අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්න.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on July 27th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි   අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2023.07.27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදී අස්වැසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සහ ප්‍රදේශයට බලපාන ගැටලු  සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා  දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති  අය වෙත කඩිනමින්  බැංකු ගිණුම් විවෘත කර දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණි.

අපේක්ෂා රෝහලේ  වසා දමා ඇති භික්ෂු වාට්ටුව පිළීබඳ ගැටලුව ද සාකච්ඡාවට ලක්වූ අතර එය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට ඇස්තමේන්තු සකස් කරමින් සිටින බව මෙහිදී අනාවරණය කෙරිණී. මහරගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම සහ සොරකම් වැඩිවීම පිළිබඳව පොලීසිය වෙත චෝදනා එල්ල විය. මහජන සංවිධාන සමඟ එක්ව මේවාට විසඳුම් සොයන ලෙස අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් දුන්නේය. බොරලැස්ගමුව වැවේ ජපන් ජබර ඉවත් කිරීම සියයට 50කින් පමණ අවසන් බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. නියමිත කාලයේ දී එම කටයුතු අවසන් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය. ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම  සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ,  කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress