දේශපාලන නායකයන් ජනතාව නොබෙදිය යුතුයි, සමගි කල යුතුයි; සහ නායකයන් වෙත ස්ත්‍රී ඇඳුම් යැවීම
Posted on February 10th, 2023

චානක බණ්ඩාරගේ

1987 ඉන්දු – ලංකා ගිවුසුම මඟින් JR ජයවර්ධන 13 හඳුන්වා දුන්නේ ඉන්දියාවේ දැඩි බලපෑම නිසා යයි කීම හුදු නිදහසට කරුණක් පමණි.  දක්ෂ, එඩිතර ශ්‍රී ලාංකික නායකයෙකුට ඉන්දියාවට බැහැ කීමට අයිතිය තිබේ, සහ පිට කොන්දක් තිබේ.  1956 බැන්ඩුන් සමුළුවේදී සර් ජෝන් කොතලාවල වේගවත් කථාවක් කර හිඳ ගත් විට නේරු තුමා ඔහුගෙන් විමසුවේ තමාට ඒ කථාව කලින් නොකීවේ ඇයිදැයි කියාය. ‘මට කලින් කථා කල ඔබතුමාගේ කථාව ගැන ඔබතුමා මට නොකීවේ ඇයි’ දැයි සර් ජෝන් කොතලාවල මහතා පෙරලා නේරු තුමාගෙන් සිනහවෙන් ඇසීය. නේරු තුමා නිරුත්තර විය (“I have never met a more arrogant man than Mr. Nehru” යයි එම සමුළුවේදීම ප්‍රකාශකලේ චීනයේ චෞ එන් ලාය්ය). 1989දී රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට අණ කලේ සති 2ක කාලයක් කල් දෙමිණි. ඉන්දියාව එසේ ඉල්ලු පරිදීම පිටවී ගියා පමණක් නොව ප්‍රේමදාස මහතා 1993දී මිය ගිය පසු ඔහුගේ වියෝව පිළිබඳව විශේෂ සභා රැස්වීමක් ඉන්දීය ලොක් සභාවේ පැවැත්වීය. එහිදී නරසිම්හ රාඕ අගමැති තුමා ප්‍රේමදාස මහතා පිළිබඳව දීර්ඝ ගුණකථනයක යෙදිණි.

අදද 13 පුර්ණ ලෙස බලාත්මක කිරීම අවශ්‍ය වනුයේ ඉන්දියාවේ දැඩි බලපෑම නිසා යයි සමහරු පවසන්නේ හුදු නිදහසට කරුණක් ලෙසිණි. 13 පුර්ණ ලෙස බලාත්මක කිරීමේ උවමනාව තිබෙන්නේ ඉන්දියාවට, මේ රටේ දෙමළ, සිංහල හෝ මුස්ලිම් සාමාන්‍ය ජනයාට නොවේ. ඊලාම් පිපාසයෙන් අන්ධ වී සිටින TNA සහ වෙනත් අදාළ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට සහ අනාගත ජනාධිපතිවරනයකදී දෙමළ චන්ද තමනට ලබා ගැනීම ගැන සිහින මවන සිංහල දේශපාලන නායකයන්ටය.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2024දී හෝ ඊට කළින්ය.  එහිදී අඩු තරමින් දෙමළ චන්ද ලක්ෂ 40ක් වත්  භාවිත වනු ඇත. එයින් චන්ද ලක්ෂ 20ක් වත් ලබාගතහොත් තම ජය නියතයයි සිංහල දේශපාලන නායකයෝ සිතති.

අද පාර්ලිමෙන්තුවේ සියළු සිංහල ප්‍රධාන පක්ෂ නායකයෝ (ජවිපෙ ඇතුළු) 13ට අත ඔසවනුයේ මේ ආත්මාර්ථකාමී චේතනාවෙනි.

ඔවුහු රට ගැන නොසිතති. 13 පුර්ණ ලෙස බල ගැන්වුවහොත් රට නිසැකවම දෙකඩ වන බව ඔවුන් නොදන්නවා නොවේ.

JR ජයවර්ධන ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වලට නොදී ඒවා යටපත් කලේ ඒ නිසාය (රට කැඩෙන නිසාය).

කලින් කී පරිදී, අද සියළු රටවැසියාට ඇත්තේ 13 ගැන ප්‍රශ්ණයක් නොවේ. දෛය්නික ජීවත්වීමේ ප්‍රශ්ණයකි. ඉදින්, එවන් අවස්ථාවක මෙම 13 පුර්ණ ලෙස බලගැන්විය යුතුය යන නව කාරණය ඉස්මතු කරන්නේ මැතිවරණවලදී දෙමළ චන්ද ලබා ගැනීමේ කෑදර කම නිසාය – විශේෂයන්ම ජනාධිපතිවරනයකදී.

උතුරු, නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයා සැමදා චන්දය දෙන්නේ බෙහෙවින්ම, තමන්ගේම වාර්ගීකයෙකුට බව අපේ සිංහල නායකයෝ තවමත් අවබෝධ කරගෙන නැත.

අනවශ්‍ය කරුණක් මේ අවස්ථාවේ මතු කිරීම නිසා ජනතාව නිරපරාදේ බෙදීමකට ලක් කර ඇත. සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනයා ඉතා සමගියෙන් අද මේ රටේ ජීවත් වෙත්. ඉතා සංවේදී කරුණක් අනවශ්‍ය ලෙස කරලියට ගෙන ඒමෙන් ජනතාව අතර බෙදීම ඇති වන්නේ සිංහල – දෙමළ – මුස්ලිමානුවන් අතර පමණක් නොවේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුලත්, ඔවුනතර – පවුල් තුල පවා, බෙදීම් ඇතිවේ.

රටට ආදරේ කරන කීර්තිමත් නායකයෝ සිය ජනතාව බේධ බින්න කරන ක්‍රියාවල නිරත නොවෙත්; හොඳ, දුරදර්ශී නායකයෝ කරන්නේ ජනතාව අතර සමගිය වර්ධනය කරන ක්‍රියාය. ඔවුහු රටවැසියන්ට අවංකවම ආදරය කරති. රටේ වර්තමානය මෙන්ම අනාගතය ගැනද නිරන්තරයෙන් සිතති. රටේ දරුවන්ගේ සහ නුපන් දරුවන්ගේ බර තමන්ගේ කර මතය යන්න ඔවුන් සැම විටම ධාරණය කර සිටිත්.  

දියුණු රටවල නායකයෝ හැසිරෙන්නේ එසේය.

ප්‍රභාකරන් සමඟ පවා ගිවුසුම් ගැසූ අපේ නායකයෝ වුහ. 

අප රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳව අරගලයකදී සැම දාම ඉදිරියට පැමිණියේ අපගේ ගෞරවනීය මහා සංඝරත්නයය. මෙය රජ කාලේ පටන් සිදුවූ දෙයකි. මෙවර සිදු වුයේද එයයි. රට බේරා ගැනීමට මෙවර ඉදිරියට පැමිණි ගෞරවනීය මහා සංඝරත්නයට රටේ සියළු ජනතාවගේ ප්‍රණාමය හිමිවේවා!

තුවාලවූ ගරුතර සංඝයාවහන්සේලා ඉක්මනින් සුවපත් වේවා!!

13 මෙවර යට ගියත්, මේ දේශපාලනඥයෝ යලි එය එලි දක්වනු ඇත. හිඟන්නාගේ තුවාලය මෙන් 13 ඔවුන් යලි යලිත් භාවිතා කරනු ඇත. මේ රටේ ජනයා භේධ බින්න කර තමන්ගේ කාර්යය ඉෂ්ට කර ගත හැකි වේ යයි  දේශපාලන නායකයෝ (සිංහල, දෙමළ සහ මුස්ලිම්) සිතති.  නමුත් අද ජනයා එදාට වඩා බුද්ධිමත්ය.

1987දී 13 නැවත්වීමට අපගේ වැඩිහිටියන්ට නොහැකි විය. ඒ ගැන ඔවුහු ඉමහත් ලෙස කම්පා වුහ. නමුත්, ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම අප පරම්පරාව කෙසේ හෝ නවත්වනු ඇත.

ඒ වෙනුවෙන් සෑම අවස්ථාවකම, එයට විරුද්ධව දැඩිව සටන් කරනු විනා අපහට වෙන අන් කිසි ක්‍රියාමාර්ගයක් නොමැත.

නව පරපුරනටද අප සත්‍යය අවබෝධ කර දිය යුතුය.

කිසිම තේරුමක් නැතිව, 13 මෙවර උලුප්පා දැක්වීමට මුල් වුයේ සෝල්හයිම් විය නොහැකිද? මෙය ලියුම්කරුගේ අදහසක් පමණි.

සෝල්හයිම් වනාහි කිසිම සිංහලයෙක් විසින් ඔරු හබලකටත් වඩා දිග ලීයකින් වත් නෑල්ලීය යුතු මිනිසෙකි.

තම පියාගේ (කාවන්තිස්ස රජුගේ) ඉතා දුර්වල පාලනය ඉවසා ගත නොහැකිව ගැමුණු කුමරා තම පියාට ස්ත්‍රී ඇඳුම් යැවීය (මෙයට විහාර මහා දේවියද ඔහුට ආධාර කළාය).

අද රටේ උතුරේ සහ නැගෙනහිර සිදු වන දේ අනුව මෙරට සිංහල ජනයා රටේ පාලකයනට ස්ත්‍රී ඇඳුම් තැපැල් කර යැවිය යුතුද?

  1. සිංහලයාට උතුරේ සහ නැගෙනහිර පදිංචිය තහනම්ය. නමුත්, ද්‍රවිඩයනට සහ මුස්ලිමානුවනට රටේ ඔනෑම ප්‍රදේශයක ජීවත් විය හැක. උතුරු, නැගෙනහිර මේ රටේ මුළු භුමි භාගයෙන් 1/3කි. මුහුදු තීරයෙන් ¾කි. අද රටේ ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්ණය මෙයයි.
  2. සිංහලයන් අඩු වූ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල බොහෝ රජයේ ආයතන වල සිංහලෙන් කිසිම වැඩක් සිදු නොකරේ. ග්‍රාම සේවකවරුන්ගේ සිට දිස්ත්‍රික් ලේකම් වරුන් දක්වා කිසිවෙක් සිංහල කථා නොකරයි. සමහරෙක් සිංහල දැන සිටියත් නොදන්නා බවක් හඟවයි. මේ පිළිබඳව උතුරේ සිංහල වැසියන් යහපාලන රජයේ සංහිඳියා ඇමතිට (දෙමළ ජාතික) පැවසූ විට ඔහු ඔවුන්ව මඟ හැර ඇත. තංගල්ලේදී දෙමළ ජාතිකයෙකුට හෝ ගම්පහ දී මුස්ලිම් ජාතිකයෙකුට රජයේ කාර්යාලයක, පොලීසියක, අධිකරණ හෝ වෙනත් එවැනි ස්ථානයක දෙමළෙන් සිය කාර්යය කර ගත නොහැකි වුවහොත් එය දැඩි මානව හිමිකම් කඩ වීමක් ලෙස දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයන් පාර්ලිමෙන්තුවේදී සහ ඉන්  පිටත පෙන්වා දෙති. හැකි නම් ජෙනිවා ගොස් කියති.
  3. යාපනයේ නාවට්කුලි සිංහල ගම්මානයේ වාසය කිරීම සඳහා  අනුරාධපුරයෙන් එහි ගිය සිංහල කාන්තාවකට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ පටන් සිදුවූ අසාධාරණ නිසා, සිය අභිමතාර්ථය සුන් කර ආපසු අනුරාධපුරය බලා යාමට සිදු විය.
  4. 1987 සිට 2018 වනතෙක් (වසර 31ක් එක දිගට) උතුරු පළාතේ ආණ්ඩුකාරයා වුයේ සිංහලයෙකි. මේ තත්ත්වය වෙනස් කලේ මෛත්‍රීපාල සිරිසේනය. චන්ද්‍රසිරි, රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරුගෙන් උතුරේ සිංහලයනට යම් සහනයන් ලබා ගැනීමට හැකි විය. උතුරේ ආණ්ඩුකාරයා ද්‍රවිඩ අයෙක් විය යුතු බවට නව සම්ප්‍රදායක් බිහිවීද?
  5. අද උතුරේ දෙමළ ප්‍රදේශවල ජීවත්වන සිංහලයනට තම දුක් ගැනවිලි කීමට කිසිම දේශපාලනඥක් හෝ රජයේ නිලධාරියෙක් නැත.
  6. සිරිසේන ජනාධිපතිවරයා උතුරේ පුද්ගලික සහ උතුරු පළාත් සභාව සතු ඉඩම් කියා යුධ හමුදාව යටතේ තිබු ඉඩම් අක්කර දහස් ගණනක් යුධ හමුදාවට අහිමි කර දෙන ලදී. දැන් මේ රජයද ඒ දේම කරයි. ඉඩම් නොමැතිව ගොඩනැගිලි වලින් පමණක් හමුදා කඳවුරු පවත්වා ගෙන යා නොහැක. ඉංග්‍රීසි යුගයේ පවා උතුරේ හමුදා කඳවුරු පවත්වා ගෙන ගියේ එම ප්‍රදේශ රටේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමට ඉතා වැදගත් වන නිසාය.
  7. 2019 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී උතුරේ පලාලි හමුදා ගුවන් තොටුපොළ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරන ලදී. මේ නිසා යහපාලන ජනාධිපති අපේක්ෂකයාට උතුරෙන් නව ද්‍රවිඩ චන්ද ප්‍රමාණයක් වැටෙන්නට ඇත.
  8. විග්නේස්වරන් මහතා නව බෞද්ධ පිළිමයක්වත් උතුරේ  ප්‍රසිද්ධ ස්ථානයක ස්ථාපනය කිරීමට ඉඩ නොදිණි. නමුත්, කොළඹ ඇතුළු දකුණේ ඔනෑම ප්‍රදේශයක ඔනෑම වෙලාවක නව හින්දු කෝවිලක්, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක් ස්ථාපනය කිරීමේ නිදහස ඇත.
  9. 2015දී යහපාලන රජය යාපනයේ සිංහල මහා විද්‍යාලය නැවත ස්ථාපනය කරන බව පැවසීය. අදටත් යාපන නගර මධ්‍යයේ එම භුමිය හිස්ව පවතී. ප්‍රභාකරන් විසින් විනාශ කර දමන ලද යාපනයේ සිංහල මහා විද්‍යාලය යාපනයේ හොඳම විද්‍යා රසායනාගාරය තිබු පාසැල යයි ප්‍රසිද්ධ වී තිබුණි.  මයිත්‍රීපාල සේනානායක, KB රත්නායක යාපනයේ සිංහල මහා විද්‍යාලයෙන් බිහුවූ දීප්තිමත් ආදී ශිෂ්‍යයෝය.
  10. 2018දී වසර ගණනාවක් තිස්සේ පැවතී මන්නාරමේ මඩු පාර සිංහල විද්‍යාලය විග්නේස්වරන් විසින් වසා දමන ලදී.  මේ නිසා, මඩු පාර, නරි කාඩු, මුරුන්කන්, මන්නාරම වාසී සිංහල දරුවනට සිංහලෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම අවහිර වුණි. මේ නිසා ඇතැම් දෙමව්පියනට එම ප්‍රදේශ අත් හැර දකුණ බලා යාමට සිදු විය.
  11. උතුරේ බොහෝ පාරවල නාමපුවරු වල සිංහල නැත. A9 පාරේ දැවැන්ත බිල් බෝඩ් වල සිංහල සඳහන් නොකළ යුතුය යනුවෙන් උපදෙස් ලබා දී ඇත්තේ විග්නේස්වරන්ගේ පළාත් සභා රජයයි. යාපනය දුම්රිය ස්ථානයට කොළඹින් දුම්රිය පැමිණියේය කියා සිංහලයෙන් සඳහන් නොවී තිබුණි (නමුත් වේයන්ගොඩ, බෙලිඅත්ත දුම්රිය ස්ථානවල? –  නිවේදන ත්‍රී භාෂාවෙන්ම සිදුවේ). උතුරේ කිසිදා සිටියේ යයි අසා නැති විවිධ දෙමළ රජවරුන්ගේ පිළිම යාපනය නගරයේ විග්නේස්වරන් විසින් ඉදි කර තිබේ. මෙයින් නොමග යන්නේ විශේෂයන්ම විදෙස් සංචාරකයෝය.
  12. පසුගිය පොසොන් පොහොයදා (2022) මුලතිව්හි කුරුදුමලේ ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමද TNA මැදිහත් වීමක් නිසා කඩාකප්පල්කාරී විය. උත්සවයට දිවයිනේ නන් දෙසින් පැමිණි සිය ගණනක් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අන්තිම මොහොතේ ‘හිස් අතින්’ ආපසු වැඩම කළහ. මේ සිද්ධිය කිසිම විද්‍යුත් මාධ්‍යක් මඟින් ප්‍රචාරය නොකිරීමට ඔවුන් ප්‍රවේශම් වී තිබුණි. සමාජ මාධ්‍යද සිද්ධිය ආවරණය කර නොතිබුණි. දකුණේ හින්දු ආගමික උත්සවයක් මෙලෙසින් කඩාකප්පල් කරනු ලැබුවේ නම්?
  13. ප්‍රභාකරන් විසින් පන්නා දමන ලද උතුරේ සිංහල පවුල් 50ක් පමණ, යුධ ජයග්‍රහණයෙන් පසු තම යාපනයේ ඉඩම් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා යාපනය (පැරණි) දුම්රිය ස්ථානයේ දින ගණනාවක් රැඳී සිටියදී (2010), ඔවුන්ව ශ්‍රී ලංගම බස් වලට පටවා බලෙන්ම මිහින්තලේට යවනු ලැබුවේ එවකට තිබු රජය මඟිනි. ඔවුන් නොගියේ නම් අත්අඩංගුවට ගන්නා බවට එක් සිංහල පොලිස් ASP වරයෙක් ඔවුන් ඉදිරියට පැමිණ තර්ජනය කර කියා සිටියේය. නමුත්, ඒ අතර සිටී විරෝධාර සිංහලයන් කිහිප දෙනක් තමන් කිසිම ලෙසකින් ආපසු දකුණට නොයන බවට ශපත කරමින් උතුරේම රැඳී සිටියහ. රජයේ කිසිම ආධාරයක් නොමැතිව නාවට්කුලි සිංහල ගම්මානය (යාපනයට කිමි 8යි) බිහි කර ගත්තේ ඒ උදාර සිංහලයන් විසිනි. මේ අයව එම ගමින් එළවීමට TNA/දෙමළ පක්ෂ සහ දෙමළ පළාත් සභාව නොකළ දෙයක් නැත. නාවට්කුලි සිංහල ගම්මානයේ සමහර ගැමියන්ගේ නිවෙස් තවමත් ටකරං මඩුය හෝ බාගෙට නිම කරන ලද නිවාසය. ඒ අවට සිටින ද්‍රවිඩ ජනයාට මධ්‍යම රජය සහ ඉන්දීය රජය උදව් වී හොඳ නිවාස පිළියෙළ කර දී ඇත.
  14. නාවට්කුලි සිංහල ගම්මානයේ සිංහලයනට ස්වයං රැකියා පවත්වා ගෙන යාමේදී උතුරු පළාත් සභාවෙන් නොයෙක් අවහිර බාධා ඇති විය. ඒ අයට සහණ සැලසීමට යහපාලන රජයේ ගරු කථානායක සහ ඇමතිවරුන් කිහිප දෙනක් අවංකව වැඩ කලත්, විග්නේස්වරන්ගේ පළාත් සභාව සහ අදාළ ප්‍රාදේශීය සභාව ඒ සියල්ල අවහිර වන සේ වැඩ කළහ.  එවැනිම රැකියා කරන දෙමළ වැසියන්ට උතුරේ පළාත් සභා රජය තහංචි පැනවුයේ නැත.
  15. නාවට්කුලි සිංහල ගම්මානයේ බෞද්ධ චෛත්‍ය රාජයා ඉදිකිරීම පිළිබඳව උතුරු පළාත් සභාවෙන් සහ අදාළ ප්‍රාදේශීය සභාවෙන් පනවනු ලැබූ තහංචි ඉවත් කර ගැනීමට ඒ වැසියනට සහ එහි නායක ස්වාමින්වහන්සේට නඩු මඟට පිවිසීමට පවා සිදු විය.
  16. කෝකිලායිහි කාලාන්තරයක් තිස්සේ වාසය කරන සිංහලයනට උතුරු පළාත් සභාවෙන් එල්ලවී ඇති හිරිහැර, දුෂ්කරතාවල නිමක් නැත.
  17. උතුරේ මන්නාරමේ සහ මුළු නැගෙනහිර පළාත පුරාම අදත් බෞද්ධ නටඹුන්, ශිලා ලිපි, ගල් කණු  හමුවේ. මේවා විධිමත් ලෙස ලේඛන ගත කර, ඒවා පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර නැත; මධ්‍යම රජය ඒ සඳහා උපදෙස් එම දෙපාර්තමේන්තුවට ලබා දීම සිදු නොකළ බවයි අපගේ අවබෝධය.
  18. නිවාස සංගණනයක්ය කියා මන්නාරමේ නරි කාඩු අයත් වෙන නානාත්තාන් දිස්ත්‍රික් සහකාර ලේකම් ආයතනයේ නිලධාරින් මෑතකදී එම ගමට ගොස් එහි වැසියන්ගෙන් වසා තබා ඇති නිවාස පිළිබඳව නොයෙක් ප්‍රශ්ණ ඇසු බව එහි ගම්වැසියෝ මේ ලියුම්කරු සමඟ කීහ.  මේ ගෙවල් අපරාධේ, අනිත් අයට (දෙමළ) ගෙවල් නෑ, මේක මහ අපරාධයක්” වැනි දේ ඔවුන් කියා ඇත. වසා තිබෙන නිවෙස් හැර, ඒවායේ දෙමල ජනයා පදිංචි කරාවිද යන බිය නරි කාඩු ගමේ සිංහල වැසියන් තුල ඇත (මඩු පාර සිංහල විද්‍යාලය වැසුවේත් උතුරු පළාත් සභාවයි – නිවාස හිස්ව යාමට මෙයද මුලික හේතුවකි).
  19. දෙවන පෑ තිස් රජ සමයේවූ ඉතා පැරණි ගල් කුළුණු වල ඉතා මෑතකදී දෙමළ ත්‍රී ශූල ඇඳ, ඒවා භාවිතා කර, නැගෙනහිර පළාතේ නව හින්දු කෝවිලක් ඉදි කර ඇති බව පුරා විද්‍යා කටයුතුවල නියැලෙන බෞද්ධ භික්ෂුවක් මේ ලියුම්කරු සමඟ පැවසීය. මේනිසා මේ කෝවිල් වසර දහස් ගණනක් පැරණිය යන මතයක් ඔවුන් විසින් ගොඩ නඟා ඇත. මන්නාරමේ දෙමළ කෙසෙල් කොටුවක සිරස කඩා දමන ලද ඉපැරණි (රජ කාලයේ) බුදු පිළිම මෑතකදී සමුවූ බව ඒ හිමියන් මේ ලියුම්කරු සමඟ පැවසීය. මේ ලියුම්කරු එම ජායාරූප දැක ඇත.
  20. 2016 පමණ, ත්‍රිකුණාමලයේ දෙහිඅත්තේ සිංහල ගැමියන් විසින් වගා කරන ලද කුඹුරු අක්කර 1000ක් පමණ ඒ ප්‍රදේශයයේ සිංහල වැසියන්ගෙන් ගෙන, එම ප්‍රදේශයේ අලුතින් පදිංචියට පැමිණි දෙමළ ජනයා වෙත ලබා දෙන ලදී. මෙය එසේ කරන ලද්දේ TNA පක්ෂයේ ඉතා වයෝවෘධ දේශපාලනඥයෙක් ත්‍රීකුනාමලයේ දිසා ලේකම්තුමාට ලබා දුන් ‘ඕඩරයෙන්’ බව දෙහිඅත්ත පංසලේ විහාරාධිපති ස්වාමින්වහන්සේ මේ ලියුම්කරු සමඟ පැවසීය.

මෙම ලැය්ස්තුව ඉතා දිගය. මෙහි සඳහන් කර ඇත්තේ සිංහලයා උතුරේ සහ නැගෙනහිර මුහුණ දෙන අසාධාරණකම් වලින් කිහිපයක් පමණි.

ඉඩම් සහ පොලිස් බලතලත් මේ පළාත් සභා 2ට දුන් පසු ඉදින් තවත් කුමන කථාද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress