ණය අරගෙන නිසි ආයෝජනයක් නොකළොත් ණය ගෙවන්න වෙන්නේ   කටුක ලෙසයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on February 22nd, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.02.21 දින ජාතික විදුලිබල පද්ධතියට තවත් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතියක් එක්කරමින්  දියත් කෙරෙන කඩුවෙල මහ නගර සභාවේ “රන් පැලැස්ස″  අපද්‍රව්‍ය පසු  සැලසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා  –

  මෙවැනි සම්ප්‍රදායික නොවන මගක් ගෙන එම සම්ප්‍රදායික නොවන මඟ ජය ගැනීම කඩුවෙල  නගරාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් ජය ගැනීමක් වෙනවා අභියෝගයක් ජය ගැනීමට සැලසුමක් හා විශ්වාසයක් අවශ්‍යයි. ඒ වගේම ඉලක්කයට ගමන් කරන්නට තිබෙන ඕනෑකම වෙනුවෙන්ම කැප වෙන්නට පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ.  පුනර්ජීවන විදුලිය  නිෂ්පාදනය කිරීමේ උවමනාව ලොවටම තිබෙනවා. අපේ රටටත් තිබෙනවා. අපි මේ පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ කතා කරමින් සිටිනවා. මෙය යථාර්තයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය අද වෙනදාටත් වඩා  දැනෙනවා.

  දැවැන්ත විදේශ විනිමය  අර්බුදයක, ඩොලර් අර්බුදයක සිටින රටක් හැටියට පසුගිය මාස හය තුල රට ආර්ථික ස්ථාවරත්වයට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ගයේ ක්‍රමානුකූලව ඉදිරියට ගමන් කළ ද  අපිට තවත් ඉදිරියට ගෙන යන්න තියෙන බර වැඩියි. කඩුවෙල නගරාධිපති තුමා ඇතුළු කණ්ඩායම මේ ආරම්භ කළේ ඒ බර අඩු කිරීමේ පළමු පියවරයි.

අපි රුපියල් වලින් කතා කළත් මෙහි ද ඉතුරු කරන්නේ විදේශ විනිමය යි.

විදුලිබල විදුලිබල මණ්ඩලය ජාතික සංවර්ධනයේ දැවැන්ත කොටසක්.  අපි විදේශීය මුදල් වැය කරලා ගෙනඑන ඉන්ධනවලින් විදුලිබල නිෂ්පාදනයේ විශාල කොටසක් සිදු කරනවා. ලොකු බරක්  උහුලගෙන තමයි මේ ඉදිරියට යන්නේ.

අවුරුදු තුන්දහසකට වැඩි කාලයක්  මේ භූමියේ කැලණි ගඟ ගලනවා.    පරිසර හිතකාමී විදුලි නිෂ්පාදනයට විශාල මුදලක් වැය වෙනවා කියලා   හිතුවට ඊට වඩා කොටකොටසක් අපි වැය කරනවා මේ ආකාරයෙන් ඉන්ධන භාවිතාවෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට. එය වෙනස්   කර ගැනීම සදහා අනුගමනය කළ යුතු අමාරු නමුත් ජය ගත හැකි ගමනකට තමයි මේ ව්‍යාපෘතිය ආරම්භය ලබා දුන්නේ. ඊට සැලැස්මක් ඉලක්කයක් පරමාර්ථයක් සහ අධිෂ්ඨානයක් තිබිය යුතුයි.

කොරතොට කියන්නේ ලක් ඉතිහාසයේ වැදගත් ප්‍රදේශයක්. අද තරුණ ජවය යොදාගනිමින් මේ අමාරු දේ ජයග්‍රහණය කළා.

  රට පුරාම යන එන හැම තැන ම කුණු ගොඩවල් වලින් තමයි නගරයේ දොරටුවේ හෝ අවසානය පිරී තිබෙන්නේ. එයට අපට ජාතික විසඳුමක් ඕනෑ වුණත් ඇති කර ගැනීමට අපොහොසත් වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ   අපද්‍රව්‍ය හැටියට ආහාර වලින් ඉවත් කරන බැහැර කරන අපද්‍රව්‍ය වල තිබෙන රසායනික  හරියාකාරව කළමනාකරණය කර ගනිමින්   මීතේන් වායුව ජනිත කර ගැනීමෙන් ඇති කරගත හැකි විදුලි බලය අවසානයේ දී විදුලි බල පද්ධතියට එක් කරලීමට පුළුවන්.  ඒ තුළින් සාර්ථක ජයග්‍රහණයක් ලැබීම මුළු රටටම ආඩම්බරයක්.

 මෙවන් ව්‍යාපෘති සීයක් දෙසීයක් පළාත් පාලන ආයතන  වලින් ක්‍රියාත්මක කරන්නේ නම් කොයිතරම් අපේ කරේ තියෙන බර අඩු වෙනවාද. අපට ණය ගෙවන්න තියෙන විදේශ විනිමය වෙනසකට භාජනය වෙනවද.  විදුලි බලය වඩාත් අඩු මිලකට පාවිච්චි කිරීමට සැලැස්වීම තුළින් අපේ ජාතික නිෂ්පාදන වල  මිල අදු කරගන්නට හැකියාව ලැබෙනවා.

 ඒ වගේම සූර්ය තාපය ලංකාවෙ තවත් වටිනා වස්තුවක්. පැය 24න් පැය 12ක් සූර්යයාගේ රශ්මිය ලබන මේ භූමියේ එය හරියාකාරව ප්‍රයෝජනයට ගන්න තවම බැරිවෙලා තියෙනවා.  ඊටත් වැඩි සුළං බලය හමායන දිවයිනක් නිසා රට හරහා හමා යන සුළං බලය විදුලිය බවට පරිවර්තනය කරන්න පුළුවන් බව ඔප්පු කරලා තියෙනවා. අපේම ඉංජිනේරුවරු.  නමුත් ක්‍රියාත්මක කිරීම බොහෝ කාලෙකට ඇදී යන ලක්ෂණයක් තමයි අප දකින්නේ.

 තව අවුරුදු විසි පහක දී නිදහසේ සියක් වසරකට පැමිණෙන කොට වැඩි කොටසක්  පුනර්ජීවන විදුලියට පිවිසෙන්නට  අපේ ඉලක්ක සාර්ථක කර ගත්තොත් අප ගෙනයන මේ විශාල බර අඩු කරගන්නට පුළුවන්කම ඇති වෙනවා.

 ණය අරගෙන නිසි ආයෝජනයක් නොකළොත් එහි මිල ගෙවන්න වෙන්නේ හරිම අමාරු කටුක ලෙසයි. ඒ නිසා තමයි ණය ගැනීම සහ එහි ප්‍රතිඵලය කුමක් සඳහාද කියන දේ ගැන යළි යළි සරලව කල්පනා කරන්නට තිබෙන කාල කාලපරිච්ඡේදයක අපි ගමන් කරන්නේ.

ගෙයින් ගෙට පමණක් නොව ගමින් ගමට මෙයාකාරයෙන් දියුණුවේ හා නව තාක්ෂණයේ දැනුම  එක් කරගැනීමට‍ සහාය දීම ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට  ස්තූතිවන්ත වෙනවා.

  නවගමුව රජමහ විහාරාධිපති  පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමි, මහා සංඝරත්නයද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ප්‍රේමනාත්  දොලවත්ත, ප්‍රදීප් උදුගොඩ, මධුර විතානගේ, ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, යන අය සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress