තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි?
Posted on March 22nd, 2023

නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අලිසබ්‍රි අධිකරණ ඇමතිගේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින අතිශය බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

එකී ගැසට් පත්‍රය මගින් සිංහල සහ දෙමළ භාෂා වලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම නතර කර තිබුණි. මෙය සැබවින්ම ඉංග්‍රීසි අන්තවාදීන් පිනවීමටත් නිදහස් අධ්‍යාපනය ලබන සිංහල දෙමළ දරුවන් නීතීඥ, විනිසුරු වෘත්තියෙන් බැහැර කිරීමට ගෙනා අන්තවාදී ගැසට් පත්‍රයකි. මෙම ගැසට් පත්‍රය පහත අය විසින් 2020 දී ගෙනවිත් ඇත.

1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව)

අගවිනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් ගෙනා ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුව විසින් මේ ආකාරයට ප්‍රතික්ෂේප කිරීම සුවිශේෂී නෛතික තත්ත්වයකි.

එකී අගවිනිසුරුවරයාගේ සිංහල විරෝධී නෛතික ක්‍රියාමාර්ග, නෛතික අදහස පාර්ලිමේන්තුව විසින් පිළිගෙන නැත. තවදුරටත් එකී අගවිනිසුරුට සිය ධූරයේ කටයුතු කරන්නේ කෙසේද යන ගැටලුවත් ඒ අනුව පැන නැගී. එසේම තව දුරටත් ඒ අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනේ අසුන් ගන්නේ කෙසේද යන සදාචර සහ නෛතික ප්‍රශ්නයත් පැන නගී. අපක්ෂපාතීව අගවිනිසුරු ධූරයේ කටයුතු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයත් පැන නගී.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට අගවිනිසුරු ධූරයට පත්වීමට අවස්ථාව සළසා නීතියේ පාලනය ආරක්ෂා කිරීම කරනු ඇතැයි ජනතාවෝ අපේක්ෂා කරති.

නොඑසේනම් තමන්ගේ ඉංග්‍රීසි අන්තවාදී ගැසට් පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ වාඩුව ඔහු විසින් අගවිනිසුරු පුටුවේ සිටිමින් නොගන්නවා යැයි සිතිය නොහැකිය.

එසේම සිංහල දෙමළ භාෂාවලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට ඔහු දිගින් දිගටම බාධා කරනු ඇත. ඔහුගේ සිංහල විරෝධී පටු අරමුණු දිගටම අගවිනිසුරු ධූරයේ සිටිමින් ක්‍රියාත්මක කරගනු ඇත.

අගවිනිසුරුවරයාගේ එකී ඉංග්‍රීසි අන්තවාදී ගෑසට් පත්‍රයට එරෙහි වී පාර්ලිමේන්තුවේදී පරාජය කරවූ අයට එරෙහිව අගවිනිසුරුවරයාට විවිධ වූ ක්‍රියාමාර්ග ගැනීමට හැකිය. එයට ඉඩ තැබීම හෝ ඉඩ දීම නීතියේ පාලනය නොවේ.

අගවිනිසුරු ධූරය අධිකරණයේ නොකැලැල් ධූරයකි. ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා එකී නොකැලැල් ධූරය පාර්ලිමේන්තුවේදී අපවිත්‍ර කරගෙන ඇත. එතුමා සාධාරණ  අයෙකු ලෙස කළ යුත්තේ ඉල්ලා අස්වී සුදුසු වෙනත් අයෙකුට අගවිනිසුරු ලෙස පත්වීමට අවස්ථාව සළසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල දෙමළ භාෂාවලින් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇති කිරීමට ඉඩ සළසා දීමය. නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ ආදර්ශයෙනි. එසේ නොමැතිව ඉංග්‍රීසි අන්තවාදීන්ට සහාය දෙන ලෙස අගවිනිසුරු ධූරය යෙදවීමෙන් නොවේ. ශ්‍රී ලංකාවට අඩු ආදර්ශවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ධූරය.

නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394 .
(2023.03.21)


තමන්ගේ සිංහල විරෝධී සහ ඉංග්‍රීසි අන්තවාදී නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ ඇයි?
http://neethiyalk.blogspot.com/2023/03/blog-post_21.html?m=1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress