එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරනවා.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 4th, 2023

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින් සංචාරක පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
 අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සීෂෙල්ස් මහ කොමසාරිස් ලලතියානා ඇකුචේ (Lalatiana Accouche) මහත්මිය  2023.07.03 දින  අරලියගහ මන්දිරයේදී  හමුවූ අවස්ථාවේදීය.
මහනුවර පැවති විචිත්‍රවත් උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඇල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව තමන් මවිත වූ බව Accouche මහත්මිය මෙහිදී පැවසුවාය. විනිසුරුවන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි ශ්‍රී ලාංකික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් සීෂෙල්ස් හි සේවය කරන අතර ඔවුන්ගේ සේවය තම රට විසින් බෙහෙවින් අගය කරන බව ඇය පැවසුවාය. හෙද සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී  මහ කොමසාරිස්වරිගෙන් ඉල්ලා සිටියේය.
සීෂෙල්ස්  සිට කොළඹ බලා පියාසර කරන ‘එයාර් සීෂෙල්ස්’ ගුවන් යානය, BIA වෙත පැමිණි පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබූ අතර,  උඩරට සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සහ අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක් ද පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ අද්විතීය ආගන්තුක සත්කාරය ඉස්මතු කරන වර්ණවත් නර්තන ප්‍රසංගයකින් අමුත්තන් පිළිගනු ලැබීය.
මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ  සතිපතා ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වන අතර එය සංචාරක ව්‍යාපාරයට සහ දෙරට  අතර සම්බන්ධතාවයට මහත් රුකුලක් වනු ඇති බවයි.
මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාව  සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස එහි පිහිටීම පිළිබඳව වැඩි අවබෝධයක් ඇති කිරීමටත්,  සංචාරක පැමිණීම් උත්පාදනය කිරීමටත්, ඔවුන්ගේ ද්විපාර්ශ්වික සහ ව්‍යාපාරික හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බවද මහ කොමසාරිස්වරිය පැවසුවාය.

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress