13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමෙන් උතුරේ සාමාන්‍ය දෙමළ ජනයාට සිදුවන්නේ කුමක්ද? – අරුන් සිද්ධාර්තන් පැහැදිලි කරයි
Posted on March 6th, 2023

 Lanka Lead News

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සම්බන්ධයෙන් උතුරේ පීඩිත ජනයා දක්වන අදහස් සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය යාපනය සිවිල් ජනතා සංවිධානයේ කැඳවුම් කරු අරුන් සිද්ධාර්තන් මහතා ගෙන් කළ විමසීමකදී ඔහු මෙමගින් උතුරේ සිදුවන සැබෑ අර්බුදය පැහැදිලි කළේය.

එහිදී ඔහු අදහස් දක්වමින්,

මට තිබෙන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ වැනි බටහිර න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන නායකයෙක්ගේ හැසිරීම නෙවෙයි. මේ රටේ වාමාංශික පක්ෂවල නායකයින් යාපනයේ සාමාන්‍ය ජනයා පීඩාවට ලක් කරන ඉතා සුළු පිරිසක් වන වෙල්ලාල කුලයේ පාර්ලිමේන්තු බලය හොබවන කොළඹ ජීවත්වන දෙමළ වචනයක් හරියට කතා කරගන්න බැරි වෙල්ලාල කුලයේ , දෙමළ ජනයාට කුළ පීඩනය උපරිම මුදා හරින දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට අත් දෙකම ඔසවා එකඟ වන බව පැවසීමයි. ජාතික ගැටලුවට අපේ විසඳුම ” පොතේ රෝහන විජේවීර සහෝදරයා බොහොම පැහැදිලිව අපේ ගැටලුවට උත්තර සපයා දී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනයා දැඩි පීඩාවට ලක් කරන මම ඉහතින් සඳහන් කළ දෙමළ ජන පීඩකයන්ට දෙමළ පීඩිත ජනයා තව තවත් මර්දනය කිරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන සලසා දීමට මරා ගෙන මැරෙන උත්සාහයක් ගන්නේ ඇයිද යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේම අත් දෙකම ඔසවලා 13 + දෙන්න පාර්ලිමේන්තුවේ කටයුතු කරනවාය කියන සමහර වාමාංශික පක්ෂ වල නායකයින්ට රෝහන විජේවීර සහෝදරයා යාපනයේ දෙමළ ජනයා වෙනුවෙන්ම ලියපු ජාතික ගැටලුවට අපේ විසඳුම” පිළි ගන්න බැරි නම්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් එක් වන සැසියේ න්‍යාය පත්‍රයේ අයිතම අංක තුන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.”

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,

2022 සැප්තැම්බර් 12 වනද සිට ඔක්තෝබර් 7 දක්වා පැවැත්වුනු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් එක් වන සැසියේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 න් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ සියලුම මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, සිවිල්,දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සංවර්ධනයට ඇති අයිතිය” යනුවෙනුයි.

මෙම වාර්තාව සකස් කිරීමට 2021 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 3 දක්වා කාලය තුල වහල්භාවයේ සමකාලීන ආකාර පිළිබඳ විශේෂ වාර්තාකරු” ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔහු රටේ විවිධ ප්‍රදේශ වල සංචාරය කර විවිධ පුද්ගලයන් සහ විවිධ ආයතන වලට ගොස්  වාර්තාවක් සකස්  කළා. ශ්‍රී ලංකාවේ වහල් භාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එම වාර්තාවේ වැදගත් මාතෘකාවක් වූයේ කුලය මත පදනම් වූ වෙනස්කම් කිරීම” යන්නයි.
එම මාතෘකාව යටතේ අංක 61, 62 සහ 63න් ඒ සම්බන්ධව වාර්තාකරුගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණා.
ඒවා මෙසේයි ,

අංක 61.

තවද, විශේෂ වාර්තාකරු කුලය මත පදනම් වූ වෙනස්කම් කිරීම දිගටම පවතින බව සොයා ගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන්ම උදාහරණයක් ලෙස උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල , පීඩිත කුලවල බොහෝ සාමාජිකයින්ට කෘෂිකාර්මික ව්‍යාපාර සහ ජීවනෝපාය සුරක්ෂිත කිරීම ආරම්භ කිරීමට සුදුසු ඉඩමක් හිමිකර ගැනීමට නොහැකි බව වාර්තා වේ. එලෙසම ජලය සහ වාරිමාර්ග සඳහා ප්‍රවේශය සීමිතය.

මෙම තත්වය විසින් බොහෝ දෙනෙකුට ප්‍රමුඛවම කුල හාම්පුතුන් සඳහා, කර්මාන්තශාලා වැඩ හෝ කෘෂිකර්මාන්තයේ දිවා කම්කරුවන් ලෙස හෝ ගෘහාශ්‍රිත රැකියා වල වැඩ කිරීමට බල කර ඇත. සමහර අවස්ථාවලදී බලහත්කාර ශ්‍රමය, වහල් සේවය හෝ වෙනත් වහල් ක්‍රියාවන් දක්වා පැතුරුණු සේවා කොන්දේසි ප්‍රමාණයන් පැනවීම පවා දැකිය හැක. විශේෂ වාර්තාකරුට එම ප්‍රදේශ වල මින්සුන්ට ක්ෂුද්‍ර මූල්‍යකරණයෙන් ගොඩගැසූ ණය බරපතළ බවට තොරතුරු ද ලැබිණි. පීඩිත කුලයන් කෙරෙහි අධිපති කුලවලට අයත් පුද්ගලයන් විසින් අසභ්‍ය භාෂාව භාවිතයට ගැනීමද සිදු වන බව අනාවරණය විය. පීඩිත කුලවල සාමාජිකයන්ට රැකියා ස්ථානයේ උසස්වීම් අපේක්ෂාව බෙහෙවින් අඩු යැයි වාර්තා වුණි. උසස්වීම් වෙනුවට හිරිහැර කිරීම මෙන්ම ප්‍රහාරාත්මක භාවිතාවන් දක්නට ලැබේ.

අංක 62.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය පිළිගෙන තිබියදීත්, උතුරු පළාතේ යථාර්තයේ පවතින ව්‍යුහාත්මක ගැටළු කුල හීන ජනයාට අධ්‍යාපනයට යොමු වීමට ඇති ඉඩ ප්‍රස්ථා කුලවත් ජනයා සමඟ සැලකීමේදී අසමානතාවයකට ලක්ව ඇති බව දක්නට ලැබුණි. ඒ අනුව ,උතුරු පළාතේ පීඩිත කුලවලට අයත් දරුවන් බොහෝ විට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නිවසේ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ නිල ඇඳුම් මිලදී ගැනීමට තරම් ප්‍රමානවත් ආර්ථික ශක්තියක් නොමැති තත්වයකට මුහුණ දෙන බව පෙනී යයි. එලෙසම ආධිපත්‍ය දරණ කුලවලට අයත් ගුරුවරුන් පීඩිත කුලවල දරුවන්ට වෙනස් කොට සලකනු ලැබීම බොහෝ විට දක්නට ලැබේ. සමහර රාජයේ පාසල්වල බලධාරීන් පීඩිත කුලවල දරුවන් පාසල් වලට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම් වාර්තා වීම සුලබ කරුණකි. තවද,පිඩිත කුලවල දරුවන් ඉගෙන ගන්නා පාසල්වල අධ්‍යාපන පහසුකම් අධිපති කුලවල දරුවන් ඉගෙන ගන්නා පාසල්වලට වඩා ගුණාත්මක බවින් අඩු බවටද වාර්තා විය.

අංක 63

පීඩිත කුලවල සාමාජිකයන්ට එරෙහිව ආධිපත්‍ය දරණ කුලවල සාමාජිකයන් නිරන්තරවම ප්‍රචණ්ඩත්වය මුදා හරිනු ලැබීම් පිළිබඳව විශේෂ වාර්තාකරුට වාර්තා විය. නමුත් මෙවැනි ක්‍රියා සිදු කරණු ලබන ඉහළ කුල වල වගකිව යුතු පුද්ගලයන් නිවැරැදිව හඳුනාගෙන නීතිය හමුවට පමුණුවා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සහ දඬුවම් කිරීම සිදු නොකරනු ලබන බවද වාර්තා විය. තවද, කුලය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් බලධාරීන් නිශ්ශබ්දව සිටින අතර සාමාන්‍ය ප්‍රජාවගේ පාර්ශවයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රමානවත් සාකච්ඡාක් කර විසඳුම ලබාගැනීමට අකමැත්තක් දක්වනුද දැකිය හැක.

කරුණාකර මේ වාර්තාව හෝ කියවා බලා දෙමළ පීඩිත ජනයා තවත් පිඩාවට ලක් කරන ඉඩම් සහ පොලිස් බලතල කුල පීඩකයන් වන වෙල්ලාල කුලයේ කොළඹ ජීවත් වන බටහිර ගැති පුද්ගලයන්ට ලබා දීමට කටයුතු නොකරන ලෙස ඉතාමත් ගෞරවයෙන් වාමාංශික පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress