කාදිනල්තුමෙකුගේ විප්ලවය (Revolt of a Cardinal)
Posted on July 7th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

සුද්දන් ලංකාවට කල විනාශය, රට සූරාකෑම ගැන මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් වතුකම්කරුවන් ලංකාවට ගෙනත් අවුරුදු 200 පිරීමේ සැමරීමකදී කල කතාව දැක මෙම සටහන ලිවීමට සිතුණි (Sri Lanka SEDEC, Lifetraveler.lk). ක්‍රිස්තියානි, මාක්ස්වාදී රාවයේ වික්ටර් අයිවන්ට, පන්සලේ විප්ලවය යන නමින් පොතක් ලියා (2006) සංඝ සමාජයට උපදෙස් දෙන්නට පුළුවන් නම්, හුදෙක් සිංහල පාඨකයින්ගේ දැනගැනීම සඳහාම, කාදිනල්තුමාගේ කතාවට ඔහු සඳහන් නොකල ඉතිහාසය එකතු කිරීම යෝග්‍යයයි මට සිතේ.

 සුද්දන් ලංකාවට මුලින්ම ආවේ පරංගින් ලෙස 1505 දීය. 1551 දී පෘතුගීසීන් කෝට්ටේ රාජධානීයේ ක්‍රිස්තියානි රජු ලෙස දොන් ජුවන් ධර්මපාලව පත්කර ගත්තේය. ඉන්පසු මුලින්ම කලේ කෝට්ටේ රජමහාවිහාර ඉඩමේ පල්ලියක් ඉදිකිරීමය. අදටත් මේ පල්ලිය වැජඹේ. දළදා මාලිගා බිමේ, අනුරාධපුරේ යනාදි වශයෙන් සෑම බෞද්ධ බිමකම වාගේ මෙසේ පල්ලි ඉදිකර ඇත. සමහර වෙරළබඩ පල්ලි හැදුවේ පන්සල් සමතලා කර ලබාගත් ගඩොල්/ගල් යොදා ගෙනය.

පෘතුගීසින් පෘතුගාලයෙන් පිටත්වූයේ එක අතකින් කඩුව හා අනික් අතින් බයිබලයද  රැගෙන යයි කියවේ. මෙහිදී පෘතුගීසීන් හා ස්පාඤ්ඤය අතර ගැටුම් ඇතිවීම වැලැක්වීමට රෝමයේ පෝප්තුමා විසින්, නූතන බ්‍රැසීල් රට ලඟින් ගැසු ඉරකින් ලෝකය මේ දෙපාර්ශයට බෙදා දෙන ලදී. (Tordesillas- A town of Spain, province of Valladolid. Here was signed, in 1494, a treaty modifying the boundary-line which Pope Alexander VI. had assigned, in 1493, in his division of the New World between Spain and Portugal). කොලම්බස් ඇමෙරිකාවටත්, වස්කෝ ද ගාමා ඉන්දියාවටත් ආවේ මේ හේතුවෙනි

යුරෝපයේ පාලක, ධනවත් වංශවත් ජනයාට ඉන්දියාවෙන් ගොඩබිම ඔස්සේ ගෙනා කුළුබඩු හා අනිකුත් සැප භාන්ඩ, මුස්ලිම් ආධිපත්‍යය (ඔටෝමන් අධිරාජ්‍යය) ඉදිරියේ අවහිරවීම නිසා  ඒ වෙනුවට වෙනත් මුහුදු මාර්ගයක් සෙවීම අත්‍යාවශ්‍යවිය. පොදු ජනයා මේ දුෂ්කර අවදානම් සාගර ගමන් සඳහා පාවිච්චි කලේ ක්‍රිස්තියානි ධර්මය මඟින් මිථ්‍යා දෘෂ්ටිකයින් (ම්ලේච්චයින්) මුදවා ගැනීමේ දේවකාරිය අල්ලසක් වශයෙන් භාවිතා කරමින්ය. ඉතියෝපියා ප්‍රදේශයේ සිටියා යයි සැලකූ ප්‍රෙස්ටර් ජෝන් නම් නෙස්ටෝරියන්  ක්‍රිස්තියානි රජු සමඟ එක්වී මුස්ලිම් බලය මැඬලීමද තවත් බලවත් ආගමික තල්ලුවක් විය. මෙම මිථ්‍යා කතාව (විශ්වාසය) 12-17 සියවස් වල යුරෝපයේ ජනප්‍රියව තිබුණේය

මේ ආකාරයට කොළඹට සේන්දුවූ පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපය කෙසේ වූවාදයත් එක් පෘතුගීසී පූජකවරයෙකු වාර්තා කලේ, පෘතුගීසීන්ගේ කෲර ක්‍රියාකලාපය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට ලංකාව අහිමි කලා යනුවෙනි. කිඹුලන්ට දැමීමේ සිට මවව පුතා ලවා දූෂණය කිරීම දක්වා මෙම තිරිසන් පාලනය පැතිරී ගියේය. කාරණා මෙසේ වුවත් ලන්දේසි රෙපරමාදු ක්‍රිස්තියානින් විසින් කතෝලිකයින් සමූල ඝාතනය කරද්දී උඩරට සිංහල රජු ඔවුන්ට සිය රාජධානියේ ආරක්ෂාව සැපයුවේය. ඊට කලින් පෘතුගීසින් මුස්ලිමුන් මරද්දී උඩරට රජු ඔවුන් සරණාගතයින් ලෙස නැඟෙනහිර පලාතේ පදිංචි කරවූයේය. (මෙම ලෝකයේ ප්‍රථම සරණාගත කඳවුරු (ගම්) දැන් කාත්තන්කුඩි අරාබි භාෂා පාරවල්, ඔළුවිල් ප්‍රකාශණය දක්වා වර්ධනය වී ඇත). එපමණක් නොව ජුසේවාස් පියතුමාට ඉන්දියාවේ සිට පැමිණ ලන්දේසීන්ගෙන් බේරී, සැඟවී කතෝලික ලබ්ධිය ප්‍රචාරය කිරීමට උදව් කලේ හාමුදුරුවරුන්ය.  පසු කලෙක බද්දේගම වැනි ගම්වල ආගම් ප්‍රචාරය සඳහා බැටළු පැටවුන් හාවස්ටින් සඳහා  කතෝලික පියවරු  යනවිට ඔවුන්ට රෑ කෑම උයාදී නවාතැන් සැපයූවේද ගම්වල හාමුදුරුවරුන්ය. ජිනීවා මානව හිමිකම් කොමිෂමට මෙවැනි කතාවක් ලෝක ඉතිහාසයෙන් සොයාගත හැකිද?

ආසියාව ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපාරය

21 වෙනි සියවසේදී ආසියාව ක්‍රිස්තියානි කිරීම සඳහා පෝප්තුමාගේ යෝජනාවට ලංකාවෙන් භාණ්ඩාගාරික කෙනෙක් ලෙස සිටියේ රත්නපුරේ තිබුණු වතිකන් ශාඛා කාර්යාලයය කියා මා අසා ඇත. බෞද්ධයින් හා හින්දූන් අයුතුලෙස ක්‍රිස්තියානි කිරීමේ බෝන් අගේන් ව්‍යාපාරයට විරුද්ධව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගත් උත්සාහය බකල් කලේ දැන් කාදිනල්තුමා එකල රත්නපුරේ මීසම් භාරව සිටියදී පෙලපාලි යමින්ය. ප්‍රේමදාස ජනාධිපතිගේ කුළුපග මිත්‍රයෙක් (ඥාතියෙක්?) වූ පසුව බෝන් අගේන්කාරයෙක්වූ නෙවිල් ජයවීර සිවිල් සේවයෙන් අස්ව ආසියාවේ ප්‍රචාරක අධ්‍යක්ෂක වරයෙක් ලෙස ගියේද මේ කාලවලය.

පෘතුගීසි කාලයේ සිට බිහිවූ සිංහල ක්‍රිස්තියානීන් බුද්ධාගමට හතුරන්සේ හැසුරුණේය. අදටත් දුප්පත් කතෝලිකයින් හැර සෙසු අය හැසිරෙන්නේ මාක්ස්වාදීන් 1930 ස් ගණන් වල හැසුරුණු, දුටුගැමුණු රජු ගඩොල් මෝඩයෙක් (රුවන්වැලි මහාසෑය සැදූ!), ඩී. බී ජයතිලක ඇබිත්තයෙක් (කුඩා අවධියේ පන්සලේ අධ්‍යාපනය ලැබූ නිසා), යන ආකල්පයේය. 1815 දී උඩරට රජු අල්ලා ගන්නාවිටත්, ඉන්පසු ඇතිවු හැම සුද්දන්ට විරුද්ධ සිංහල බෞද්ධ සටනකදීත් කතෝලිකයින්/ක්‍රිස්තියානීන් ගත්තේ සුද්දාගේ පැත්තය. 1883 කොටහේනේ බෞද්ධ විරෝධී කෝලාහලයේදී (Riots) සුද්දා ගත්තේ කතෝලික පැත්තය.

මුරදේවතා සංකල්පය

1802 න් පසු ලංකාවේ ඉතිහාසය එක අතකින් සුද්දන්/කළුසුද්දනුත් හා අනිත් පැත්තෙන් පන්සලත් අතර ඇතිවූ නිරන්තර අරගලයක කතාව යයි සළකණ විට, එහිලා ක්‍රිස්තියානි පල්ලි සංස්ථාව ඉටුකල කාර්යය ඉස්මතුවී පෙනේ. මෙම ඉතිහාස කතාවේ එකිනෙක හා බැඳුණු අවධි රැසක් හඳුනා ගත හැකිය. මුල්ම අවධිය වූයේ <බුද්ධාගම කියන්නේ බොරුවක්> යන කාලසීමාවය. මෙය 1802 සිට 1873 පානදුරා වාදය දක්වාම පැවතියේය. නෝත් ආණ්ඩුකාරයාගේ සිටම පැවති, නිල නොලත් යටත් විජිත පාලන ප්‍රතිපත්තිය වූයේ ගම හා පන්සල අතර ඇති ගහට-පොත්ත වැණි බැඳීම කඩා දමන්නේ කෙසේද යන්නය. මෙය ලෝකයේ වෙන කිසිම රටක දක්නට නොලැබුණ භික්ෂූන් රටේ මුරදේවතාවුන්ය යන සංකල්පයට විරුද්ධ සටනකි.

දැන් 2023 වනවිට මේ මුරදේවතා සංකල්පය පණ අදිමින් සිටිනවා නොවේද? රැවුල්-කොණ්ඩා වවාගෙන පොලිසියට ගල් ගසමින් පෙලපාලි යන සිවුරු කරටගත් තරුණ පංචස්කන්ධ වල සිට රෑට අරක්කු බොන වයසක භික්ෂූන් දක්වා මෙම පරිහාණිය උඩුදුවා ගොස් ඇත. හැම පැත්තෙන්ම සිදුවන්නේ සංඝ සංස්ථාවට වටකරගෙන පහර දීමය. එහෙත් ධර්මධර-විනයධර සංඝ සමාජයක් නිසා නොවේ නම් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, කොරියාව යන රටවල සිදුවූවා මෙන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ලංකාවෙන් අතුගෑවී යන්නට හොඳටම ඉඩ තිබුණි. 1840 ස් ගණන්වලදී ජේම්ස් ද අල්විස් කියා සිටියේ තව දශක දෙකක් යන්නට කලින් බුද්ධාගම රටෙන් අතුරුදහන් වෙනු ඇත යනුවෙනි.

හිට්ලර්ගේ ගිවිසුම්

සුද්දන් විසින් 1815 ගිවිසුමේ වගන්ති කඩකිරීමේ ප්‍රතිඵල 1818 හා 1848 කැරළි වශයෙන් මතුවිය.  එම කැරළි යම් ජන වර්ගයක් සමූලඝාතන කිරීම් පිළිඹද පරණම උදාහරණ වියහැකිය. 1947 ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය 1815 ගිවිසුමේ සිංහල බෞද්ධයාට කල හානිය කළු සුද්දන් යටතේ තව දුරටත් ගෙනයාමක් විය. මෙම හිරිහැර වෙනස්කම් එහෙන් මෙහෙන්වත් අඩුකර දැමීමට ආණ්ඩු ගත් උත්සාහ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි සංස්ථා විසින් කඩා කප්පල්කර දැම්මේ සිංහල බෞද්ධයයි කියාගත්  දේශපාලකයින්ගේ දැනුවත්කමද ඇතුවය. ඩී. එස්. සේනානායකගේ සිට හැම අගමැති-ජනාධිපතිලාම (දෙතුන් දෙනෙකු හැර) ක්‍රිස්තියානි විවාහ අවාහ මඟින් සම්බන්ධවූ අයය. එක ටෙලිෆෝන් කෝල් එකකින් කොළඹ ක්‍රිස්තියානි අගරද ගුරුන්ට තිබු බලපරාක්‍රමය මහනුවර මහානායක හිමිවරුන්ට තිබුණේ නැත. 1947 ව්‍යවස්ථා කෙටුම්පත කල්තියාම අගරදගුරුන්ගේ අනුමැතිය සඳහා පෙන්වූවායයි කතාවක් තිබේ.

ඉංගිරිස් භාෂාව දිගටම පවත්වාගෙන යාම හා දෙමළ පෙඩරල් ව්‍යාපාරයට සහායදීම අතින් ක්‍රිස්තියානි පල්ලි හා මාක්ස්වාදීන් එකිනෙකා පරදවමින් ක්‍රියාකලේය. ලේක් හවුස් පත්තර ඊට උපකාර කලේය. ලක්ෂ්මන් විහ්‍රමසිංහ පියතුමාට අනුව ක්‍රිස්තියානි චෙල්වනායගම් දෙමළ මෝසස් විය. කෙනත් ප්‍රනාන්දු පියතුමාට අනුව ප්‍රභාකරන් මානව හිතවාදියෙක් විය (humane person). උතුරු නැඟෙනහිර බෞද්ධ විරෝධී හා පුරා වස්තු විරෝධී උසිගැන්වීම්වලදී මූලිකත්වයක් ගන්නේ ක්‍රිස්තියානි දෙමළ දේශපාලකයින් හා කතෝලික/ක්‍රිස්තියානි පාදිලිවරුන්ය.

වියළි කලාපයේ ගොවි ජනපද  ඇතිකිරීම දෙමළ නිජබිමක් සිංහලීකරණය කිරීමක් යයි චෙල්වනායගම්ලාගේ ප්‍රචාරයේදී ක්‍රිස්තියානි පල්ලිය සිය නිහඬතාවය මඟින් එය අනුමතකලේය. සුද්දා විසින් මුඩුබිම් පණත් මඟින් උඩරට ගැමියාගේ ඉඩම් අත්පත්කරගෙන ඒවා කෝපි, තේ, රබර් වගාවන් සඳහා අඩුමිලට  විකුණුවේය. මේ ඉඩම් වෙන්දේසි ගැන ලන්ඩන් පත්තරවල පලවූයේ සුද්දන්ට ලංකාවට පැමිණ අයෝජනය කරන්නට ඉඩ සලසා දීමටය. මේ වතුවල වැඩට අයිරිස් ජාතිකයින් ගෙන ඒමේ සැලැස්මක් පවා යෝජනාවූ අතර ඔවුන් ප්‍රවාහණය කිරීම සඳහා දැරීමට සිදුවන අධික වියදම නිසා ඒ වෙනුවට ටැමිල්නාඩ් දමිළයින් ගෙන ඒමට තීරණය විය. මේ ක්‍රමය ලතින් ඇමෙරිකානු රටවලද ක්‍රියාත්මක විය. ජනපදවල පදිංචියට ගියේ උඩරට අසරණවු ගැමි ජනයාය. එසේ වුවත් ඉන් ඒ ප්‍රදේශවල දමිළ ජනාවාස වලට හානියක් නොවූ බව භූගෝල විද්‍යා මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් විසින් පෙන්වා දී ඇත. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂක් පවා පිහිටුවත් උඩරට ගැමියාගේ දුගී බව අදටත් එසේමය.  කාදිනල්තුමා වතුකරයේ ඉන්දියන් දෙමළ ජනයා ගැන කතාකරන්නේ මෙම අනිත් පැත්තේ කතාව අමතක කර දමාය. 2023 ජූනි මාසය වනතුරුම කතෝලික පල්ලියට මෙවැනි කැක්කුමක් ඇති නොවූ නිසා කාදිනල්තුමාගේ කතා විප්ලවකාරීය. මෙය සමානකල හැක්කේ  1970 ගණන්වල වතු ජනසතු කල පසු ප්‍රථම වතාවට ලන්ඩන් පත්තරවල ලංකාවේ  වතු කම්කරුවන්ගේ දුක ගැන ලිපි පලවීමටය. එතෙක් ඔවුන් ඒ ගැන නිහඬව සිටියේ වතු අයිතිකාර සුද්දන් රැක ගැනීමට නොවේද?

ක්‍රිස්තියානි පල්ලිද වංක දේශපාලකයින් මෙන් අවුරුදු 75ක් ම රට විනාශකිරීමේ අපරාධයේ හවුල් කරුවන් නොවේද? පහත් කුලයේ යයි සළකණ උතුරේ දෙමළ ජනයාට මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් වැන්නන් හින්දු කෝවිල්වලට ඒම වැලැක්වීමට ක්‍රියාකලා මෙන්ම නොවූවත් පල්ලිවල මෙම <කුලහීන> ජනයාට ඉඳගන්නට සිදුවූයේ බිම හෝ බංකුවල මිස පුටු මේස වල නොවේ. ලතින් ඇමෙරිකාවේ රටවල ක්‍රිස්තියානි පල්ලිය ගොස්පල් ඉකොලෝජි (gospel ecology) යන තේමාව යටතේ ඒ රටවල පරිසරය හා දුගී ජනයාගේ යහපත සඳහා දුෂ්ට පාලකයින්ට විරුද්ධව පෙරමුණ ගත්තේය. කාදිනල්තුමාද එසේ ඉදිරිපත් වන්නට තීරණය කලානම් එය විප්ලවීය වෙනසකි. පුදුමයට කරුණ නම් ඇමෙරිකන් තානාපති නෝනාද මීට සමගාමිව හිල් කන්ට්‍රි ටැමිල්ලා ගැන කතාකරන්නට ඉදිරිපත්වීමය. ගෝල්පේස් අරගලය නමැති කුමණ්ත්‍රන කතාවේදීද  කාදිනල් හා ජුලි චුන් සිටියේ එකම බෝට්ටුවේ නොවේද?

දකුණු ඉන්දියානු බලපෑම් නිසා සිංහල භාෂාව බලවත් අනතුරකට පත්ව තිබූ අන්දම සිංහල භාෂාව (1932) යන පොතේ තියඩෝර් ජී. පෙරේරා පඬිතුමා විසින් දීර්ඝ ලෙස විස්තරකර ඇත. එසේ වුවත් 1940 දශක වල සිට නැවතත් ලියලමින් තිබුණේ ක්‍රිස්තියානි-බෞද්ධ ආගමික අසහනයය. කැතලික් ඇක්ෂන් ව්‍යාපාරය පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ඩීන්ලා අතර පවා පැතිරී ගොස් තිබුණේය (moral re-armament). මීට ප්‍රතික්‍රියාවක් වශයෙන් එල්. එච්. මෙත්තානන්ද, සිවිල් සේවක එන්.කිව්. ඩයස් ප්‍රමුඛ පිරිසක් බෞද්ධ බලවේගයක් දියත් කලේය. ලේක් හවුස් පත්තර කන්තෝරුවේද බලපෑම් මත මෙම බෞද්ධ-ක්‍රිස්තියානි ගැටුම සිංහල-දෙමළ භාෂා ගැටුමක් බවට හැරවී යාමක් සිදුවිය. 1962 පොලිස්-නේවි හමුදා කුමණ්ත්‍රනය ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් විය. එය සර් ජෝන්, ඩඩ්ලි සේනානායක හා ජේ. ආර් මෙන්, කතෝලික පල්ලියද දැනගෙන සිටියේ නැද්ද?

අයුතු අන්‍යාගමීකරණය මෙන්ම ශාරියා ආක්‍රමණයද ලෝක බලවේගය. අයථා අගාමීකරණය වැලැක්වීමේ පණතට විරුද්ධව මැල්කම් රංජිත් රත්නපුරේ පියතුමා පෙලපාලි ගියා පමණක් නොව ලංකාවේ සිදුවන ශාරියා/වහබි වාදයට විරුද්ධව ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් කාදිනල්වරයාට කරුණු ඉදිරිපත්කල විට එතුමා එම කාරණා නොසලකා හැරියේය. එසේ නොකලා නම් පසු කලෙක පාස්කු ප්‍රහාරයක් සිදු නොවන්නටද ඉඩ තිබුණි.

එහෙන් මෙහෙන් හැමපැත්තෙන්ම දැන් සිදුවන්නේ, ආත්මාර්ථකාමී දේශපාලකයින් ලංකා මාතාව දූෂණය කරමින් සිටීමය. ජනාධිපති රනිල් ඇතුළු මේ හැම නාටකවලින් සිදුවීමට යන්නේ  UNO හමුදා රටට ගොඩ බස්සවා ගැනීමේ ව්‍යාපාරයට තල්ලුවක් දීමය. කාදිනල්තුමාගේ මසුරන් වචන හා කතා වලින් එතුමා නොදැනම අන්තිමේදී ලැබෙන ප්‍රතිලාභයද රට කැබලිකිරීමේ ව්‍යාපාරයට පාර කැපීයාමය. සත්‍යවශයෙන්ම රට ගොඩ ගැනීමට ආශාවක් තිබේ නම් කාදිනල්තුමා විසින් කල යුතු ජන සභා සංකල්පය යටතේ ගම් මට්ටමින් මහජනයාට රාජ්‍ය පාලන බලතල හැකි උපරිම ප්‍රමාණයට පවරා දීමේ සටනට එකතුවීමය අහිංසක මෙන්ම හොරුන්වුන අරගලකාරයින්ද, සෑම දේශපාලන පක්ෂකාරයින්ද ඉල්ලන්නේත් මහජන සභාය (peoples’ councils).

වතිකානුව ලෝකයේ ඇති ධනවත්ම රාජ්‍යයය. විශාලම භාණ්ඩාගාරයය. අඩුතරමින් ලැංකාවේ බයිබල් බෙල්ට් එකේ මිනිසුන්ගේ යහපත සඳහාවත් වතිකානුවෙන් ණයක් ලබාගෙන දේශපාලකයාගෙන් තොර සංවර්ධන සැලැස්මක් (දේශපාලකයින් විසින් කඩා කප්පල්කල ගැමි දිරිය වැනි) ක්‍රියාත්මක කරන්නට කාදිනල්තුමාට නොහැකිද?

1505 න් පසු බුද්ධාගම ලංකාවේ සංස්කෘතික පදනම යයි ප්‍රසිද්ධියේ ලොවට පැවසුවේ මැල්කම් රංජිත් කාදිනල් තුමාය. බෞද්ධ සෙවනේ සෙසු ආගම් පෝෂණය වූ බව එතුමා පෙන්වා දුන්නේය. කොරෝනා කාලයේදී රතන සූත්‍රය රටපුරා දේශනා කරණ ලෙස එතුමා කියා සිටියේය. මෙය ලංකාවේ පමණක් නොව මුළු ක්‍රිස්තියානි ලෝකයේම සිදුවූ විප්ලවීය හා නිර්භීත ප්‍රකාශණයකි. අතීතයේදී සිදුවූ වැරදි ආවර්ජනය කර බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව දේශ-පාලනයට දායකවීමට මහඟු අවස්ථාවක් කාදිනල් තුමාට උදාවී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress