යාපනයට ගිහින් මනුෂ කියපු කතාව හොදයි – ඒත් වැඩ නැති එක ගැන දුකයි  
Posted on July 20th, 2023

විදෙස් බලය සංවිධානයෙන් නිවේදනයක් 

උතුර සහ දකුණ අතර පවතින දුරස්ථභාවය නැති කිරීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවට අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයට ගොස් කළ ප්‍රකාශය අගය කැන නමුත්, ඩිජිටල්කරණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් බව විදෙස් බලය සංවිධානය අවධාරණය කරයි.

විදෙස් බලය සංවිධානයේ කැදවුම්කරු ජනක බලල්ල මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව සදහන් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටී.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ පවතින ජාවාරම් වලක්වන්න, මේ ක්ෂේත්‍රයේ කටයුතු ඩිජිටල්කරණයට ලක් කරන්න කියලා අපි මාස ගණනාවක් තිස්සේ ඉල්ලා සිටිනවා. අපි දිගින් දිගටම කරන බලපෑම නිසාදෝ ඇමැතිවරයා යාපනයට ගිහින් උතුර දකුණ අතර තියෙන දුරස්ථභාවය අඩු කරන්න විදේශ රැකියා ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණයට ලක් කරනවා කියලා තියෙනවා

ආණ්ඩුව පැත්තෙනුත් මේ වන විට ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිනෙවා. ඒක හොද තත්වයක්. හැබැයි අපිට ඒ ප්‍රකාශ දිහා බලාගෙන සතුටු වෙන්න බැහැ. මොකද මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වැඩපිළිවෙල ආරමභ කරන්නේ නැතිව, නිකම් වචනවලට පමණක් මේවා සීමා කිරීමෙන් කිසිම අයෙක්ට සෙතක් වෙන්නේ නෑ. අන්තිමේදී අපි හැමෝම රැවටීමට ලක්වීම පමණයි සිදුවන්නේ. මේ නිසා තමයි අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා ප්‍රායෝගික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා.

මේ වෙලාවේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් කලබල වෙලා තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන්න කියලා අපි දිගින් දිගටම කරන බලපෑම සමහරුන්ට හිසරදයක් බවට පත්වෙලා තියෙන්නේ. මොකද මේ ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කළොත් ජාවරම්කරුවන්ට යන එන මං නැතිවෙනවා. ඒ නිසාද කොහෙද අපිටත් නොයෙක් චෝදනා කරන්න සමහරු අසාර්ථක උත්සාහයන්වල නිරතවෙනවා

මොනවා වුනත් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන්න කියන බලපෑම අපි අඛණ්ඩව සිදු කරනවා. අපි ජාවාරම්කරුවන්ටවත්, ආණ්ඩුවේ මර්දන හස්තයන්ටවත් බය නෑ. ඒ නිසා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන තෙක් අපි අපේ බලපෑම අඛණ්ඩව කරගෙන යනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress