කරන්නාගොඩ කොමිසම අසම්පූර්ණයි. ශවේන්ද්‍ර හා කමල් පමණක් නොව ගෝඨාභය, දිනේෂ් හා ජීඑල් ද වගකීම පැහැර හැරියා- ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස
Posted on March 31st, 2023

 Lanka Lead News

පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ නිවාසය ඉදිරිපිට සිදුකළ ජන රාශිය සහ බස් රථයක් ගිනි තැබීමේ සිදුවීමට වසරක් පිරෙන මාර්තු 31 දින එම සිද්ධි දාමයට අදාලව ජෙනරාල් දයා රත්නායක, ගුවන් හමුදා ප්‍රධානී රොෂාන් ගුණතිලක සහ නාවුක හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් විසින් ප්‍රකාශ කරන ලද වාර්තාව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අදාල සිද්ධි දාමයේ ආරක්ෂක අංශ වල බිඳ වැටීමට අදාල සියළු පාර්ශවයන් කොමිසම විසින් හඳුනාගෙන නොමැති බවයි. ඒ පිළිබඳව පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන හා වත්මන් නිදහස් ජනතා පෙරමුණේ නියමුවකු වන නීතිය පිළිබඳ මහාචාර්‍ය ජී. එල්. පීරිස්ද වගකිවයුතු බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන් වේ.

ජෙනරාල් දයා රත්නායක, ගුවන් හමුදා ප්‍රධානී රොෂාන් ගුණතිලක සහ නාවුක හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් විසින් ප්‍රකාශ කරන ලද 2022 මාර්තු 31 වෙනි දින හා ඉන් පසුව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තාව හෙවත් සුප්‍රසිද්ධ කරන්නාගොඩ කොමිසමේ නිගමනයන්වූ කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා තම වගකීම පැහැර හැර ඇත යන්න පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳව තවදුරටත් සියුම්ව විග්‍රහ කළ යුතුයි. කමල්ට සහ ශවේන්ද්‍රට එසේ තම වගකීම පැහැර හැරීමට සිදුවූයේ කුමන කරුණු හේතුවෙන්ද යන්න සොයා නොබලා සිදුවූයේ කුමක්ද යන්න හඳුනා ගැනීමට අපහසුයි. ඔවුන් දෙදෙනාම රණවිරුවන් හා ජාතික විරුවන් ලෙස ඉතිහාස පොතට ඇතුලත්ව තිබෙන බැවින් එළෙස එක වරම ඔවුන් දෙදෙනා ද්‍රෝහීන් ගනයට ඇද දැමීම සුළු පටු කාරණයක් නොවේ. එවන් ද්‍රෝහී ක්‍රියාවක් ඔවුන් අතින් සිදුවූයේ නම් ඒ සඳහා ඔවුන් දෙදෙනාගේ පාර්ශවයෙන් යම්කිසි ප්‍රභල හේතුවක් තිබිය යුතුයි.

මේ වනවිට කමල් ගුණරත්න මහ්තාට එදිරිව පිටු 99 ක යුද අපරාධ චෝදනා පත්‍රයක්ද ශවේන්ද්‍ර සිල්වා මහතාට එදිරිව පිටු 137 ක යුද අපරාධ චෝදනා පත්‍රයක්ද ජාත්‍යන්තරයේ පැවතීම හෙවත් මානව අයිතිවාසිකම් කඩකළේය යන චෝදනාවෙන් එතුමන්ලාගේ දෑත් අඹරා තිබීම මෙම තත්ත්වය ඇති වීමට හේතු වන්නේ යැයි උපකල්පනය කළ හැකියි. දඬුවම් වලින් ගැලවීමට අල්ලසක් ලෙස එලෙස තම වගකීම පැහැර හැරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙස ප්‍රභල බාහිර හස්තයන් මගින් ඔවුන්ට අණකර සිටීමේ හැකියාවත් බැහ්‍ර කළ නොහැකියි. පලවාහරින ලද කැබිනට් ඇමති පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංශ මහතා විසින් වරින් වර සඳහන් කර තිබූ ඇමරිකානු තානාපතිතුමිය හා සම්බන්ධ කාරණා හා ගලපා බැලීමේදී ඒ පිළිබඳව සාධාරණ සැකයක් මතුවෙනවා. එසේ වගකීම් පැහැර හැරීම අල්ලසක්නම් කොමිසමෙන් නිර්දේශ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂ ඒකකයක් හරහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා/ හමුදාපතිවරයාගේ 2022 මාර්තු මස 31 දින හා 2022 මැයි මස 09 වන දින ක්‍රියාකලාපය විමර්ශනය කිරීමට ඇති යෝජනාව තව දුරටත් ක්‍රියාත්මක වේ යැයි සිතිය නොහැකියි.

මෙම ඉදිරි පෙළ රණවිරුවන් හට එසේ වගකීම් පැහැර හැරීමේ අල්ලස දීමට සිදුවන්නේ කුමක් නිසාද යන්න සළකා බැලිය යුතුයි. 2015 වසරේ රනිල්, මෛත්‍රී, අනුර ප්‍රමුඛ යහපාලන රජය රණවිරුවන් යුද අපරාධ කරුවන් යැයි සම අනුග්‍රහයෙන් පිළිගත් පසුව රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීම නොව අඩුම වශයෙන් ප්‍රකාශ කිරීමටවත් එනම් ස්වභාවික යුක්තිය ඉල්ලීමටවත් ඉඩ ප්‍රස්ථාවක් රණවිරුවන්ට ලැබුණේ නැහැ. 2017 වසරේදී විද්වත් මඩුල්ලක් විසින් සම්පාදනය කර ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීම සඳහා වාර්තාවක් හෙවත් රණවිරුවන්ගේ විත්තිවාචකය රණවිරුවන් මගින්ම ගෝඨාභය රාජපක්ෂයන්ට සහ දිනේෂ් ගුණවර්ධනයන්ට බාර දුන්නා. එම වාර්තාව සෑදීමට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ සම්බන්ධීකරණයෙන් යුද හා යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර විෂේශඥයින් විසින් 2015 ට පෙර සකසන වාර්තා හතක් පාදක කර ගත්තා. එම වාර්තාවේ සඳහන් නිර්දේශ/යෝජනා ප්‍රකාරව කටයුතු කළේ නම් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට අවකාශය තිබුණා.

අවාසනාවකට මෙන් ගෝඨාභය හෝ දිනේෂ් එම වාර්තා අධ්‍යයනය කිරීමක් කර ඇති බවක් දක්නට තිඋණේ නැහැ. දිගින් දිගටම ඔවුන් එල්බගෙන සිටියේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස් කරගැනීම අවශ්‍ය කාරණයක් නොවන බවයි. එසේ සිතීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබුනේ නීතිය පිළිබඳ මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතා බව 2020 ජනවාරි 11 වන දින පැවැත්වුන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී හෙළිදරව් වුනා. ඒ වනවිට ශවේන්ද්‍ර සිල්වාද දැඩිව විශ්වාසය පළකළේ මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව එන්ගේජ්” කර ගැනීමෙන් මානව හිමිකම් කඩකළ යුද අපරාධ චෝදනාවලට දී ඇති දඬුවමින් ගැලවීමට හැකි වෙන බවයි.

මානව හිමිකම් චෝදනා ලැබුවිට විදේශයකදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඊට මුහුණ දීමේදී ඇතිවන බරපතල තත්ත්වය කෙසේද යන්න ඊට හාත්පසින්ම තත්ත්වයෙන් බාලවූ අපහාස චෝදනාවකට මුහුණදී සිටින ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලන්ඩන් ශාඛාවේ සභාපති ජයරාජ් පළිහවඩනයන්ගේ නඩුවෙන් අවබෝධයක් කමල් සහ ශවේන්ද්‍ර යන මහතුන් ලබා ගන්නට ඇති.

රජය රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස් කර ගැනීම අනවශ්‍ය යැයි පසුවෙන වාතාවරණයක් තුල පැයෙන් පැයේ බ්‍රේකින් නිවුස් ලෙස ඇමරිකානු තානාපතිතුමිය ඇතුලු ඉන්දියානු සහ බටහිර රටවල අනෙකුත් තානාපතිවරුන්ද, නීතිඥ සංගමයද, සම හර පූජක උතුමන්ලාද; නිරායුධ උද්ගෝෂකයින් හට සිත්සේ කටයුතු කිරීමට ඉඩ දෙනු, නැතහොත් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවට හසුවෙනු යන මානසික බාධකයද පැමිණ වීම මත කමල් සහ ශවේන්ද්‍රයන් තමුන්ගේ රාජකාරි වගකීම ඉටුකිරීමට පසුබට වන්නට ඇතැයි කියා සිතිය හැකියි.

යුද අපරාධකරුවන් යැයි චෝදනා ලද ඉච්ඡාභංගත්වයට පත්වූ රණවිරුවන් හට නැවතත් මානව හිමිකම් කඩකරන්නේය යන චෝදනාව එල්ල නොවීමට ගත හැකි ආරක්ෂාකාරී පියවර වන්නේ නිරායුධ උද්ඝෝෂකයින් හට ආයුද සන්නද්ධ භටයින් යොදවා පහර දීමෙන් වැළකී සිටීමයි.

මණ්ඩලයේ නිරීක්ෂණය පරිදි ආණ්ඩු විරෝධී විශාල කැරැල්ලට හේතු වූයේ සමාජය තුළ ආණ්ඩුව විසින් සිදුකරණ ලද දූෂණය හා මහජන මුදල් අවභාවිතය පිළිඳ වූ මහජන මතය හේතුවෙන් සහ ඒ පිළිබඳව ඇතිවූ ප්‍රචාරයෙන් යැයි ඉතා නිවැරදිව සඳහන් කර තිබූ නමුදු කමල් සහ ශවේන්ද්‍රයන් තම වගකීම පැහැර හැරියේ කුමන හේතූන් මතද ආදී වශයෙන් මතයක් ප්‍රකාශ කිරීම කරන්නාගොඩ කොමිසම අතපසු කර ඇත.

එනම් ගෝඨාභය, දිනේෂ්, ජීඑල් ආදී සියළු දේශපාලන නායකත්වයම රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස් කර ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගෙන මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාවේ පිහිට පැතීමේ දීන තත්ත්වයකට රණවිරුවන් පත්කළ බැවින් මෙම තත්ත්වය ඇතිවූවා යැයි සඳහන් කර නොතිබීම කරන්නාගොඩ කොමිසමේ අඩුපාඩුවකි.

ඉතිහාසය නැවත පුණරූපනය වන්නේය යන්න යළි සනාත කරමින් මීට වසර පනස්තුනකට පෙර බොරළුගොඩ සිංහයා ලෙසින් හැඳින්වූ රොබර්ට් ගුණවර්ධනයන් සමාජවාදී පිලෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට පිල් මාරු කළා සේ එතුමාගේ ජේෂ්ඨ පුත් දිනේෂ් ගුණවර්ධනයන්ද තම ස්ථාවරය රණවිරුවන් යුද අපරාධ නොකළේ යැයි පවසන පිලේ සිට රණවිරුවන් යුද අපරාධ කෙළේයැයි පිළිගත් පිළට පිල් මාරුකර ඇත. පසුගිය පිළිප් ගුණවර්ධන ගුණානුස්මරණයේදී ආරාධිත කතිකයා පවසා සිටියේ එදා පිලිප් ගුණවර්ධනයන් සිදුකළේ එම යුගයේ අවශ්‍යතාවයක් බවය. එසේම මෙදා දිනේෂ් ගුණවර්ධනයන් එසේ පිල්මාරුව හෙවත් එක්සත් ජාතික පාක්ෂික රනිල් සමග සම්බන්ධ වීම මෙම යුගයේ අවශ්‍ය තාවයක් බවය. කෙසේ වුවද MMC ගිවිසුමේ සඳහන් භූමිය පිළිබඳ කරුණු යහපත් යැයි ස්ථාවරයක සිට කරුණු දැක්වූ බවක් පෙනෙන්නට තිබූ එතුමා එදා පිලිප්පයන්ගේ පිල්මාරුවෙන් පසුව එළඹුණු 70 පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ඡන්ද 10,000 කින් පිලිප් ගුණවර්ධනයන් පරාජයවුන බව සඳහන් කිරීමෙන් වැලකුණි. එවන් තර්ජනයක් මෙදා දිනේෂ් ගුණවර්ධ්න්යන් හට ඇතිවිය නොහැක්කේ එතුමාට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව පවතින බැවිනි.

අමතර කාරණයක් ලෙස මෙම පිල්මාරු කිරීම් පිළිබඳව සඳහන් කරේ වැටත් නියරත් ගොයම් කානම් කාට කියමිද ඒ අමාරුව යන තත්ත්වයට දේශ හිතෛශී ජාතික සංගම් පත්වී ඇති බැවිනි.මෙම කාරණය මෙසේ පැහැදිලි භාෂාවෙන්ම සඳහන් කිරීමට සිදුවුනේ තත්ත්වයේ බරපතල කම අවබෝධ කර ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකි වුවද දේශපාලකයින් වටේ සිටින ඔවුන්ගේ හෙංචයියන්ගේ” මොළයට නොව හමට මේ කරුණු කාවැදිය යුතු නිසාවෙනි. ඔවුන් තවමත් සිටින්නේ දේශපාලකයින් දේවත්වයෙන් පුදන්නේ යැයි සිතන සමාජයක නම් ඔවුන් පුතාණෝ, පියාණෝ, සිංහයාණෝ ආදීන්ගේ උර මතින් හෝ ලේබලයෙන් බැබලෙන්නට සිතන්නේනම් තව දුරටත් ඔය කිසිදු ණෝවෙක්” වලංගු නොවන බව නුදුරේදීම අවබෝධ වනු ඇත.

මේ තාක් කල් ජාතික සංවිධාන කටයුතු කරේ රණවිරුවන්වද රැකගනිමින් රට රැක ගැනීමට වුවද රට බිලිදෙන අල්ලස් දී යුද අපරාධ දඬුවම් වලින් ගැලවීමට රණවිරුවෙක් කටයුතු කරන්නේනම් ඔවුන්ව ගර්හාවෙන් යුක්තව බැහැර කිරීමටද, එවන් තත්ත්වයකට රණවිරුවන් ඇද දමන දේශපාලකයින්වද පිළිකෙව් කිරීමටද ජාතික සංවිධාන ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව පසුබට නොවන බව සඳහන් කළ යුතුය.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress