යනු වෙළඳපොළට පැමිණෙන එළවළු ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වීමය.
සැපයුම අඩු වන විට ඉල්ලුම ඉහළ ගොස් එළවළු මිල අහස උසට නගී.
අවසානයේදී පාරිභෝගිකයාට අධික මිලක් ගෙවීමට සිදු වී ඔවුන්ද අන්ත අසරණ වෙති.
මේ දිනවල ලංකාවේ වී ගොවීන් ද තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරති. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 60%ක් පමණ පරිභෝජනය කරන්නේ මහා පරිමාණ සහල් මුදලාලිලා පස්දෙනෙකු විසින් ගොවියාගෙන් රැගෙන, ලාබයක් තබාගෙන විකුණන සහල්ය.
එළවළු ගොවියා මුහුණ දෙන සූරාකෑමට සාපේක්ෂව සහල් මුදලාලිලා ගොවියාට යම් ස්ථාවර මිලක් ලබා දුන්නද, ඔවුන්ගේ ව්‍යාපාරයේ පරිමාණය මහා පරිමාණ එකක් බැවින් ඔවුන් අධික ලාභ උපයති. ඒවායින් ඔවුන් සුපිරි හෝටල් හදති, වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරති, පෞද්ගලික හෙලිකොප්ටර් සහ රෝල්ස් රොයිස් කාර් මිලදී ගනිති. ව්‍යාපාරිකයන් ලෙස ඔවුන් සිටිය යුතුය, ඔවුන් ලාභ ලැබිය යුතුය. එහෙත් ප්රශ්නය වන්නේ, රටේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම අගාධයකට ඇද දමමින්, පද්ධතියේ කිසිදු කාර්යක්ෂමතාවයක් ඇති නොකරන අතරමැදි පන්තියක් පමණක් මෙලෙස සුපිරි ධනවතුන් වීමය.
ලෝකයේ වෙනත් දියුණු ආර්ථිකයන් මේ සඳහා ඉතා ප්‍රායෝගික ව්‍යුහාත්මක විසඳුම් ක්‍රියාත්මක කර ඇත.
ඉන්දියාව (e-NAM සහ MSP ක්‍රමය).
ඉන්දියාව අතරමැදි මාෆියාව බිඳ දැමීමට e-NAM (electronic National Agriculture Market) නමැති සමස්ත ඉන්දීය ඩිජිටල් වෙළඳ ජාලය නිර්මාණය කළේය. මේ හරහා ගොවියාට තම ප්‍රදේශයේ මුදලාලි මත යැපෙන්නේ නැතිව, රටේ ඕනෑම තැනක සිටින ගැනුම්කරුවෙකුට සෘජුවම තම අස්වැන්න විද්‍යුත් වෙන්දේසියකින් විකිණිය හැක. එමෙන්ම MSP (Minimum Support Price) නමින් රජය විසින් අනිවාර්ය අවම සහතික මිලක් නීතිගත කර ඇති අතර, මිල බහින කාලයට රජය සෘජුවම මැදිහත් වී අස්වනු මිලදී ගනී.
2. ඇමරිකාව (Antitrust laws සහ Futures Markets)
ඇමරිකාවේ ව්‍යාපාරිකයන් 5-6 දෙනෙකුට එකතු වී මිල තීරණය කිරීමට නීතිමය වශයෙන් කිසිදු ඉඩක් නැත. ඔවුන්ගේ Sherman Antitrust Act වැනි ඒකාධිකාරී විරෝධී නීති මඟින් වෙළඳපොළ සූරාකන සමාගම් කුඩු කර දමනු ලබයි. එමෙන්ම ගොවියන් තම අස්වැන්න විකුණන්නේ Commodity Futures Markets හරහාය. එහිදී වගා කරන අවස්ථාවේදීම අනාගතයේ විකුණන මිල ස්ථාවර කරගත හැකි බැවින් අතරමැදියන්ට මිල වෙනස් කළ නොහැක.
3. නෙදර්ලන්තය (FloraHolland සහ සමුපකාර ආකෘතිය)
ලෝකයේ දෙවැනි විශාලතම කෘෂිකාර්මික අපනයනකරුවා වන නෙදර්ලන්තයේ අතරමැදියා කියා කෙනෙක් නැත. එහි ඇත්තේ ගොවීන් සතු මහා පරිමාණ සමුපකාර (Producer Cooperatives) ය. ලෝකයේ විශාලතම වෙන්දේසි පද්ධතියක් වන Royal FloraHolland වැනි ආයතන අයිති ගොවීන්ටමය. නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා යන සැපයුම් දාමයේ සම්පූර්ණ ලාභය සහ පාලනය හිමිවන්නේ ගොවියාටමය.
4. ඊශ්‍රායලය (Kibbutz සහ Moshav ක්‍රමය)
කටුක කාන්තාරයක් සශ්‍රීක කළ ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය පදනම් වී ඇත්තේ කිබුට්ස් සහ මොෂාව් නමැති සාමූහික ගොවි ජනපද සංකල්පය මතය. එහිදී වගා බිම්, යන්ත්‍රෝපකරණ මෙන්ම අලෙවිකරණ ජාල පවා පොදුවේ ගොවීන් සතුය. ඔවුන් සියලු දෙනා එකතුවී Agrexco වැනි රාජ්‍ය/පොදු සමාගම් හරහා සෘජුවම දේශීය හා විදේශීය වෙළඳපොළට නිෂ්පාදන නිකුත් කරන බැවින්, තනි පුද්ගල මුදලාලිලාට එහි ඉඩක් නැත.
5. නවසීලන්තය (Fonterra ආකෘතිය)
නවසීලන්තයේ කිරි ගොවීන් 10,000ක් පමණ එකතු වී Fonterra නමැති ලෝකයේ දැවැන්තම සමුපකාර සමාගමක් පිහිටුවා ඇත. රටේ කිරි කර්මාන්තයේ ඒකාධිකාරය ඇත්තේ මුදලාලිලාට නොව, මේ ගොවි සමුපකාරයටය. ඔවුන්ම කිරි එකතු කර, සකස් කර, ලෝකය පුරා අපනයනය කර ලාභය ගොවීන් අතර බෙදා ගනිති.
6. ජපානය (JA-Zenchu – ජපන් කෘෂිකාර්මික සමුපකාරය)
ජපානයේ සෑම ගොවියෙක්ම පාහේ JA (Japan Agricultural Cooperatives) ජාලයේ සාමාජිකයෝ වෙති. ගොවියාට අවශ්‍ය පොහොර, බීජ, බැංකු ණය ලබාදීමේ සිට අස්වැන්න රට පුරා සුපිරි වෙළඳසැල් වෙත සාධාරණ මිලකට බෙදා හැරීම දක්වා සියල්ල කරන්නේ මේ දැවැන්ත ගොවි සංවිධානය මඟින්ය. බාහිර මුදලාලි කෙනෙකුට වෙළඳපොළ හැසිරවීමට ජපාන නීතියෙන් ඉඩක් නැත.
මෙම රටවල් සියල්ලම පාහේ තම නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරගෙන ඇත්තේ නිකන්ම පාලන මිලවල් ගැසට් කිරීමෙන් පමණක් නොවේ. ඔවුන් කර ඇත්තේ ගොවියා ශක්තිමත් කරන සමුපකාර ව්‍යුහයන් හැදීම, ඒකාධිකාරී විරෝධී නීති තදින්ම ක්‍රියාත්මක කිරීම සහ සැපයුම් දාමයේ විනිවිදභාවය සහතික කිරීමය.
අතීතයේ සිටි සියළුම පාලකයෝ මේ මුදලාලිලා ඉදිරියේ දණ නැමූහ. එකල එම සිදුවීම් වලට වහසිබස් දෙඩූ මොවුන්ද විලි ලැජ්ජාවකින් තොරව එයම ඊටත් වඩා සාර්ථකව කරමින් සිටිති.
අපිට අවශ්‍ය තමන්ගේ වැඩකටයුතු කරගත නොහැකි බව වසා ගැනීමට සතිපතා මාධ්‍ය සර්කස් පවත්වන, ව්‍යාපාරික මාෆියාවන් ඉදිරියේ දණ නමන පාලකයින්ද ?
ලෝකයේ පවතින මෙවැනි සාර්ථක උපායමාර්ගික ක්‍රමවේදයන් අපේ රටේ පොළොවට ගැලපෙන සේ ක්‍රියාත්මක කළ හැකි පරිණත, නායකයින්ද ?
එවන් නායකයින් මේ මහ පොළොවේ බිහිවන්නේ කවදාද ????
ප්‍රසංග අල්විස්