දින 04 ක් ගතවී ඇතත් එප්පාවල පැහැරගත් දරුවා සම්බන්ධයෙන් තොරතුරක් නෑ….ගෞරව බලන්න පන්තියේ මිතුරන්ද නිවසට ඇවිත්…
Posted on December 22nd, 2022

තිසර සමල් – අනුරාධපුර

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දින 04 ක් ගතවී ඇතත් මෙතෙක් එම දරුවා සම්බන්ධයෙන් හෝ පැහැර ගැනීම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත හැකි වී නැත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර  නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි.ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම  සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

පසුගිය (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද  ඊයේ (22) පස්වරුව වන විට දින හතරක් ගත වී ඇතත්,  දරුවා සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.

තම පාසලේ මිතුරා ගැන තොරතුරක් අපේකෂාවෙන් පාසල නිමවී ඔහුගේ පන්තියේ මිතුරන්ද අතුරුදන් ගෞරවගේ නිවසට පැමිණ සිටින අයුරුද එහි ගිය අපිට දැක ගත හැකි විය.

දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින පොලීසිය අනාවරණය කර ගෙන ඇති අතර, අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ පසුගිය (19) වැනි දින නාවුල හා මාතලේ ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ හා සහෝදරියකගේ  නිවෙස් දෙකකට ගොස්    පසුදින  (20) අලුයම එම නිවසකින් දරුවාද රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත,  ඔහුට අයත්, YI- 1752 දරණ රතු පැහැති ත්‍රී රෝද රථයෙන් දරුවා පැහැර ගෙන ගොස් ඇති බවටද පොලීසිය අනාවරණය කර ගෙන ඇති අතර, ඔහුගේ දුරකථන අංකයට ලැබුණු ඇමතුම් මෙන්ම, ඔහුගේ සමීපතමයන් රැසකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලීසිය පවසයි.

දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

පහුගිය 19 වැනිදා පුතා අතුරුදන් වුණාට පස්සේ අදට (22) දවස් 04 ක් වෙනවා තවම තොරතුරක් නෑ, හොයනවා හැම තැනකම, අනේ රත්තරන් පුතේ මට ඔයා නැතිව මේ ගෙදරට වෙලා ඉන්න බෑ, පුතා හවසට සෙල්ලම් කරලා චන්ඩියෙක් වගේ අම්මේ කියාගෙන ගෙදරට එන හැටි මතක් වෙන කොට මට ඉන්න බෑ, මං එයාගේ ෆොටෝ ලඟ තියාගෙන බල බලා ඉන්නේ හැම වෙලාවකම, කොයි වෙලාවක හරි පුතා එයි කියලා ගෙදරට, කොයි වෙලාවකට හරි මගේ රත්තරන් පුතා මට කථා කරයි කියලා මං බලාගෙන ඉන්නවා.

මගේ පුතා හොඳින් ඉන්නවා කියලා මං දන්නවා, මගේ දරුවා ගෙනියපු කෙනාගෙන් මං ඉල්ලන්නේ මගේ දරුවාව මට දෙන්න, මට ඕන මගේ දරුවා විතරයි, මට දරාගන්න බෑ මගේ දරුවා මතක් වෙන කොට, මගේ දරුවා ආපහු එවන්න පිං සිද්ධ වෙනවා.

මගේ පුතේ ඔයා ඉන්න තැනකින් මට කථා කරන්න, මට ඔයාගේ කටහඩ හරි අහන්න ඕන මගේ පුතේ, මට ඔයා නැතිව පපුව පැලෙන්න එනවා, මං හොඳන් ඉන්නවා කියලා කියන්න ඉන්න තැනකින් මගේ පුතේ, මං වැඳලා කියන්නේ මගේ දරුවා ගෙනියපු කෙනාට එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ අපි මගේ දරුවා මට දෙන්න යනුවෙන් හඩා වැටෙමින් පැවසුවාය.

අතුරුදන් දරුවාගේ එකම සොයුරිය වන ගෞරවී කන්ෂිකාද හඩමින් කියා සිටියේ

මල්ලි නැතිව මේ ගෙදර පාලුයි,අම්මා තාත්තා, මං ගොඩක් දුකින් ඉන්නේ, අනේ මල්ලි ඉක්මනට එන්න, මට ඔයා එක්ක සෙල්ලම් කරපු හැටි, රණ්ඩු වුණ හැටි මතක් වෙද්දී ඉන්න බෑ, මල්ලිව ගෙනියපු කෙනාට කියන්නේ අනේ අපිට මල්ලිව ඉක්මනට ගෙනත් දෙන්න යනුවෙනි.

පොලිස් කණ්ඩායම් කීපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress