‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි
Posted on February 4th, 2023

චානක බණ්ඩාරගේ

2004දී මහා පරිමානයේ  සුනාමි සොරකමක් වූ බව දැන දැනත්, 1994 පටන් ඒ අයගේ කැරැට්ටුව දැන දැනත්, ඒ අයට දිගටම බලය ලබා දුන්නේ අපයි.

මෙයින් පෙන්වන්නේ අපේ නොසැලකිල්ලයි. රටට නියම ආදරේ නැති කමයි. අප දිගු කාලීනව අනාගතය දෙස නොබලන බවයි.

දියුණු රටවල ජනතාව නම්  සොරුන් බව දැනගත් පසු කිසිදා එවැනි අය පලමුවරට හෝ නැවත නැවතත් බලයට පත් නොකරයි. කෙසේ හෝ සොරුන්ට උපරිම දඬුවම් ලබා දෙයි.

පාර්ලිමේන්තුව යනු අප සමාජයේ කැඩපතකි. ඒ නිසා, දැන් පසුගිය වංචා දුෂණ තදබල ලෙස විවේචනය කරන අප එනම් – සාමාන්‍ය ජනයා, චන්ද වලින් බලයට පැමිණියහොත් කරනුයේද  2005, 2010, 2015, 2019/2020 බලයට පත් වූ අය කල දේම නොවේද? 

මේ නිසා, දැන් පාර්ලිමෙන්තුවේ සිටිනා අය ඉවත් කර වෙන අය ගෙනාවත් වැඩි වෙනසක් සිදු නොවනු ඇත. මීළඟට එනු ලබන්නේද එවැනිම ‘සෙට්’ එකකි.

‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි’.

අද දවසේ දේශපාලනඥයන් සහ රජයේ උසස් නිලධාරීන් විසින් කරනු ලබන වංචා දුෂණ ගැන අපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම යු ටියුබ් මාධ්‍ය වේදීන්, නිරන්තරයෙන් හෙළිදරව් කිරීම් කරති. සමහර ඒවා මහා පරිමාණ දුෂණය. මේ මාධ්‍යවේදීන් මේවා කරන්නේ බොහෝ විට තමන්ගේ ජීවිත ද පරදුවට තබාය. ඔවුනට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.

නමුත්, රටේ ජනතාවට මේවා ගැන වගේ වගක් නැත (ඔවුන් මේ වැඩසටහන් වලට නම් සවන් දෙති).

ප්‍රධාන මුද්‍රණ මාධ්‍ය, රුපවාහිනි සහ  ගුවන් විදුලි නාලිකා දේශපාලන දුෂණ  ගණන් නොගනී. නැත්නම්, මතුපිටින් පමණක් ඒවා සඳහන් කර අමතක කර දමති.

අප රටේ සහ දියුණු රටවල ඇති ප්‍රධානතම වෙනසකි එය.

අපේ රටේ තට්ටු මාලිගා වල ජීවත්වන, නැව් වැනි වාහන වල ගමන් බිමන් යන,  මාස දෙක තුනකට  වරක් බටහිර විදේශ රටවල නිවාඩු සඳහා  සංචාරය කරන අයට අපි ඉමහත් සේ ගරු ගරු කරන්නෙමු. ඒ, අය ඒ දේවල් කරන නිසාය. සමහරෙක් ඒ මුදල් හොයා ගනු ලබනුයේ දුෂණ, වංචා සිදු කර, පරිසරය විනාශ කර නේද යන කාරණය අප ගණන් නොගන්නෙමු. අපට එය වැඩක් නැත. අහිංසක, දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස එදා වේල සොයා ගන්නා මිනිසෙකුට ‘සර්’ නොකියන අප මේ හොරුන්ට ඔවුන්ට ඇති මුදල් සහ බලය නිසා කටපුරා ‘සර්’ යයි කියමු.

දියුණු රටවල වංචා, දුෂණයක් හෙළි වුවහොත් එම දේශපාලනඥයෝ/උසස් නිලධාරීන් බොහෝ විට නතර වන්නේ සිර ගෙයිනි. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ රැකියා සියළු වරප්‍රසාදත් සමඟ අහිමි වේ. වැඩට අදක්ෂ අයවද මාධ්‍ය මඟින් නිරාවරණය කරනු ලැබේ.

ඒ රටවල සියළු මාධ්‍ය, එක්ව හොරුන්ට දඬුවම් දෙන තුරු සටන් අත් නොහරිති. මාධ්‍ය විසින් දිගට  හරහට විශාල පරිමාණයෙන් ප්‍රශ්ණගත දුෂණ චෝදනා හාරා අවුස්සති, විමසීම් කරති.  දවසේ ප්‍රධානතම මාධ්‍ය පුවත වනුයේ (රුපවාහිනි, ගුවන් විදුලි, මුද්‍රිත – සියල්ල) දඬුවම් නොලැබ, සැඟවී සිටීමට වළිකන දේශපාලකයා හෝ හොර රාජ්‍ය නිලධාරියායි, සහ ඔහුගේ/ඇයගේ හොරකමයි නැත්නම් නොහැකියාවයි. අපේ රටේ එවැන්නක් සිදු වන්නේ නැත.

මෙහෙ මෙන් නොව එම දියුණු රටවල  නිතීපති නඩු ගොනු නොකර සිටියහොත් නිතීපතිව, රටේ නායකයාව, අධිකරණ ඇමතිව මාධ්‍ය විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කරත්.

රටේ නායකයාව සතියකට වරක් වත් මාධ්‍ය නාලිකාවක් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරනු ලබන සම්මුඛ සාකච්චාවක් පැවැත්වේ. එතැනදී ඔහුට/ඇයට කිසිදු ගැලවීමක් නොමැත. අසනු ලබන්නේ ඉතාම දැඩි ප්‍රශ්නයි. මේ වැඩසටහන් මුළු රටම බලත්.

අපේ රටේ මෙවැනි තත්වයක් නිර්මාණය වී නැත.

රටවල් දෙකේ මාධ්‍ය සංස්කෘතීන් හි ඇති ප්‍රධානතම වෙනසකි මෙය.

‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි’.

අඩු දඬුවම් දුන්නේ යයි ඇතැම් ගරු විනිශ්යකාරවරුන් ද මාධ්‍යන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කර ඇත. ජනතාවද ‘ටෝක් බෑක් ෂෝස්’, Comments හරහා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරති. සිඩ්නි නුවර තරුණියක් සමුහ දුෂණයට ලක් කල විත්තිකරුවනට දුන් සිර දඬුවම් මදිය කියා (අවුරුදු 20ක් පමණ) එහි කාන්තා සංගම් නඩු තීන්දුව ප්‍රකාශ කල ගරු අධිකරණය ඉදිරිපිට බෝඩ් අල්ලා විරෝධය පළ කර සිටියහ. මාධ්‍ය විසින් එයට දැඩි ආවරණයක් දෙනු ලැබීය. නිතීපති ‘ඇපීල්’ කළේය.  මේවා සියල්ල මෙහෙ කරන්න කියනවා නොවේ.

අපේ අධිකරණ කටයුතු සඳහා ඇත්තේ වෙනම, වූ සුවිශේෂ උසස් නිතී ක්‍රියාමාර්ගයකි. එයට අප සියල්ලෝම  ගරු කරමු, ඉදිරියටද ගරු කල යුතුය.

කෙසේ නමුත්, අප රට තවමත් ඉතාම දුප්පත්ව සිටීමට ප්‍රධානතම හේතුව හොරුන්ට දඬුවම් නොකිරීමයි. දඬුවම් නොකරන නිසා හොරු තව තවත් හොරකම් කරති. අපේ නිතිපතීට ස්වාධීනව වැඩ කරන්න නොදෙන්නේ දේශපාලනඥයෝයි.

පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් හොරු කවුද කියා මුළු රටම දනී. මේ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවකාශ ලැබී තිබේ. සුඛෝපභෝගී නිවාසවල, අධි සැප යාන වාහන තබාගෙන ඒ අය ඉතා  යහතින් සිටිත්. හිතු හිතු වෙලේ රට සවාරි යත්. මේ සියල්ල සොරා කන ලද මහජන මුදල්ය.  පකිස්ථානයේ පවා මේ ලැයිස්තුවල සිටින්නන්න්ට විරුද්ධව නඩු දමා දඬුවම් කරන ලදී.

පැන්ඩෝරා පේපර්ස්හි සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් (ඇගේ සැමියා හා එක්ව) සොරකම් කරා යයි චෝදනා ලබන මුදල ඇමරිකන් ඩොලර් කෝටි 185කි. මෙය අති විශාල ධන ස්කන්ධයකි. මුළු රටේම පාසැල් සිසුනට වසරක් දිවා ආහාරය හොඳින් ලබාදී, වසර කිහිපයකට පාසැල් නිල ඇඳුම් ලබා දිය හැකි මුදලකි. මේ අයට විරුද්ධව වංචා සහ දුෂණ කාර්යංශය නඩු පවරන්නේ නම් එසේ කිරීමට දැන් කාලය හරිය. නැත්නම්, මේ ලිපි ගොනුවද සෙසු බොහෝ ෆයිල් මෙයින්  යට ගොස්ද?  

‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි’.

වංචා දුෂණ වලට එරෙහිව වැඩ කරනවා යයි කියන එක් ප්‍රධාන වාමාංශික පක්ෂයක් මෑතක සිට ෆයිල් මිටියක් (150ක්?) ගොඩ ගසා ගෙන ඒවායේ ඇත්තේ වංචා දුෂණ ගැන විස්තර යයි කියමින් දිනපතාම වාගේ රැස්වීම් පවත්වමින් යත්. ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන්වත් දනීද?

මේ ෆයිල් වල අන්තර්ගතය මේ අයට ඔවුනගේ වෙබ් අඩවියේ පලකල හැක. නැත්නම් මේ ෆයිල් ‘මදය නොමැති අත් ඔරලෝසුද’?

වසර 25ක් තිස්සේම මේ අය කලේ මේ හා සමාන දේයි.

ඔවුනට හොඳට කථා කිරීමට පුළුවන. නමුත්, එකම හොරෙකුටවත් විරුද්ධව නඩු පැවරීම සඳහා ක්‍රියා කර,  කිසියම් ප්‍රතිලාභයක්/ප්‍රතිපලයක් රටට පෙන්වා දීමට මේ අය සමත් වී නැත. 

හොරකම් කර අසුවී, නීතියෙන් දඬුවම් ලබා සිරේ ගිය දේශපාලනඥයන් නොමැති එකම රට ශ්‍රී ලංකාව නොවේද?

හෙට දිනයේදී මේ සහෝදරයන් තවත් මහා හොරකමක් එළි දක්වනු ඇත. සති ගණනක් එය බදා ගෙන ‘කනු’ ඇත, ඉන් පසු නිහඬ වනු ඇත. නැවත හොරකමක් අහුවුනා කියා මහ ශබ්ධයක් නගා තම චන්ද ගොඩ තවත් වැඩි කර ගනු ඇත.  අදාළ හොර දේශපාලකයන් සිනහසෙමින් ඔවුන් සමඟ දියවන්නාවේ සභා ගැබෙන් පිටතදී අතට අත දෙනු ඇත, වැළඳ ගනු ඇත. 

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත, දියවන්නාවේදී, 225ම එකය.   භෝජනාගාරයේදී ඔවුන් එකට ආහාර ගනිති. සැඳා සාදවලදී එකට මධු විත තොල ගා, ගී ගයා, නටති. සති අන්තයේ දී පිට්ටනියේ එකට ක්‍රිකට් ගසති. පාර්ලි‌‌මේන්තුවේ අඳුරු කොරිඩෝ වල හොර ඩීල් කථා කරති. වෙනත් බොහෝ වැරදි දේ එකට කරති.

නාගනන්ද මහතාට අනුව මේ සෑම කෙනෙක්ම වාහන පර්මිට් විකුණන ලද අයය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඒ තරමටම පහත් නිසා,  225ටම ජනතාව බනින නිසා, තමන් ‘එක රෑනේ කුරුල්ලන්’ මෙන් සිටිය යුතු බව 225 දනී.

ඩීල් වලට අති ප්‍රසිද්ධ යහපාලන රජයේ ප්‍රධාන ඇමතිවරයෙක්ව මේ ප්‍රධාන වාමාංශික පක්ෂයේ උසස් දෙදෙනෙක් (වංචා දුෂණවලට එරෙහිව කථා කරන ප්‍රමුඛයන් 2ක්) ගොස්  හමු වීය යන චෝදනාවක් විය. මෙය ඇත්තද? එසේ නම්, එදා හොර රහසේ කථා කලේ මොනවාද?

ඔවුන් (මේ වාමාංශික සහෝදරයන්) කරාවි කියා බලා සිටින නිසා කරන්න පුළුවන් අයද යමක් නොකරයි.  හොරු යහතින්, නිදැල්ලේ තව තවත් හොරකම්  කරති. රජයන් ඉතා අදුරදර්ශී ලෙස රට පාලනය කරත්.

ඔවුන් (මේ වාමාංශික සහෝදරයන්) වංචා දුෂණ වලින් බැහැර බව රටේ යම් පිළිගැනීමක් ඇත. එය සත්‍ය නම් (ඔවුන් 100% අවංක නම්), එය ඉතා හොඳය. ශ්‍රී ලංකාව වැනි රටක එය අති විශිෂ්ට ගති ලක්ෂණයකි.

හොරකම් නොකලත්, ඇතුලේ හොරුන් කවුද කියා ඉතාම හොඳින් දන්නා නිසා, ඔවුන් ඇල්ලීමට සහ  දඬුවම් ලබාදීමට කල හැකි උපරිම සිදු නොකර, කට මැත පමණක් දොඩවන්නේ නම්, එය හොරුන් රැකීමකි.

 ‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි’.

දැනට විද්‍යාමාන ලක්ෂණ අනුව මේ සහෝදරයන් නිසැකවම මීලග ආණ්ඩුව බිහි කරනු ඇත. මේ ලිපියෙන් එක් මුළීක, අවංක  බලාපොරොත්තුවන්නේ ඔවුනගේ අඩු පාඩු පෙන්වා දී, ඔවුන් 100% හරි මාර්ගයේ යැවීමය.

මේ සහෝදරයන් අති දක්ෂ විය යුතුයි; රට ගෙන යන අයුර ගැන පැහැදිලි දැක්මක් තිබිය යුතුය (කෙටි කාලින සහ දිගු කාලින). මෙය තව මදිය; ඔප මට්ටම් කර ගත යුතුය.

ඔවුනට ජාත්‍යාන්තරයෙන් ඩොලර් රැගෙන ආ හැකිද? …..

ශ්‍රී ලාංකික රටවිරුවන් එවන ඩොලර් ගැන පමණක් ඔවුන් විශ්වාසය තබා ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ ප්‍රමාණය අප රට ගොඩ නැගීමට මදිය.

කඩා වැටීගෙන යන බව පෙනෙන බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට තරම් වූ එඩිතර, දක්ෂ නායකත්වයක් ඔවුන් අත තිබේද? ……

තමන් බලයට පැමිණියහොත් අද තම පක්ෂය මෙහෙයවනවා මෙන් දේශපාලන මණ්ඩලයක් මඟින් එදාට රට මෙහෙයවන බව ඔවුහු කියත්. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බලය ඇත්තේ විධායක ජනාධිපතිටය. හරි හමන් ලී ක්වාන් යු කෙනෙක් පැමිණියහොත් ඔහුට හොඳට රට සෑදිය හැක.

තනි පුද්ගල, අතිශය බලගතු බලයක් ජනාධිපතිට තිබෙන කල්හි, තමන් බලයට පැමිණිය හොත් එය භාවිතා කර මැනවින් රට පාලනය කරනු වෙනුවට  ‘මණ්ඩල’ මඟින් රට පාලනය කරනවා යයි කියන්නේ තීරණ ගැනීමට බිය, දුර්වල නායකත්ව ලක්ෂණ ඇති අයයි.  මේ අයට රට බාර දීමට ජනතාව තුල යම්  බියක් ඇත්තේ මෙවැනි හේතුන් නිසාය.

2019 දී (මෝඩ) ජනතාව ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ ඉමහත් නව බලාපොරොත්තු සහිතවය. ඒ සියල්ල කෙටි කලකින් පුස්සක් බවට පත්  විය.

ඒ දෙයමද නැවත සිදුවන්න යන්නේ?

බොහෝ විට එසේ විය හැකියි.

එකී බිය නැති කිරීම මේ වාමංශිකයන්ගේ මුලිකතම වගකීමකි.

එදා සයිටම් එපා කිවූ අය කිසි තර්කානුකූලත්වයක් නොමැතිව අද එය හොඳ යයි කියන්නේ නම් හෝ ඒ අය බලයට පැමිණි විට පුද්ගලික විශ්ව විද්‍යාල වලට අවසර දෙන බව කියන්නේ නම් ඒ අයගේ ප්‍රතිපත්තිමය භාවය ගැන බලවත් කුකුසක්  පැණ නැංගේ.

සයිටම් තිබුනා නම් රටේ වෛද්‍ය හිඟයට මේ වන විට හොඳ පිළිතුරක් ලැබිය හැකිව තිබුණි; විශේෂයෙන්ම කොරෝනා කාලයේ. රටේ දැවැන්ත වෛද්‍යවරු හිඟයක් අද ඇත.

සයිටම්, MCC, සාෆි, වැඳ කොත්තු, ‘ඇමරිකාව කෙසේ හෝ මේ රට අල්ලා ගනු ඇත’ වැනි බොරු බිල්ලන්; කැලණියේ නයි, හොර කොරෝනා පැණි ආදිය විවිධ අය විසින් මවන තාක් කල් මේ රට සෑදිය නොහැක.

අප රට දරුණු ණය උගුලකට හිර කලේ කිනම් රටක් විසින්ද යන ප්‍රශ්නයේදී මේ සහෝදරවරු ලිස්සා යති. ඔවුනට පුද්ගලික ලාභ උපකාර ඒ අයගෙන් ලැබෙත්ද?

වැදගත්, වගකිවයුතු දේශපාලන පක්ෂයකට එසේ (ලිස්සා යාම) කල නොහැක.

තමන් බලයට පැමිණියහොත් සෑම ඇමතිවරයෙකුටම මහාචාර්ය, ආචාර්ය සහ වෙනත් උසස් සුදුසුකම් වලින් යුත් විශේෂඥ මඩුල්ලක් (5 – 6 දෙනෙක්ගෙන් සමන්විත), නොහොත් උපදේශක මණ්ඩලයක්, පත් කරන බව ඔවුහු පවසත්.

එසේ නම් අමාත්‍යාංශ ස්ථිර ලේකම් වරුන්, අතිරේක, සහකාර ලේකම්වරුන්,  කුමකටද? සෑම අමාත්‍යාංශයකටම අනුයුක්ත දෙපාර්තමේන්තු, අධීකාරි, මණ්ඩල, සංස්ථා, කොමිෂන් සභා ආදි නානා ප්‍රකාර ආයතන ඇත; මේවායේ සේවය කරන්නේද විශේෂඥයෝය. ඉදින්, අදාළ ප්‍රතිපත්ති (policy) මේ අයට සෑදීය නොහැකිද? 

බලයට පැමිණි පසු පත් කිරීමට නියමිත මේ ඊනියා  මහාචාර්ය, ආචාර්ය වරුන්ටද පඩි නඩි, යාන වාහන, නිල සේවකයන්, ගමන් දීමනා, බටා සැපයිමට සිදුවන්නේ වටිනා මහජන මුදලින් නොවේද? මේ අයත් තවත් සුදු අලි ගොන්නක් නොවන බව ඔවුන් පවසන්නේ කෙසේද?

කි(වි)යත් මඟ මතක් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවසන්නේ ජනාධිපති වරයා (සභාපති ලෙස) තම ඇමති මණ්ඩලය (cabinet) සමඟ රට පාලනය කල යුතු බවයි. මේ අය මහජන නියෝජිතයෝය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයි. නමුත්, අද බොහෝ විට තිබෙන්නේ චන්දයකින් නොපැමණි  උපදේශකයන්, කාර්ය සාධක බලකායන්  මඟින් (මේ අයට ඇමැතිවරුනට වඩා වැඩි බලයක් තිබෙන බව පෙනේ) ජනාධිපතිවරුන් විසින් රට පාලනය කිරීමකි.

වාමාංශික සහෝදරයන්ද බලයට පැමිණිය හොත් කරන්න යන්නේද මේ දේම නොවේද?

 මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද  පටහැනිය .

‘ඔක්කොම බොරුකාර, හොරු මල්ලි’.

පූර්ණ ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට එකඟ බව මේ අය දැන් කියති. 1987 – 1989 දක්වා මේ අය දැවැන්ත කැරැල්ලක් ඇති කලේ, ඒ නිසා ලක්ෂයකට ආසන්න සිංහල ජනතාවක්, විශේෂයෙන් වාමාංශික තරුණයන්/පොලිස්, හමුදා භටයන්, මියගියේත් (එකී පක්ෂයේ නායකයා ඇතුළු), 13 අහෝසි කල යුතුයයි යන දැඩි මතයේ සිටී නිසාය.

දැන්, 2023 (වසර 36ක ඇවෑමෙන්), පූර්ණ13 හෝ 13+ දී – ඒ මඟින් ශ්‍රී ලංකාව දෙකට කඩන TNA මර උගුලට තමන්ද ඍජුවම සම්මාදම් වන බව ප්‍රකාශ කිරීමෙන් මේ අය තම දේශපාලන ප්‍රතිපත්ති අංශක 180කින් වෙනස් කරගෙන ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ ස්වෛය්රීභාවය, භෞමික අඛණ්ඩතාවය ගැන මහ හඬින් දේශප්‍රේමී කථා පැවැත්වුවේද මේ සහෝදරවරුන්ම නොවේද?

අනාගත ජනාධිපතිවරණයකදී ද්‍රවිඩ චන්ද, විශේෂයෙන්ම TNA, තම ගොඩට දමා ගත හොත් තම ජය නියතයයි සෑම ප්‍රධානම සිංහල දේශපාලන පක්ෂයක්ම සිතයි. ඒ නිසයි අද සැවොම ඉඩම්, පොලිස් බලතල උතුරු නැගෙනහිරට ලබා දිය යුතු යයි කියා අත ඔසවන්නේ. සිංහලයා ඉතා දුර්වල නිසා කිසි බියක් නැතිව ඔවුහු මේ දේ කරති.

නමුත්, මෙය මිත්‍යා විශ්වාසයකි. 2019 සිදුවූ දේ බලන්න – එදා නව ජනාධිපතිවරයා බලයට පැමිණියේ සිංහල චන්ද වලිනි. 

ඔවුනගේ පාවාදීම ඔවුනටම පාරා වළල්ලක් වී එනු ඇත.

මෙවැනි මතවාද තිබීම ඉතා ආත්මාර්ථකාමීය. ඒවා රටට ඉතා භයානයකය.

‘රට පාවාදී මා දිනන්නෙමි’ යනු ධර්මපාල රජුගේ (දොන් ජුවන් ධර්මපාල,  1551 – 1597) ප්‍රතිපත්තිය විය. ඒ නිසා, ශ්‍රී ලංකාවට සහ බුදු සසුනට ඔහු නිසා සිදු වූ හානිය කියා නිම කල නොහැකි තරම්ය.

ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ නම් සැමදා මෙන් බුදු දහමට ලැදී නොවීය.

ප්‍රතිපත්ති මත  කටයුතු කිරීම දේශපාලන පක්ෂයක ප්‍රධානතම කර්තව්‍යයි. ඇත්තේ වැනෙන සුළු, දියාරු ප්‍රතිපත්ති නම්, එයින් ප්‍රදර්ශනය කරනුයේ තමන් කරන්නේ කුමක්ද කියා තමන් වත් නොදන්නා බවයි.

ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට විරුද්ධව අතිගරු මහා නායක හිමි වරුන් දක්වන ලද විරෝධය සුළු පටු එකක් නොවේ. මෙය උන්වහන්සේලා එඩිතරව නැඟූ සිංහ නාදයකි.

රට වැනසෙන්න යන සැම විටම පැමිණ එය බේරා ගත්තේ අතිගරු මහා සංඝරත්නයය. දේශපාලානය පසෙකලා, උන්වහන්සේලා මේ අවස්ථාවේ නැවත රට බේරා ගැනීමට ඉදිරිපත් වනු දැකීම ඉමහත් සැනසීමට කරුණකි. අතිගරු කාදීනල් තුමාද මේ සටනට සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවංක, යහපත්,  දූරදර්ශී, කාර්යක්‍ෂම, බුද්ධිමත්  නායකයෙකුට පැමිණ (visionary leader) රට ගොඩ නැඟිය හැකි වාතාවරණය සලසා ඇත.

1978 සිට අවාසනාවට එවැන්නෙක් බිහි වුයේ නැත; එන බවට පෙනෙන සේයාවක් නැත.

ප්‍රේමදාස මහතා පමණක් යම් පමණකින් දක්ෂ නායකත්වයක් දැක්වීය, 1989 – 1993.

පුද්ගලයනට වෙනස් විය හැක. දැන් සිටින නායකයනට පවා (ආණ්ඩුවේ (UNP) හෝ විපක්ෂයේ (SJB, JVP)  අවශ්‍ය නම්, රටට අවංකවම ආදරේ නම්, රට ගැන කැක්කුමක් ඇත්නම්  හොඳ අතට වෙනස් විය හැක.  මෙය ඉක්මනින් කර ගත හැකි දෙයකි.

නමුත් එය අව්‍යාජ, අවංක වෙනස් වීමක් විය යුතුය. හොර අදහස්, හොර හිත්, මුදල් සොරකම් කරන්නේය, හොරුන් රකින්නේය, රට කෙසේ වෙතත් ‘මාගේ ගොඩ’ කෙසේ හෝ වැඩි කරගන්නේය, ‘හොර, අදක්ෂයාට තැන දෙන්නෙමි’  වැනි යටි, කූට අදහස් තබා ගෙන මේ දේ කල නොහැක.

පැරණි වැරදි තමන් විසින්ම සිහිපත් කර, බුද්ධිමත්ව, රට වෙනුවෙන් 100% මින් ඉදිරියට කැපවී වැඩ කරනවාය යන ස්ථිර අධිෂ්ටානයේ පිහිටා ඉදිරි වැඩ කිරීමට  ඇරභීමයි අවශ්‍ය වනුයේ.

අද වැනි පෙබරවාරි 4 දිනයක් එවන් අධිෂ්ටානයක් ඇති කර ගැනීමට ඉතාම කාලෝචිත දිනයකි.

ඉන්පසුව, ඒ අනුව කටයුතු කල යුතුය.

සොරුන්, බොරු කාරයන්ගෙන් නොව අවංක, රටට ආදරය කරන, බුද්ධිමතුන්ගෙන් නායකයන් අවවාද, අනුශාසනා ලබා ගත යුතුය.

කම්මැලි නොමැතිව පාන්දර 4ට ඇහැරී (අභාවප්‍රාප්ත ප්‍රේමදාස මහතා මෙන්) වැඩ කිරීමට සුදානම් බුද්ධිමත් රාජ්‍ය පාලකයෙක් විය යුතුයි. වැඩබිම් වලට කඩා පැනිය යුතුයි (RMV, ආර්ථික මධ්‍යස්ථානයට පැන්නා මෙන් නොවේ). නගර ලස්සන කිරීම ගැන නිරන්තරයෙන් සිතිය යුතුයි – මේ සඳහා සෑම නගරයක් ගැනම හොඳ දැනුමක් තිබිය යුතුය.

රටේ නායකයා බොහෝ ඇසු පිරු ඇත්තෙක් විය යුතුයි.

ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි නායකත්වයක් දිය හැකි දක්ෂ නායකයෙක් විය යුතුයි. ඔහු/ඇය දිනපතාම වාගේ තම රට වැසියන් සමඟ සංවාදයේ යෙදිය යුතුයි. ඔවුනට තම දැක්ම පැහැදිලි කර දිය යුතුයි. රටේ සියළුම  දරුවනට ඉමහත් සේ ආදරය කල යුතුයි.

රටේ සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු ඔහු/ඇය සතු විය යුතුයි. අනුන්ගේ උපදෙස් මත නොයැපිය යුතුයි.

Every problem is a human problem; therefore, they have a human solution.

අප සාමාන්‍ය ජනතාවද වෙනස් විය යුතුයි.

දරුවා ප්‍රාථමික පන්තියේ සිටින අවධියේ සිටම ඔවුනගේ මොළ සෑදිය යුතුයි. ඒ සඳහා ධනාත්මකව වැඩ කිරීමට දෙමව්පියන්, ගුරුවරුන් සැදී පැහැදී සිටිය යුතුයි. ලී ක්වාන් යු සිංගප්පුරුව සෑදුවේ එලෙසය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress