පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරනවා- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 5th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වරිපනම් ඇතුළු අනෙකුත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සැලසීම හදුන්වා දීමට 2023.07.05 මහරගම නගර සභාවේදී පැවැති වැඩසටහනට එක්වෙමිනි.  
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
අද සිට වරිපනම් ගෙවීම ඔන් ලයින් තාක්ෂණය භාවිතයෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම, ඉදිරියේදී මහජනතාවට අවශ්‍ය සේවාවන්,  පහසුවෙන් හා ඵලදායි ලෙස ලබා දීමට අනෙකුත් මහජන සේවාවන් ද මේ ආකාරයෙන් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම වැදගත්.
මහරගම ආශ්‍රීතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අපේක්ෂා රෝහල,  ජයවර්ධනපුර රෝහල වැනි සුවිශේෂී ආයතන පිහිටා තිබෙනවා. කුඩා හා මහා පරිමාණ ඇඟලුම් ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විරල, තියුණු වටිනා වෙළඳ ව්‍යාපාරවල තෝතැන්නක්. අපි ඒවා ආරක්ෂා කරමින්, එම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය පරිවර්තනය කළ යුතුයි. නගර සභාවක කර්තව්‍ය එයයි.
අපේ බල ප්‍රදේශයේ භූමිභාගය වැඩි වෙන්නෑ. භූමිය ක්‍රමවත්ව සැලසුම් කොට උපරිම දියුණුව ගෙනයාමට හැකි විය යුතුයි. ඒ තුළින් මහරගම කෙරෙහි විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික ආකර්ෂණය ඇති වෙනවා. විද්‍යාකර, ජනාධිපති, ධර්මපාල, බුවනෙකබා වගේ පාසල්වලට මහරගමින් පිටපළාත්වල ළමයිනුත් ඉගෙන ගන්න එනවා. බොහෝවිට ඒ ළමයි පසුව මහරගම බල ප්‍රදේශයේම ජීවිකාව ආරම්භ කරනවා. ඒ තුළින් පෝෂණය වෙන්නේ අපේ නගරයයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව තමයි මහරගමට ආපු පළවෙනි බැංකුව. බැංකු ක්‍රමය දියුණු වෙනවා. අද වෙනකොට තවත් රාජ්‍ය පුද්ගලික බැංකු රාශියක් මේ නගරයට පමණක් නොවෙයි. දෙවෙනි උප නගරය වන කොට්ටාව නගරයටත් පැමිණ තිබෙනවා.
කුඩා වෙළඳපොළක් ලෙස වසර 75ක් තිබුණ මහරගම මංසන්ධිය  නගරයක් ලෙස දියුණු කළේ අපේ වෙළෙඳ ව්‍යාපාරික පැලැන්තිය. ඔවුන්ගේ  අදහස්, පෝෂණය, පුද්ගලික ආයෝජන, තමයි මහරගම දියුණු කිරිමේ ප්‍රධානතම ආයෝජනය.
පළාත් සභා විසුරුවා හැරලා. පළාත් පාලන ආයතන ඡන්දය නාමයෝජනා ගත්තත් තවම ඡන්ද තියලා නැහැ. ඒ නිසයි පළාත් පාලන ආයතන ප්‍රාදේශිය ලේකම් කාර්යාල සමඟ සභාව ඒකාබද්ධව සංවර්ධනය මෙහෙයවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ව තිබෙන්නේ. ඒ අනුව  අපි රැස්වී සාකච්ඡා කොට තීරණ ගනිමින් ඉදිරියට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන ආයතනවල තවමත් ස්ථීර නොවූ සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ක්‍රමයෙන් ස්ථිර කරන බව මම මේ අවස්ථාවේ විශේෂයෙන් ප්‍රකාශ කරනවා.
දැන් අපේ ආර්ථිකය යන්ත්‍රය ක්‍රමවත් වෙමින් තිබෙනවා. අපිට නැවත හිස ඔසවන්න පුළුවන් බව ලෝකයේ අනෙකුත් රටවල් පිළිගෙන තිබෙනවා. ඔවුන් ඒ සදහා අපට සහයෝගය දක්වනවා.
මෙම අවස්ථාවට ෙනිකපොත චන්ද්‍රජෝති හිමි ඇතුළු සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන  සලෝචන ගමගේ, උපාලි කොඩිකාර, මහරගම නගර සභා ලේකම් අරුන් ඩී. ඩයස් ඇතුළු පිරිස එක් වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress