ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සැඟවුණු ආර්ථික යුද්ධය
Posted on April 17th, 2023

ධරිණී රාජසිංහම් සේනානායක

නැගී එමින් පවතින සහ වියැකි යමින් පවතින සුපිරි බල කඳවුරු අතර සැඟවුණු ආර්ථික යුද්ධය උත්සන්න වෙමින් ආසියානු 21 වැනි සිය වස ” තුළටද ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත් ජනපදයේ නාවික හමුදාව විසින් කරාට්-මා-රෙක්ස් (CARAT/ MAREX) නාවික යුද අභ්‍යාස මෑතකදී ශ්‍රි ලංකාවට අයත් සමුද්‍ර කලාපය තුළ පැවැත්වීම මගින් මෙන්ම ඒ අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙය වන ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වීම පිළිබඳව එක්සත් ජනපද සහ චීන නිලධාරින් අතර සිදුවන රාජ්‍ය තාන්ත්‍රික අදහස් හුවමාරු කරගැනීම් ” මගින් ද මෙය තවදුරටත් පැහැදිලි වේ. එක් ප්‍රකාශකයෙකු පැවසූ පරිදි ශ්‍රි ලංකාව පෙබරවාරි 4 වැනි දින තමන්ට අහිමි ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ස්වෛරීත්වය ” සැමරීමට සුදානම් වන්නේ මේ සිදුවීම් අතරය.

මා-රෙක්ස් හෙවත් සාගරයේ අධිපති (MA-REX-King of the Ocean?) නම් යුද අභ්‍යාස පැවැත්වීමට පෙර පොසයිඩන් (Poseidon- P-2) නිරීක්ෂක සහ ප්‍රහාරක ගුවන්යානාව සමග පැමිණි එක්සත් ජනපද 7 වන නාවික බලකායේ නැංගුරම් ලෑමද, නාවික හමුදා ජෑස් වාදක කණ්ඩායම විසින් the natives of Paradise Lost” (අහිමි පාරාදීසයේ උරුමකරුවන්) ගායනයද ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජායිෂන්කර් ලෝකයේ ඉතාම කාර්ය බහුල බලශක්ති, වෙළඳ, සහ මුහුදු යට සන්නිවේදන කේබල් පද්ධති මාර්ගයන්ගේ සන්ධිස්ථානයක පිහිටා ඇති මෙම දිවයිනට පැමිණීම ද සිදු විය. යහපත් අසල්වැසියෙකු වන සහ කලාපීය බලවතෙකු වන ඉන්දියාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සිය ප්‍රථම ස්වෛරී ණය පැහැර හැරීමෙන් පසු ඩොලර් බිලියන 4 කට ඇප ලබා දී තිබුණි.

උපාය මාර්ගික වැදගත්කමක් සහිත මෙම දිවයින පශ්චාත් කොවිඩ්-19 යථාර්ථය තුළ තවදුරටත් එම රටවල අවශ්‍යතාවන් සඳහා සේවය නොකරන්නා වූ අන්තර් ජාතික සංවර්ධන සහ මූල්‍ය රටාව විසින් නිර්මාණය කරන ලද යුරෝ බැඳුම්කර ණය උගුලට ගොදුරු වූ ගෝලීය දකුණේ සෙසු රටවල් 54 සඳහා පර්යේෂණාත්මක නිදර්ශකයක් ලෙස සැළකිය හැකිය.

කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගිතාව, ප්‍රායෝගික මානුෂික සහාය සහ ආපදා සහන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්” එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන කරෙට්-මරෙක්ස් නාවික පුහුණු ස්විපාර්ශ්වික අභ්‍යාස මාලාව යටතේ එක්සත් ජනපද නාවික හමුදාවේ 13 වැනි කොම්බැට් ලොජිස්ටික් බැටෑලියනය, 13 වැනි නාවික ගවේෂණ ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මානුෂික ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අභ්‍යාසයක නිරත වෙමින් මෙහෙයුම් මාර්ග අධ්‍යයනයක නිරත වන අයුරු (2023 ජනවාරි 23 වැනි මුල්ලිකුලම්-photo by Sgt. Brendan Custer)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්තමාන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසාන ඉලක්කය ලෙස පෙනී යන්නේ තමන්ට ගෙවාගත නොහැකි තරම් නින්දිත ණය උගුලකට සිර වී බංකොලොත් බව ප්‍රකාශ කිරීමට සිදු වූ රටකට තමන් එම ණය උගුලේ සිර කරන ලද පුද්ගලික මූල්‍ය වෙළෙඳපොළ තුලින්ම ණය ලබාගැනීමට ඉතාමත් අතාර්කික ලෙස සිදු වී තිබීමය. මෙම ණය බැඳුම්කර අලෙවිකරුවන් ණය දෙනු ලබන්නේ මිනීමරු පොලී අනුපාතිකයකටය. එහෙයින් වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතින්නේ වොෂින්ටන් නිවුන් සහෝදරයන් වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුදලේ සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමේ(Club de Paris) ‘ඇප ගණුදෙනු ” වලින් මිදී යුරෝ බැඳුම්කර ණය ලබාදෙන්නන්ගේ ග්‍රහණයෙන් ගැලවීම සඳහා ශ්‍රි ලංකාව කටයුතු කළ යුතුව ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්ගේ අවසන් ප්‍රතිඵලය කුමක් වුව ද සිවිල් සමාජ කණ්ඩායම් වල සංවාදයට ලක්වෙමින් පවතින්නේ ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය ජාවාරකම්කාර සමාගම් වෙතින් දූෂිත දේශපාලකයන් සහ ඔවුන් විසින් පත් කරන ලද මහබැංකු නිලධාරින් විසින් රාජ්‍ය ණය ලබාගැනීම තහනම් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්ථාවන් මොනවාදැයි යන්නය. මක් නිසාද යත් මේ ණය බර අවසානයේදී පැටවෙන්නේ දුප්පත් පුරවැසියන් මත හෙයිනි.

මේ අතර මෙයට සමාන්තරව ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට බලපාන ලද සැබෑ හේතුන් වසං කරමින් ඒ පිළිබඳව ව්‍යාකූලතාවයක් නිර්මාණය කිරීමට ද සාවද්‍ය හේතූන් ඉදිරිපත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන් උත්සාහ දරමින් සිටිති. ව්‍යුහාත්මක සීරුමාරු කිරීම්, ප්‍රතිසංස්කරණ, වෙළඳාම ලිබරල්කරණය, මහජන දේපල පුද්ගලිකකරණය ආදිය සිදු කළ යුතු යැයි දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ මොවුන්ය. පසුගිය අප්‍රේලයේදී ශ්‍රී ලංකාවේ පැන නැගුනු ස්වෛරී ණය අර්බුදයට හේතුව ලෙස ඔවුන් විසින් දක්වන්නේ ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට සහ වෛරයට දිගින් දිගටම ලක් වී ඇති රාජ්‍ය සුබසාධන පිළිවෙත් සහ ආණ්ඩුවල සහනාධාර සංස්කෘතිය ” බවයි.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල ඊර්ෂ්‍යාව: ලංකාවේ සුබ සාධන රාජ්‍යය

ආචාර්ය අමර්ත්යා සෙන්

ලංකාව 1960 සහ 70 දශකයන් තුළ තෙවන ලෝකයේ රටවල සංවර්ධනය පිළිබඳ ආදර්ශමත් නිදසුනක් ලෙස ලෙස නොබෙල් සම්මානලාභි ප්‍රකට ආර්ථික විද්‍යඥයෙකු වන ආචාර්ය අමර්ත්යා සෙන් නිතර පෙන්වා දී තිබේ. ලංකාවේ දළ ජාතික නිෂ්පාදන සහ ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවතියද එහි මානව සහ සමාජ සංවර්ධන දර්ශකයන් දියුණු කාර්මික රටවල මට්ටමට සමාන වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව (ඉන්දියාවේ කේරලය මෙන්ම) ලෝක සංවර්ධනය තුළ විශේෂිත උදාහරණයක්” බවට ඔහු විසින් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය පහසුකම්, උසස් සාක්ෂරතා මට්ටමක් පවතින අතර නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට ලැබෙන අධ්‍යාපන අවස්ථාවන් බොහෝ දුරට සමාන මට්ටමක් කරා ළඟා වී තිබේ. සිංගප්පූරුව විසින් ශ්‍රි ලංකාවේ මට්ටමට ලඟා විය යුතු යැයි එවකට සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ වරෙක ප්‍රකාශ කරන ලද්දේ එනිසාය.

සටහන
කෙසේ වුව ද ශ්‍රි ලංකාවේ ඉහත සෞඛ්‍ය පහසුකම්, සාක්ෂරතාව, අධ්‍යාපන පහසුකම් ආදිය පිළිබඳව සාමාන්‍ය දර්ශක සහ ලංකාවේ ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය අතර විශාල වෙනසක් පවතී. ශ්‍රි ලංකාවේ සුබසාධනවාදි රාජ්‍ය යේ පිරිවැය දරනු ලැබුවේ තේ රබර් වැනි අපනයන වගාවන්හි නිරත කම්කරු ජනතාවන්ගේ අතිරික්ත ශ්‍රමය මත නමුත් සමාජ සුබසාධන කටයුතුවලදී සිංහල ආණ්ඩු විසින් මෙම ජනතාව සහමුලින්ම නොසළකා හරිනු ලැබිණි.
පරිවර්තක

ආචාර්ය සෙන් සිය දීර්ඝ සහ විශිෂ්ට ශාස්ත්‍රීය දායකත්වය තුළ නව ලිබරල් සංවර්ධන අර්චනකාමය වෙත දිගටම අභියෝග කළ අතර සංවර්ධනයේදී ශක්‍යතාවන් පිළිබඳ සියුම් වෙනස්කම් සැලකිල්ලට ගත් ප්‍රවේශයක් ” අනුගමනය කළ යුතු යැයි උපදෙස් දුන්නේය.මිශ්‍ර ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංවර්ධනීය සුභසාධක රාජ්‍යය, සීතල යුද්ධය හා බැඳුණා වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් පැවති දිගු වසර 30ක කාලය තුළ රටේ ආර්ථිකය සාපේක්ෂ වශයෙන් යහපත් ස්ථානයක තබා ගත්තේය. 2009 දී අවසන් වූ විමුක්ති කොටි සමග යුද්ධයෙන් පසු ඉක්මනින් ආපසු පැමිණීමට මෙමගින් හැකි විය.

මේ අනුව 2019 දී ලෝක බැංකුව විසින් කලාපයේ හොඳම මානව සහ සමාජ දර්ශක සහිත දකුණු ආසියාවේ එකම ඉහළ මධ්‍යම ආදායම් රට (Middle Income Country-MIC) ලෙස උපායමාර්ගික වැදගත් කමකින් යුතු මේ දිවයින ලැයිස්තුගත කරන ලදි. කෙසේ වෙතත්, වොෂින්ටන් නිවුන්නු(ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) විසින් සිදු කරන ලද එම MIC ලැයිස්තුගත කිරීම විසින් සිදු වූයේ සහනදායි ණයලබාගැනීමට ලංකාවට තිබූ හැකියාව සහ අයිතිය අහිමි කිරීමය. ඒ හේතුවෙන් 2019 දී අභිරහස් ඉස්ලාමීය රාජ්‍යය ”(IS) නම් සංවිධානය විසින් ලංකාවේ සංචාරක කර්මාන්තය මත යැපෙන ආර්ථිකයට පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කිරීමෙන් පසුව රටට අවශ්‍ය වූ සහනදායී ණය සඳහා රටේ ප්‍රවේශය අක්‍රීය කළේය.
ලෝක බැංකුව විසින් ලංකාව මධ්‍යම අදායම් ලබන රටක් ( MIC) ලෙස ලැයිස්තුගත කර තිබීම නිසා පුද්ගලික වෙලඳපොල බැඳුම්කර වෙළෙන්දන්ගෙන් (ISB) කොල්ලකාරී පොලී අනුපාතවලට ණයට ගැනීමට රටට බල කෙරිණ:මෙහිදී ඇසිය යුතු වැදගත් ම ප්‍රශ්නය මෙයයි. මේ මගින් අධික පොලී සහිත ණය ලංකාව වෙත පොම්ප කරමින් එය එක්සත් ජනපද ඩොලර් ණය උගුලේ සිර කර ගනිමින් ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට එක්සත් ජනපදයට මාර්ගයක් විවර කර ඇත්ද? එසේ නම් එය මේ මොහොත තුළ සිදුවන්නේ ඇයි?

යම් රටක් සතුව භූ මූලෝපායික සම්පත් පැවතීම ශාපයක් ලෙස ඇතැමුන් විසින් හඳුන්වනු ලබති. ශ්‍රී ලංකාව භූ මූලෝපායික සම්පත්වල ආශිර්වාදයක් සහිත සශ්‍රීක හා සාරවත් රටකි. ලංකාවේ සමෘද්ධිය රඳා පවතින්නේ එය වෙත ස්වභාව ධර්මය විසින් තිළිණ කොට ඇති එහි භූමිය සහ සාගරය කලාපය තුළ පවත්නා විශාල සම්පත් හෝ මානව සහ සමාජ ප්‍රාග්ධනය මතයි. කෙසේ වුව ද මෙම දිවයින දැන් එක්සත් ජනපද ඩොලර් ණය උගුලේ සිර වී දුක් විඳියි.

ඒ අනුව, දිවයිනේ ප්‍රථම ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම මෑත කාලීන ගෝලීය සහ දේශීය ආර්ථික ඉතිහාසයේ සාධක සහ සිදුවීම් වලට සෘජුවම සම්බන්ධ වූ බව පැහැදිලිය, මූලික වශයෙන්:

1) 2015 සිට අනුප්‍රාප්තික රජයන් විසින් කොල්ලකාරී හෙජ් අරමුදල්වලින් පුද්ගලික වෙළඳපොල ණය ගැනීම් වැඩි කිරීම සහ

2) පසුගිය වසර හතර තුළ ක්‍රියාත්මක වී ඇති බාහිර ආර්ථික කම්පන මාලාව ඊට බලපෑ ප්‍රධාන හේතුන් දෙක ලෙස දැක්විය හැකිය.

මෙම බාහිර ආර්ථික කම්පනයන් මොනවාද
A) 2019 දී සංචාරකයන් මත යැපෙන ආර්ථිකය විනාශ කළ අද්භූත ISIS ත්‍රස්ත ප්‍රහාරය,
B) ඉන්පසුව වසර දෙකක අනවශ්‍ය, ආර්ථික වශයෙන් විනාශකාරී කොවිඩ්-19 ලොක් ඩවුන් හෙවත් රට වසා දමමින් සිදු කළ ඇඳිරි නීති පැනවීම්,
C) ජාතික අයවැයෙන් සියයට 40 ක් කොවිඩ්-19 වසංගතය” සඳහා ‘එන්නත්’ මිලදී ගැනීම, PCR පරීක්ෂණ, සහ අනෙකුත් සෞඛ්‍ය තාක්‍ෂණය ආදිය සඳහා සඳහා වියදම් කිරීම.
D) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසංගත ප්‍රතිචාර සඳහා ඩොලර් බිලියන ගණන් ණය ලබා ගැනීම
F) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බාහිර බලවේගයන්ගේ බලපෑම මත 2022 අප්‍රේල් මාසයේදී රටට තව දුරටත් ණය සහ වාරික ගෙවිය නොහැකි බවට ප්‍රකාශයක් නිකුත් කිරීම,
G) 2022 ජූනි-ජූලි මාසවලදී එක්සත් ජනපද නාවික හමුදාව විසින් දිවයින තුළ හා ඊට නුදුරු මුහුදේ දියත් කරන ලද ‘සී විෂන්’නාවික මෙහෙයුම් මගින් ලංකාව වෙත තෙල් හා ගෑස් සැපයීම අවහිර කිරීම මගින් ආර්ථිකය අඩාල කිරීම

මෙම සියලු බාහිර ‘සිදුවීම්’ පසුගිය වසර 4 තුළ ආර්ථිකය විනාශ කළේ රට යුරෝබොන්ඩ් ණය උගුලේ සිර කරමිනි.

කෙසේ වුව ද විවිධ ආර්ථික විශේෂඥයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයන් ”විසින් මෙම තත්ත්වය වසං කරමින් වත්මන් ආර්ථික අර්බුදයට හේතු අතීතයට ප්‍රක්ෂේපණය කරමින් ශ්‍රී ලංකාවේ වර්තමාන ණය අර්බුදයේ ප්‍රධාන වරදකරුවා ලෙස සුබසාධන රාජ්‍යය සහ එහි මිශ්‍ර ආර්ථික සංවර්ධන ආකෘතිය වෙත චෝදනා කොට ඇත. ඔවුන් පවසා සිටින්නේ නව ලිබරල්වාදී ‘ආර්ථික ප්‍රතිසංස්කරණ’, වෙළඳ ලිබරල්කරණය සහ ව්‍යුහාත්මක ගැලපීම් ප්‍රමාණවත් පරිදි සිදු නොවීම, ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතින දූෂිත රාජ්‍ය නිලධාරි තන්ත‍්‍රය ආදි හේතුන් ණය ගෙවීමට නොහැකි තත්ත්වය ඇතිවීමට බලපා ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජීවා ඇමෙරිකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වොෂින්ටන් මූලස්ථානයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, මහබැංකු පාලක ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මෙම සේයාරූපයේ දැක්වේ

නමුත් සමහර රාජ්‍ය අංශවල නිලධාරින්ගේ දූෂණ මර්දනය කිරීමේ විසඳුම ලෙස දශක ගණනාවක් පුරා තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ඊර්ෂ්‍යාවට හේතු වූ සුබසාධකවාදි රාජ්‍යයේ යටිතල ව්‍යුහයන් සහ සේවාවන් කඩා බිඳ දැමීමට යෝජනා කිරීම කොරහත් සමග දරුවා විසිකිරීමට සමානය. කෙසේ වුව ද 2015 දී මහ බැංකු බැඳුම්කර වංචාව මගින් වාසි ලැබූ දැනට විපක්ෂයේ සමගි ජනබලවේගයේ (SJB) ආර්ථික සිහින කණ්ඩායම වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂිම් සහ එරාන් වික්‍රමරත්න ආදින් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආචාර්ය ෂාර්මිනි කුරේ සහ ශාන්ත දේවරාජා වැනි අය උපුටා දක්වමින් සිදු කිරීමට යෝජනා කරන්නේ ද මෙයමය.

ආර්ථික ප්‍රතිසංස්කරණ, වෙළඳ ලිබරල්කරණය සහ ව්‍යුහාත්මක ගැලපීම් ” ආදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් සඳහා භාවිතා වන අලංකාර වචන බවට පත්ව ඇති අතර එම කප්පාදු පියවර විසින් ණය උගුල්වල සිරවුණු රටවල ආර්ථිකය කඩා බිඳ දමමින්, සුබසාධන රාජ්‍යය සහ ඒ ආශ්‍රිත සේවාවන් පෞද්ගලීකරණය කිරීමට බල කරනු ලබයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අතර ජාත්‍යන්තර ස්වෛරී ණය පියවීම සඳහා ප්‍රවාහනය, ටෙලිකොම් යටිතල ව්‍යුහයන් සහ ලංකා විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන සහ සේවාවන් තුට්ටු දෙකට විකිණීම ද යෝජනා කර ඇත. ඒ අතරම ඔවුන් විසින් පෙර දමන දේශගුණික විපර්යාස විනාශයන් පිළිබඳ ආඛ්‍යානයට අනුව හරිත බලශක්ති භාවිතය” විසින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව මුළුමණින්ම අහොසි කර දමනු ඇත.

මෙම උපදේශකයන් විසින් නිතර ජප කරනු ලබන මන්ත්‍රයක් නම් පුද්ගලික අංශය වනාහි ආර්ථික සංවර්ධනයේ එන්ජිම” සහ කාර්මිකකරණයේ නියමුවා ”යන්නය. කෙසේ නමුත් මෙම පුද්ගලික අංශය ඔවුන් යටතේ පවත්නා ග්‍රැෆයිට්, සර්කොන්, ටයිටේනියම්, තෝරියම් සහ පොස්පේට් වැනි ශ්‍රී ලංකාවේ වටිනා ඛනිජ සම්පත් කර්මාන්ත නවීකරණය සඳහා කිසිවක් කර නැත. විශේෂයෙන් ම දැනට දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ධීවර සම්පත් බහුතරයක් අත්පත් කරගෙන සිටින පුද්ගලික ධීවර සමාගම් තාක්ෂණිකකරණය හෝ වටිනාකම් එක්කිරීම මගින් ධීවර අපනයන සහ වෙළඳපොළ විවිධාංගිකරණය සඳහා කිසිවක් කිරීමට අසමත්ව ඇත. නමුත් අනෙක් අතට පුද්ගලික අංශය සාවද්‍ය සංඛ්‍යා ලේඛන, මිල ගණන් සහ ගිණුම් ඉදිරිපත් කරමින් ප්‍රාග්ධනය විදේශවලට ගලායාමට සැලැස්වීම මගින් වර්තමාන ඩොලර් අර්බුදය උත්සන්න කිරීමට දායක වී තිබේ. ඒ අනුව බලන කල පෙනී යන්නේ පුද්ගලික අංශය විසින් දූෂණය අඩු කරනු ඇතැයි යන්නට කිසිදු සහතිකයක් දිය නොහැකි බවයි.

ඇත්ත වශයෙන්ම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් වර්ධනය පිළිබඳ ද්විකෝටිකය අවසාන විග්‍රහයේ දී සැබෑ ලෙසම අවධානය යොමු විය යුතු කරුණුවලින් අවධානය වෙනතකට යොමු කිරීමකි. මක් නිසාද යත් මේ අංශ දෙකටම කාර්මිකකරණය සිදු කිරීමේ හෝ වැලැක්වීමේ හැකියාවන්ද වටිනා ජීවි සහ අජිවි සම්පත්වලින් ප්‍රයෝජනය ගැනීමේ හැකියාවන් ද පවතින බැවිනි. ලංකවේ ණය අර්බුදයට පුද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකේම දූෂණ හේතු වී තිබේ. නවීකරණය සහ සංවර්ධන කටයුතු චීනයේදී රාජ්‍යයේ මෙහෙයවීමෙන් සිදුවන අතර බටහිර දී පුද්ගලික අංශයේ මෙහෙයවීමෙන් සිදු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සංවර්ධන ආකෘතින්ගේ භූමිකාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන සහ එක්සත් ජනපද නිලධාරීන් අතර මෑතකාලීන මත ගැටුම් විසින් යුරෝබොන්ඩ් ණය දෙන්නන් විසින් අවුලුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වෛරී ණය පැහැර හැරීම පිටුපස ඇති භූ දේශපාලනික ගැටුම හෙළි කර ඇත.
‘අහිමි වූ නිදහසේ’ 75 වසර සැමරීම සඳහා පෙබරවාරි 4 වැනිදාට යෙදෙන උත්සවයට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීන් චීනයට දෝෂාරෝපණය කළහ.

වික්ටෝරියා නූලන්ඩ් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී

කොළඹට පැමිණ සිටි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වන වික්ටෝරියා නූලන්ඩ් පෙබරවාරි 1 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වීම පිළිබඳ චීනයට දෝෂාරෝපණය කරමින් මෙසේ පැවසුවාය.චීනය විසින් මේ දක්වා ඉදිරිපත් කර ඇති දේ ප්‍රමාණවත් නැත. ණය සහන සැලසීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට ගැලපෙන විශ්වාස කළ හැකි සහ විශේෂිත සහතික කිරීමක් දැකීමට අපට අවශ්‍ය වී තිබේ.”
මෙයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා නාඕ නින්ග් විසින් චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින සමීප සම්බන්ධතාවන් වෙත ඇඟිල්ල දික් කිරීමට වඩා එක්සත් ජනපදය විසින් කළ යුතුව ඇත්තේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති වර්තමාන දුෂ්කර තත්ත්වයෙන් මිදීමට කිසියම් අවංක සැබෑ උත්සාහයක් දැරීමය.” යනුවෙන් එවැනිම දැඩි ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු එක්සත් ජනපදය විසින් චීනයේ ගෝලීය ආර්ථික සම්බන්ධීකරණය සඳහා දියත් කර ඇති සැපයුම් මාර්ග සමාරම්භක ව්‍යාපෘතිය (Belt and Road Initiative- BRI) කඩාකප්පල් කිරීම සඳහා දියත් කර ඇති ආර්ථික යුද්ධයේදී භාවිතා කෙරෙන බළල් අණ්ඩක්ය යන කරුණ නූලන්ඩ්ගේ ප්‍රකාශය විසින් සඟවා නැත. මේ අතර ශීඝ්‍රයෙන් යල් පනිමින් පවතින බ්‍රෙට්න්වුඩ් නිවුන්නුන්ගේ (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව) නීති වලට මෙන්ම ඔවුන්ගේ සහ ආසියානු ශත වර්ෂයේ ” ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්වලටද තමන් යටත් වීමට සුදානම් නැති බවට චීනය විසින් සංඥා නිකුත් කර තිබේ. ඒ වෙනුවට චීනය විසින් ණය වාරික සහ පොලී අයකිරීම වසර දෙකකට අත්හිටවීමේ සහනයක් ලංකාවට ලබා දෙමින් ශ්‍රි ලංකාව සමග වෙනම ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීමට සුදානම් බව ප්‍රකාශ කර තිබේ. ඒ අතරම චීන බලධාරිහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වෙනම ලිපියක් යවමින් ඒ වෙත සිය සහයෝගය ප්‍රකාශ කර ඇත.

චීන සහ එක්සත් ජනපද ගැටුම විසින් දැන් සංඛ්‍යාමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති ශ්‍රි ලංකාවේ ප්‍රතිව්‍යුහගත කළ යුතු බාහිර හා අභ්‍යන්තර මෙන්ම ඩොලර් සහ ඩොලර් නොවන ණය ප්‍රමාණය පිළිබඳ දත්ත හා සම්බන්ධ දැවැන්ත ගැටලුව වෙතින් අවධානය වෙනතකට යොමු කර තිබේ. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක ණය ප්‍රතිව්‍යුහගත කිරීම තරමක් සෘජු ගණනය කිරීමක් විය යුතු වුවද, එය අනන්ත ප්‍රතිගාමීත්වයේ කළු කුහරයක් සහිත සැබෑ ‘රොකට් විද්‍යාවක්’ බවට පත් කර ඇත.

ඉන්දීය විදේශ ඇමැති ජායි ෂංනර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්වෛරී ණය ‘ඇප ලබා දීමේ කටයුතු’ අනවශ්‍ය ලෙස සංකීර්ණ, තාක්ෂණික සහ තේරුම්ගැනීමට අපහසු භාෂාවකින් පිරී ඇති අතර එය විසින් හෙළිදරවු කරන දේවල්වලට වඩා බොහෝ දේ සඟවා ඇති බවක් පෙන්නුම් කරයි. ඒ මගින් පුද්ගලික මූල්‍ය වෙළඳපොල සමග සිදුවන ජාත්‍යන්තර බැඳුම්කර ගනුදෙනුවල (ISB) පාරාන්ධ සහ රහසිගත භාවය වසංකර තිබේ. එමෙන්ම එය විසින් යටත්විජිතවාදින්ගේ නිල නොවන සංවිධානයක් වන ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයේ (Organization for Economic Co-operation and Development – OECD) පැරිස් කණ්ඩායමේද,වොෂින්ටන් සම්මුතියේද (Washington Consensus)ඔවුන්ගේ නීතිමය සහ ගිණුම්කරණ උපදේශකයන් වන ලසාර්ඩ් ක්ලිෆෝර්ඩ් සහ චාන්ස් සමාගමේ ද වෙනත් විවිධ උපදේශක මණ්ඩලවලද සෑබෑ අවශ්‍යතාවන් ද සඟවා තිබේ.

භූ දේශපාලනික ආතතීන්, ණය දත්ත ක්‍රීඩාව සහ ‘අන්තර් ණය ගැලපුම් ප්‍රතිකාරය’ පිළිබඳ කතා මධ්‍යයේ, බැඳුම්කර හිමියන්ගේ අනන්‍යතාවයන්, ඔවුන් සතුව තිබූ අරමුදල් ප්‍රමාණය, ඒවා වියදම් කළ ආකාරය, මෙන්ම, බාහිර හේතු සහ ශ්‍රී ලංකාවට (සහ ඇත්ත වශයෙන්ම අනෙකුත් ගෝලීය දකුණු රටවල් 54කට බලපාන ණය අර්බුදය) වැදගත් විසඳුම් වැනි ප්‍රධාන තොරතුරු සඟවා තිබේ.දැනට නිකුත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණයේ (Debt Sustainability Analysis-DSA)කොටස් තුළ පැහැදිලිවම යථාර්ථවාදී නොවන උපකල්පන සහ ප්‍රක්ෂේපණයන් ඉදිරිපත් කර ඇති අතර ඒවා ද විවාදාත්මකය.

ශාස්ත්‍රාලීය වෘත්තිකයන් 182 කගේ ප්‍රකාශනය : අඥානයෙනි, මේ වනාහි භූ දේශපාලනයයි!

උපාය මාර්ගික වැදගත්කමකින් යුතු වූ ඉන්දියන් සාගර දිවයින තුළ පසුගිය වසරේදී මතු වූ ස්වෛරී ණය ගෙවීමේ අර්බුදය පිළිබඳව එක්සත් ජනපදය සහ චීනය අතර සිදුවන ප්‍රචාරක සහ දෝෂාරෝපණය පිළිබඳ ක්‍රීඩාවන් අතර මැද ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් සහ ශාස්ත්‍රාලීය වෘත්තිකයන් 182ක් විසින් අත්සන් තබන ලද ලියවිල්ලක් මගින් තමන් විසින් වග නොකිව යුතු ණය උගුලකට ගොදුරු වූ රටවල ජනතාවන් සිය සහයෝගය පළ කර තිබේ. භූ දේශපාලනික අවශ්‍යතාවන් මත ක්‍රියාත්මක වීම වෙනුවට ශ්‍රී ලංකාවේ සියලු ණය හිමියන් විසින් මෙම ණය අර්බුදයෙන් ගොඩ යාමට ප්‍රමාණවත්වන මට්ටමට ණය අවලංගු කරන බවට සහතික විය යුතුය.” යනුවෙන් එම ප්‍රකාශනයේ සඳහන් විය.

යානිස් වරූෆාකිස්

ජවහලාල් නේරු විශ්ව විද්‍යාලයේ ජයති ගෝෂ්, හාවඩ්හි ඩැනි රොඩික්, හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස්, 21 වන සියවසේ ප්‍රාග්ධනය නම් කෘතියේ කතුවරයා වන තෝමස් පිකෙටි වැනි විවිධ මතවාදී ධාරාවන් තුළ සිටින සම්භාව්‍ය බුද්ධිමතුන් සමූහය විසින් අත්සන් තබන ලද මේ ප්‍රකාශය මගින් පෙන්වා දී ඇත්තේ පුද්ගලික මූල්‍ය වෙළඳපළ හෝ පැරිස් කණ්ඩායමට අයත් යුරෝබොන්ඩ් ණය අලෙවි කරුවන් ශ්‍රි ලංකාවේ සමස්ත ඩොලර් ණයවලින් 40%කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන බවය. ගෝලීය දකුණේ රටවලට මෙම ණය අලෙවිකරුවන් විසින් ණය ලබාදෙන්නේ 50%කට වැඩි ලේ පිපාසිත පොලී අනුපාතයකටය. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ණය ආපසු අයකරගැනීමේ විශාල අවදානමක් මෙම රටවලට ණය දීමේදී මතුවන බවයි.මෙම ණය ලබා දෙන හෙජ් අරමුදල් විශාල ලාභයක් උපයන බැවින් ඊනියා මායිම් වෙළඳපළවල් ”තුළ අවදානමක් මතු වූ විට ණය දෙන්නා ඔවුන්ට ඇප දෙනු ඇතැයි අපේක්ෂා කරනවාට වඩා ඒ්වා ඔවුන් විසින්ම දරාගත යුතු නොවේද?

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමිකරුවා වන අතර එය සතු ණය ප්‍රමාණය ශ්‍රි ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් 15%ක් පමණ වේ. නමුත් ශ්‍රි ලංකාවේ ඉතිහාසයේ පළමු වරට ණය ගෙවාගත නොහැකිව බංකොළොත් තත්ත්වයක් පසුගිය වසරේ අප්‍රේලයේදී ප්‍රකාශයට පත් කිරීමට සිදු වූයේ චීන ණය සම්බන්ධයෙන් නොව යුරෝබොන්ඩ් ණය සම්බන්ධවය. බංකොළොත් බව ප්‍රකාශ කිරීම සිදු වූයේ බාහිර බලපෑම් මත කෘත්‍රිම සහ අතාත්ත්වික තත්ත්වයන් යටතේය. මධ්‍යම ඇමෙරිකානු කුඩා දූපතක සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් නම් ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති ගුප්ත මූල්‍ය ආයතනයක් වන හැමිල්ටන් රිසව් බැංකුව විසින් ශ්‍රි ලංකාවට එරෙහි නඩුවක් නිව්යෝර්ක් අධිකරණයේ පවරා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊනියා ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීමට යැයි කියමින් ලෝකය පුරා රටවල ආර්ථික ක්‍රියාකාරිත්වය අඩාල කරමින් ඒවා වසා දමමින් ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට බල කරන ලද කාලයේදී එක්සත් ජනපද රජය විසින් බ්ලැක්රෝක් සමාගමට ඩොලර් බිලියන සියගණනක් වටිනා දැවැන්ත කොවිඩ්-19 ඇප මුදලක් ලබාදුන්නේ ලෝකය පුරා ලොක්ඩවුන් මගින් ආර්ථිකය කඩා වැටෙන රටවල වත්කම් කුණුකොල්ලයට මිලදී ගැනීම සඳහාය. බ්ලැක්රොක් ඉන්දියාවේ අදානි සමාගම් සමූහයේ හවුල්කරුවෙකු වන අතර ශ්‍රි ලංකාවේ ස්වෛරී ණයවලින් (ISB) විශාලතම ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ බ්ලැක්රොක් සමාගමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එහි කම්පන ප්‍රතිකාරයන්ට එරෙහි විකල්ප

මෙම සන්දර්භය තුළ චීනය සිය ඔට්ටුව රැකගෙන ,කල් මැරීමේ ක්‍රීඩාවක නිරතවන අතරම BRICS රටවල් සමඟ වැඩ කරමින්, ඉතා විෂම,පාරදෘෂ්‍යභාවයක් රහිත සහ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සහිත වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන බව පෙනේ.

ඉහළ පොලී අනුපාතයන් පනවමින් එක්සත් ජනපද ඩොලරය ආයුධයක් ලෙස භාවිතා කිරීම උත්සන්න කිරීම, එක්සත් ජනපදය සහ යුරෝපය විසින් රුසියාවට, ඉරානයට සහ වෙනිසියුලාව වැනි රටවලට සම්බාධක පැනවීම වැනි තත්ත්වයන් යටතේ ප්‍රාග්ධන වෙලඳපොලෙන් ණය ගැනීම සඳහා ආපසු යොමු වීම වෙනුවට ඊට විකල්ප ලෙස ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී එක්සත් ජනපද ඩොලර් භාවිතය නැවැත්වීම, මුදල් හුවමාරු කිරීම (currency swaps) සහ විවිධ වටිනාකම් සහිත මුදල් වර්ග කීපයක්(basket of currencies) භාවිතා කරමින් වෙළඳාම් කිරීම , නව කලාපීය සංවර්ධන මූල්‍ය ව්‍යුහයට සම්බන්ධ වීම සහ නව සංවර්ධන බැංකුවෙන් (NDB) හෝ ආසියානු යටිතල ආයෝජන බැංකුවෙන් (Asia Infrastructure Investment Bank-AIIB) ණයට ගැනීම ආදි ක්‍රියාමාර්ග වෙත යොමු විය හැකිය.

ශ්‍රී ලංකාවේ ආනයන අපනයනවියදම් පිළිබඳ දත්ත පැහැදිලි වූ පසුව එහි විශාලතම ආනයන වියදම වන තෙල් සහ ගෑස් ආනයනයේදී ඉන්දියාව දැනට සිදු කරමින් සිටින්නාක් මෙන් වට්ටම් සහිත මිලකට රුසියාවෙන් ඒවා මිලදී ගැනීම, ඒ සඳහා රූබල්-රුපියල් හුවමාරුව මගින් ගෙවීම හෝ ශ්‍රී ලංකාවේ හරිත රත්රන් ලෙස සැලකෙන තේ සහ රුසියාවේ කළු රත්රන් ලෙස සැලකෙන තෙල් හුවමාරු ගිවිසුම් ඇතිකරගැනීම නිසැක ලෙසම ශ්‍රී ලංකාවට යුරොබොන්ඩ් සහ ඩොලර් ණය උගුලෙන් ගැලවීමට ආධාර වනු ඇත.

ඊට සමගාමීව, අපනයන නිෂ්පාදන සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම, තාක්‍ෂණය සංවර්ධනය සහ කාර්මිකකරණය මඟින් ශ්‍රී ලංකාවේ වටිනා දුර්ලභ ඛනිජ සම්පත් (Rare Earth Minerals-REM) සහ විස්තීර්ණ ජීව හා අජීවී සමුද්‍ර සම්පත් ප්‍රයෝජනයට ගැනීම ආදිය මගින් ආර්ථිකය වර්ධනය කිරීමටද එක්සත් ජනපද ණය උගුලෙන් ගැලවීමට ද හැකි වේ. දිවයිනේ පොහොසත් සහ පුළුල් සමුද්‍රීය සුවිශේෂී ආර්ථික කලාපයේ ධීවර කර්මාන්තය ඉතා ප්‍රයෝජනවත් සහ පහසුවෙන් ප්‍රතිඵල ලැබිය හැකි ක්ෂේත්‍රයකි..

අවසාන වශයෙන් ශ්‍රි ලංකාවට අයත් පුළුල් සමුද්‍රීය සුවිශේෂී ආර්ථික කලාපය පත්ලේ එලා ඇති සන්නිවේදන කේබල් සමාගම්වලින් සහ ඔවුන්ගේ විශාල දත්ත ගණුදෙනුකරුවන් වන ගූගල්, ඇපල්, ෆේස්බුක්,ඇමසෝන් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වලින් බදු මුදල් අයකිරීම මගින් ශ්‍රි ලංකාවට යුරෝබොන්ඩ් ණය හිමියන්ගෙන් සහ ඔවුන්ගේ ණය එකතුකරන්නන්ගෙන් ගැලවීමේ පහසු මාර්ගයක් උදාකර දෙනු ඇත.

අවසාන විග්‍රහයේ දී යුරෝබොන්ඩ් ණය උගුලට විසඳුම ප්‍රාථමික සහ සරල එකකි. ඒ සඳහා රොකට් විද්‍යාව හැදෑරිය යුතු නොවේ. නමුත් ඒ සඳහා අපි මනස හිරිවට්ටන සංඛ්‍යාමය ක්‍රීඩාවන්,සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දිගු කරන ලද අරමුදල් පහසුකම්”, අන්තර් ණයවර ගිවිසුම් ”, හිඟ මුදල්වලට ණය දීම ” ප්‍රලාපයන්ගෙන් මිදී ඉවතට ගමන් කළ යුතුව තිබේ. මේ සියල්ලටම වඩා අපි සාගතය, කොවිඩ් හෝ දේශගුණික ව්‍යසනයන් පිළිබඳ ආඛ්‍යායනයන් හමුවේ කලබලයට පත් නොවී සන්සුන්ව සිටිය යුතු වෙමු. ඒ සඳහා නයෝමි ක්ලයින්ගේ ආපදා ධනවාදයේ නැගීම ” නම් පොත කියවීම සහායක් වනු ඇත.

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

පරිවර්තනය: අජිත් සී හේරත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress