මොකක්ද මේ අංජබජල් දේශපාලන සංස්කෘතිය.?
Posted on February 8th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

කාලෙකට පෙර මෙරට ජනතාව හදුනාගෙන සිටි ප්‍රථම ඝනයේ ජාතික සතුරා රනිල් වික්‍රමසිංහයන් විය. ඔහුගෙන් රට බේරා ගැනීම සඳහා මෙරට දේශප්‍රේමී ජනතාව මහින්ද රාජපක්ෂයන්ව බලයට පත්කළහ. ඒ වර්ෂ 2005දිය. බලය ලබාගත් මහින්ද මෙරට තිබුන බලවත්ම ගැටලුව වූ ප්‍රභාකරන්ගේ සන්නද්ධ ව්‍යාපාරය විනාශ කොට උතුර හා දකුණ ඒකාබද්ධ කොට නව ශ්‍රී ලංකාවක් ගොඩනංවන ලදී.

රනිල් පිටුපස සිට රනිල්ව මෙරට ජනතාවට එරෙහිව මෙහෙයවූ බලවේග රනිල්ව මදකට නවතා එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතුළුව සියලුම බටහිර වන්දනා කරමින් ඒ මත යපෙන සියලුම දේශපාලන සංවිධානවල සහය රටේ කීර්තිමත් චරිතයක්වූ සරත් ෆොන්සේකා මහතාට ලබාදෙමින්, මහින්ද හා සටන මෙහෙයවුහ.

සරත් ෆොන්සේකා පරාජයට පත්වුයේ, ඔහුට ජනතාවගේ ඇති අප්‍රසාදය නිසා නොව ඔහුව මෙහෙයවන්නේ, රනිල් පිටුපස සිටි ඒ දේශද්‍රෝහී බලවේගම බව ජනතාව හදුනාගත් බැවිනි. ඒ 2010 වසරේදීය.

සතුරා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නෙක් නොවන බැවින්, 2015දී මැතිවරණ කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂයන්ව පරාජය කරන ලද්දේ ඔහුගේම ඇමති මණ්ඩලයේ ප්‍රබලක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාව උපයෝගී කරගෙනය.

සතුරාගේ පඹ ජනාධිපති පසෙකින් සිටියදී, රනිල් නිල නොලත් විධායක බලය හොබවන අගමැති බවට 2002 වසරේදී ක්‍රියාකළ  ආකාරයටම කටයුතු කළහ. ඒ සතුරා රනිල්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් අරමුණු කරගෙන මෙහෙයවූ ආකාරයයි.

දේශප්‍රේමී ජනතාව සතුරාවත් රනිල්වත් මැනවින් තේරුම්ගෙන සිටි බැවින්, 2019 දී අතිවිශිෂ්ඨ ලෙස ගෝඨාභය රාජපක්ෂයන්ව බලයට ගෙන ආහ. 2/3 බලයකින් යුත් පාර්ලිමෙන්තුවක්ද ලබාදුන්හ.

පාර්ලිමේන්තු චන්දයෙන්,මෙරට ජනතාව රනිල්ට ලබාදෙන ලද්දේ,චන්ද 249,435ක් පමණි. එය 2.15%ක් තරම් අඩු චන්ද ප්‍රතිශතයක් විය.

ජනතාව විසින් මේ සිදුකල දෙය, නිවැරදිව තේරුම් ගත්තේ නම්, රනිල්ට යලිත් නිවැරදිව  රටට අවැසි දේශපාලඥයෙක් බවට වුවද පත්වීමේ හැකියාව තිබුණි. එසේ වුවාදැයි අපි නොදනිමු. නමුත්, රනිල් ලද මේ අන්ත පරාජයත් සමග ඔහුවටා සිටි ජාත්‍යන්තර ප්‍රතිගාමී බලවේග විසින් ඔහුව සම්පුර්ණයෙන්ම නොසලකා හැර ඔහුව එදා බලය අහිමිව පරංගි කොටුව තුල සිටි දොන් ජවන් ධර්මපාලයන්ට සලකු ආකාරයෙන්ම නොසලකා හරින ලදී.

ප්‍රභල දේශපාලන පක්ෂයක නායෙකුව සිටි ඔහුට මෙරට ජනතා බලයත්, ජාත්‍යන්තර හිතමිතුරන්යයි කිවූ පරදෙශින්ගේ සහයත් අහිමි විය.

ඔහු මෙරට දේශපාලන පිටියේ සිටින  උගත්කමත්, පරිනත බුද්ධියත්  මෙරට දේශපාලන පිටිය විදේශිකයින් හසුරුවන ආකාරය මැනවින්ම දන්නා ප්‍රභලම පුද්ගලයෙකු බැවින් සිය ප්‍රඥාව මෙහෙයවා, පාර්ලිමේන්තුව තුලට විත්, 59% ජනතාව බලය ලබාදුන් ඒ රාජ්‍ය බලය 2.15% චන්ද ප්‍රතිශතයක් ලබාගත් ඔහු අතට ලබා ගැනීමට සමත්වීම දෙස අප බලා සිටිය යුත්තේ මහත්වූ සුපරික්ශාවකින් යුතුවය.

අද එදා අපේ අංක එකේ සතුරා, දේශප්‍රේමී බලවේගයන් ඉහලින්ම ආදරය කල මහින්ද රාජපක්ෂයන් සමග එක්ව දේශපාලන දහරාව මෙහෙයවන විට, අපට හැරෙන්නට හෝ දකින්නට අපිට පෙනෙන ප්‍රබල ජාතික බලවේගයක් නැත. නමුත් ඈත අහසේ  දීප්තිමත්  තරුවක් උදාවෙමින් පැවතීමයි. ඒ යුක්රේන යුද්ධයේදී; එදා ප්‍රභාකරන්ව රනිල්ව, සරත් ෆොන්සේකාව හා මෛත්‍රිපාල සිරිසේනව මෙරට ජනතාවට එරෙහිව මෙහෙයවූ බටහිර අධිරාජ්‍යයේ, බිඳ වැටීම ඉතා පැහැදිලිව සනිටුහන්ව පවතින බැවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress