13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර සහ සැබෑ ලෙසම ජාතික ගැටළුව විසඳිය යුතු ආකාරය ගැන විමල්ගෙන්, ජනපති රනිල්ට ලිපියක්
Posted on July 27th, 2023

Lanka Lead News

ඊයේ(26) දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර එහිදී ඔවුහු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳව සහ සැබෑ ලෙසම ජාතික ගැටළුව විසඳිය යුතු ආකාරය පිළිබඳව ලියැවුණු පහත සඳහන් දීර්ඝ ලියවිල්ල(ජාතික නිදහස් පෙරමුණ විසින් සර්ව පාක්ෂික සමුළුව වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්හ.

අදාළ ලිපිය පහළින්…

ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත,

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ අනතුර පිළිබඳව සහ
සැබෑ ලෙසම ජාතික ගැටළුව විසඳිය යුතු ආකාරය පිළිබඳව

මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු නොකළ ආකාරයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ඔබතුමා විසින් පසුගිය තෛපොංගල් දිනයේදී ස්ථිරසාර සහ විවෘත ප්‍රකාශයක් කරනු ලැබීය. ඉන්පසුව ඔබතුමා විසින් නිදහස් දින ජාතිය අමතමින් ඒකීය රටක් තුළ උපරිම වශයෙන් බලය බෙදන බවට තෛපොංගල් දින ප්‍රකාශය වෙනත් ආකාරයට තහවුරු කරනු ලැබීය. නමුත් වචන වෙනස් කිරීම මගින් පළමුව සිදු කළ ප්‍රකාශයේ බරපතලකම අඩු කිරීමට ඔබතුමා උත්සාහ කළ බව පැහැදිලිව පෙනුණි. ඊට හේතුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බවට ත්‍රෛනිකායික මහනායක හිමිපාණන් වහන්සේලා විසින් ඔබතුමාට දැඩි ලෙස අවවාද කිරීම බව උපකල්පනය කළ හැක. එසේ වුවත් මේ වන විට ඔබතුමා උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීම සඳහා කරුණු 15ක් අඩංගු විස්තීර්ණ යෝජනාවලියකට එකඟ වී ඇති බව පැහැදිලිය. නමුත් එම සාකච්ඡාවල ප්‍රතිඵල හෝ අදාළ එකඟතා මොනවාද, යන්න නිශ්චිතව මහජනයාට හෙළිදරව් කර නැත.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පොලිස් බලතලවල යම් සීමාකම් සහිතව සහ මධ්‍යම රජයේ බලතලවලට ද සීමා පැනවීම් සහිතව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා එම සාකච්ඡාවලදී ඔබතුමා එකඟ වී ඇත. ඒ අතර හිටපු උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා සඳහන් කරන්නේ ආයුද නොමැතිව පොලිස් බලතල ලබාදීමට ඔබතුමා එකඟ වූ බව සහ තමා එය පිළිගැනීමට සූදානම් බවය. ඒ අනුව පැහැදිලි වන්නේ නාමිකව යම් වෙනස්කම් සහිතව එහෙත් ව්‍යවස්ථානුකූලව පොලිස් බලතල ද සහිතව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ඔබතුමා සූදානම් වන බවය. එම ප්‍රශ්නකාරී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ නාමික සීමාකම් සහිතව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන අතර ජනාධිපතිවරණය නිශ්චිත කාලයට පෙර පැවැත්වීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදන සැලසීම ඔබතුමාගේ සූක්ෂ්ම අරමුණ බව අපට පෙනේ.

ඔබතුමාට පෙර ධුරය දැරූ ජනාධිපතිවරුන්ට ද ඔබට මෙන්ම බාහිරින් ඒ සඳහා පීඩනයක් එල්ල වුව ද ඔවුන් විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට විවෘතව ප්‍රකාශ නොකළේ ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් පැවතීම නිසා බව ඉතා පැහැදිලිය. එහෙත් මේ වන විට රටේ පවත්නා ආපදා තත්ත්වය තුළ එම විරෝධය ප්‍රබල ලෙස මතු නොවනු ඇතැයි ඔබතුමන් විසින් උපකල්පනය කරන බව අපට පෙනේ. ඒ අතර ව්‍යවස්ථාවේ දැනට පවත්නා ප්‍රතිපාදන ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම ඔබතුමාගේ පරම වගකීමක් බවට ද ප්‍රකාශ විය. එහෙත් එසේ කිරීම මගින් රට බෙදීමට ඉඩ නොදෙන බවට ද ඔබතුමා විසින්ම ඌණ පූරණයක් ඉදිරිපත් කර ඇත.

ඔබතුමාගේ ද හිතමිතුරු එරික් සෝල්හයිම් විසින් සුඩානයේ ජනාධිපති අල් බෂීර් ඉලක්ක කොට ද මෙබඳු උගුලක් අටවනු ලැබිණි. එම උගුලට එතුමා විසින් පය තැබීමේදී ද එවැනිම ප්‍රකාශයක් කරනු ලැබිණි. එතුමා විසින් ද ඔබතුමා සේම සටන් විරාම ගිවිසුමක් සහ තාවකාලික ආණ්ඩු යෝජනාවත් අත්සන් කිරීමේදී ප්‍රකාශ කරනු ලැබුවේ තමා කිසිසේත්ම දකුණු සුඩානය බෙදා වෙන් කිරීමට ඉඩ නොදෙන බවය. එහෙත් 2002දී එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වසර දෙකක් තුළ මධ්‍යම රජයේ පාලනය ගිලිහී ගිය අතර ජාත්‍යන්තර අත පෙවීම් සිදු විය. 2011දී වෙනම රාජ්‍යයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. දැන් අන්තර්ජාලයේ සුඩානය පිළිබඳ සඳහන් වන්නේ සුඩානය මිය ගොස්ය – කිසිවෙකු මළමිනී ගණින්නේ නැත” යනුවෙනි. ඒ මළමිනී අතර අල් බෂීර් සිටිනවාද නැද්ද යන්න දැන් කිසිවෙකුට වැදගත් නැත.

අද රට බෙදීමට ඉඩ නොතබන බව සඳහන් කරන ඔබතුමා එදා 2002දී අල් බෂීර් කළ වරද කිරීමට බලවත් උත්සාහයක් ගනු ලැබූ බව අපට මතකය. එදා සොල්හයිම් ඔබට ඉදිරිපත් කළේ සුඩානයට ඉදිරිපත් කළ ගිවිසුම්වල කාබන් පිටපත බව පසුව හෙළිදරව් විය. ඔබතුමා පළමු ගිවිසුම වන සටන් විරාම ගිවිසුමට අත්සන් තැබූ නමුත් ප්‍රබල මහජන විරෝධය නිසා තාවකාලික ආණ්ඩු ගිවිසුමට අත්සන් තැබීමට නොහැකි විය.

ඒ නිසා කුමන හෝ පෙර පිනක හෝ පවක හේතුවෙන් අල් බෂීර්ට අත්වූ ඉරණමෙන් ගැලවීමට ඔබතුමාට හැකි විය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට සුඩාන වැසියන්ට අත්වූ ඉරණමෙන් ගැලවීමට ද හැකි විය.

එදා අගමැතිවරයා ලෙස ඔබතුමන් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔබතුමා සඳහන් කළේ මම පෑන ගත්තා, අත්සන් කළා” යනුවෙනි. එම ගිවිසුම අත්සන් කිරීමේදී ඔබ සෝල්හයිම්ගේ වචන පිළිගත්තා මිස ගිවිසුමේ වගන්ති සම්පූර්ණයෙන්ම කියවා බැලීමට උනන්දු නොවූ බව පසුව හෙළිදරව් විය. එවැනි බැරෑරුම් කාර්යයක් සැහැල්ලුවට ගැනීම තුළින් ඔබතුමා විසින් ලබා දී ඇති ආදර්ශය අනුව එදා සිදු කළ ආකාරයටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම කෙසේ වෙතත් එය උල්ලංඝනය කරමින් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔබතුමාට බලපෑමක් එල්ල වීමේ හැකියාව අදටත් පවතී. අප රටේ ව්‍යවස්ථාව අනුව යුද්ධය හෝ සාමය ප්‍රකාශ කළ හැක්කේ රටේ ජනාධිපතිවරයාටය. නමුත් එදා හිටපු ජනාධිපතිවරියගේ අනුමැතිය, එකඟතාව හෝ අවසරයක් නොමැතිව ඔබතුමා අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව ඇය විසින්ම සඳහන් කරනු අපට අසන්නට ලැබිණි. ඒ මගින් ඔබතුමන් විසින් එදා අගමැතිවරයා ලෙස රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබීය.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විසින් ඔබතුමාට ජනවරමක් නොමැති බවට දැක්වූ අදහසට පිළිතුරු දෙමින් ඔබතුමා සඳහන් කළේ ඔබතුමාට පොදුජන පෙරමුණේ සහ වෙනත් යම් යම් පක්ෂවල මන්ත්‍රීවරුන් මගින් ජනවරම ලැබී ඇති බව ය. අප රටේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට විධායක බලතල සඳහා සෘජු ජනවරමක් ලැබෙන අතර මන්ත්‍රීවරුන්ට එම ජනවරම නියෝජනය කළ නොහැක. ඔවුනට ඇත්තේ වෙනත් මැතිවරණයකදී ව්‍යවස්ථාදායක බලය සඳහා ලබාදෙන ඊට සපුරා වෙනස් ජනවරමකි. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් තමාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව අන්තර්කාලීන ජනාධිපතිවරයකු පත් කළ ද එම ජනාධිපතිවරයා නියෝජනය කළ යුත්තේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ ජනවරම හෙවත් 69 ලක්ෂයේ ජනවරම ය. එම ජනවරම අනුව ඔබතුමා බැඳී සිටින්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට නොව එම සංශෝධනය මගින් සිදු වී ඇති වරද නිවැරදි කරන නව ව්‍යවස්ථාවක් මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමටය.

ගරු ජනාධිපතිතුමනි,

එම දීර්ඝ පූර්විකාව ඉදිරිපත් කළේ ඔබතුමා විසින් කියන දේ සහ කරන දේ අතර වෙනස මෙන්ම කියන දේ සහ අනාගතයේදී සිදුවිය හැකි දේ අතර වෙනස පෙන්වා දීම සඳහා ය. ඊට අමතරව අප විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතිහාසය විමසා බැලීම වැදගත් වන්නේ එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගැනීම සඳහාය. ඉන්දියාවේ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාව දුර්වල කර ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් බවට පත් කළ යුතුය. එදා 1987දී ඔවන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊළාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙස ඇඳා ගැනීමය. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව 30 වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව ඇත. පසුගිය ජූලි 21 වැනි දින ඔබතුමා විසින් ඉන්දියානු අගමැතිවරයා සමඟ ඇතිකරගත් කරුණු 5ක් අඩංගු එකඟතාව අනුව සර්දාර් පනික්කාර්ගේ සිහිනය සැබෑ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමඟ ඒකාබද්ධ කිරීමට ඉඩ සැලසෙන බව පැහැදිලිව තේරුම්ගත හැක.

එදා ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවට අනුව බෙදුම්වාදී ගැටුම් වර්ධනය කිරීම සඳහා බාහිර බලවේග දායක වූ බව සහ එය යොදා ගනිමින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලපෑම් කළ බව දැන් රහසක් නොවේ. එසේ වුවත් එතුමා විසින් රට බෙදීම වැළැක්වීම සඳහා ඉන්දියානු නිලධාරීන් සමග කේවල් කර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවසථාමය බාධක ප්‍රමාණයක් පනවා ඇති බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් හෙළදිරව් කරනු ලැබීය. ඊට එකඟවීම මගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදු නොවන ආකාරයට සම්මත කරගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වූ බව පිළිගත හැක. එදා ඉන්දු-ලංකා ගිවිසුමට සහ 13 වැනි සංශෝධනයට එරෙහිව පැවති ප්‍රබල විරෝධය නිසා එම සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත කළ නොහැකි බව පැහැදිලි කරුණකි.

එදා 13 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් විභාග කළ විනිසුරු මඬුල්ලට එතුමන් ද ඇතුළත් විය. එතුමාට අනුව 13 වැනි සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩකි”. ඔහුට අනුව එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලිනි. ඒ නිසා ඔහු අප රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේගවලින් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදෙන ලෙස ය. ඒ අනුව ඔහු අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් මගින් කඩුව” ඉවත් කරන තෙක් රැහැන කැපීම හෙවත් බාධක ඉවත් කිරීම මගින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුතු බරපතල වරදක් බවය.

එහෙත් පවතින දේශපාලන තත්ත්වය සහ විදේශීය බලපෑම් නිසා 13 වැනි සංශෝධනය පමණක් විශේෂිතව ඉවත් කිරීම ද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැත. එසේ නම් කළ යුත්තේ ඔබතුමා විසින් නියෝජනය කරනු ලබන 69 ලක්‍ෂයේ ජනවරම අනුව විද්වත් මණ්ඩලයක් මගින් සකස් කළ නව ව්‍යවස්ථාව සම්මත කිරීමය. ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කරන බව සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව සකස් කළ විද්වත්හු පවසති. එසේ නම් එම ව්‍යවස්ථාව අවශ්‍ය සංශෝධන සහිතව ජනමත විචාරණයකට ඉදිරිපත් කර සම්මත කිරීමට හෝ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔබතුමන්ට නව ජනවරමක් ලබා ගැනීමට හෝ බාධාවක් තිබිය නොහැක. ඊට හේතුව එමගින් ඔබතුමන් සඳහන් කරන ආකාරයට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේ විභවයක් පැවතීමය.

ඒ වෙනුවට ඔබතුමා සඳහන් කරන ආකාරයට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 13 වැනි සංශෝධනය පමණක් විශේෂිතව අහෝසි කිරීමට අභියෝග කිරීම මගින් අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි අපි කල්පනා නොකරමු. එක් පැත්තකින් ගත් විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ ද අවසානයේ දී ඔබතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නොමැතිව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට හෝ ඇතුළු කළ නොහැකි බව අප දන්නා කරුණකි. අනෙක් පැත්තෙන් ගත්විට 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට ඔබතුමාට සද්භාවයෙන් අවශ්‍යතාවක් තිබේ නම් රාජා වනසුන්දර විනිසුරුතුමාට අනුව ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් ප්‍රකාශන පනතක්” සම්මත කිරීමය. විනිසුරුතුමාට අනුව එදා 1987දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු පළාත් සභා පනත සම්මත කළ යුතු වුවත් එම පනත් දෙකම එකවර සම්මත කිරීම නිසා ක්‍රමවේදයේ වරදක් සිදු වී ඇති බැවින් පාර්ලිමේන්තුවට ප්‍රකාශන පනතක් ඉදිරිපත් කිරීම මගින් අදාළ සංශෝධන සමස්තයක් ලෙස අහෝසි කිරීමේ හැකියාව ඇත. එය සමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමෙන් අහෝසි කිරීමේ හැකියාව ද ඇත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට පුද්ගලිකව මන්ත්‍රී යෝජනා හෝ වෙනත් ආකාරයකට 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට යෝජනා කිරීම සමාන කළ හැක්කේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලා සිටීමටය. එවිට විකල්ප වෙදකම හෙවත් 13 බලාත්මක කිරීම මගින් ලෙඩා මරා දැමීම සාධාරණීකරණය කිරීමට වෙදාට අවස්ථාව නිර්මාණය වේ.

අවසාන වශයෙන් ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පළමුව එකඟ වී දෙවනුව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රභාකරන් පෙළඹෙන්නේ එය සම්පූර්ණයෙන්ම බලාත්මක කරවා ගැනීම සඳහා නොවේද? ඒ නිසා ඊනියා සාම ගිවිසුමට පසුව යුද්ධය නැවත ආරම්භ වීමේ හේතුව ඉතා පැහැදිලිය. ඒ අනුව රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කරමින් සහ ඊට සමාන පිරිසක් අත, පය, ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් යුද වැදුනේ ප්‍රභාකරන්ගේ අරමුණ පරාජය කිරීම සඳහා බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ නම් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ බන්දේසියක තබා පිරිනැමීම යනු රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ දුවාදරුවන් සහ ඥාතීන් ඇතුළු යුද්ධය නිසා දුකට පත්වූ සියලු ජනතාවගේ කැප කිරීම් පාවාදීමක් නොවේද?

මෙම ප්‍රකාශය දීර්ඝ වුව ද දේශපාලන පක්ෂයක් ලෙස ඔබතුමා විසින් සිදු කිරීමට නියමිත දේශපාලන වරද සහ එහි විපාක සංක්ෂිප්තව අවධාරණය කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමු. ඒ අනුව පහත සඳහන් කරුණු ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගන්නා ලෙස කරුණාවෙන් දැනුම් දෙමු.

1.) 13 වැනි සංශෝධනයට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථා බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ යුත්තේ එම සංශෝධනය පරිපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අකැමැති ජනාධිපතිවරයෙකු බලයේ සිටින තත්වයක් යටතේය. එසේ අනුව පරිපාලන වශයෙන් එය බලාත්මක කිරීමට සූදානම් වීම මගින් ඔබතුමා විසින් රටේ ජනතාවට පෙන්වනු ලබන්නේ තමා බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා 13 වැනි සංශෝධනය ස්වකැමැත්තෙන්ම බලාත්මක කරන බවය. ඒ මගින් ඔබතුමාට ඉදිරි ජනාධිපතිවරණයකදී බෙදුම්වාදයට පක්ෂපාතී යම් ප්‍රතිශතයක ඡන්ද ලබා ගත හැකි වුවත් ඊට එරෙහි වන විශේෂයෙන්ම බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය ලබා ගැනීමට නොහැකි වනු ඇත.

2.) පළාත් සභා මැතිවරණය පවත්වා (ඒ සඳහා දැනටමත් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේග විසින් බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ.) බෙදුම්වාදයට පක්ෂපාතී හෝ මහ ඇමතිවරයාට ස්ව කැමැත්තෙන් යටත් වන ආණ්ඩුකාරවරයෙකු නැගෙනහිර සහ උතුරු පළාත්වලට පත්කළහොත් 13 වැනි සංශෝධනය පරිපාලනමය වශයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම ආරම්භ වේ. දැනටමත් එම කොන්දේසිය ඔබතුමා විසින් ඉටුකර ඇත. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පසුව ඉතා කෙටි කාලයකදී එම පළාත්වල ඉඩම් ප්‍රඥප්ති, පොලිස් ප්‍රඥප්ති, මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය ආදිය සම්මත කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමේ තත්ත්වය ආරම්භ වනු ඇත. එහි ප්‍රතිඵල නැගෙනහිර සහ උතුරු පමණක් නොව දකුණේ ජනතාවට ද පැහැදිලිව දැකගත හැකි වන අතර ඔබතුමා ඊට වගඋත්තරකරුවකු බවට මහජනයා විසින් නම් කරනු ඇත.

3.) එසේ ප්‍රඥප්ති සම්මත කරමින් මධ්‍යම ආණ්ඩුව සමග ප්‍රතිවිරෝධතා ඇතිකර ගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයා ලෙස ඔබතුමාට අසරණව බලා සිටීමට සිදු වනු ඇත. ඊට හේතුව එවැනි අවස්ථාවක මධ්‍යම රජය ඊට එරෙහි වුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීමකට අවස්ථාව නිර්මාණය වීමය. එවැනි තත්ත්වයකදී අදාළ පළාත් සභාවට හෙවත් අදාළ ප්‍රදේශයේ පරමාධිපත්‍යය හිමි ජනතාවට බෙදී වෙන්වීමේ අයිතිය ඇති බවට ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දී ඇති බව අප අමතක නොකළ යුතුය. පරමාධිපත්‍යය බෙදී යන ආකාරයට බලය බෙදා ඇති නම් සහ මධ්‍යම රජය එම ජනතාවට තම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන අවස්ථාවක එම ජනතාවට වෙන්වීමේ අයිතිය ඇති බවට නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ඕස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත් වී ඇත. එම තත්ත්වය ඇති වන විට ඔබතුමා බලයේ සිටිය ද නොසිටිය ද මහජන ඇස් ඉදිරියේ ඔබතුමා චුදිතයා බවට පත්වනු ඇත.

4.) ඔබතුමන් විසින් පත් කිරීමට නියමිත සත්‍යය සෙවීමේ කොමිසමට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ද අයත් වන බැවින් අනාගත ගැටුම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ද එනම් බලය බෙදීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ සහ නිර්දේශ ලබා දීම සඳහා බලයක් ද එම කොමිසමට ලැබේ. ඒ අනුව ඉහත සඳහන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම තවදුරටත් බලවත් කිරීම සඳහා එම කොමිසම යොදා ගැනීමේ හැකියාව ද ලැබේ. ඊට අමතරව එම කොමිසම මගින් තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසක් පාවා දීම සඳහා පාපෝච්චාරණ ක්‍රියාවලියක් ද දියත් විය හැක. එවිට හමුදාව පාවා දීමේ වරද සමග ඔබතුමාට එරෙහිව එල්ල විය හැකි චෝදනා වඩා බරපතළ වනු ඇත. 2015දී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් අප රටේ රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා ස්තූති පූර්වකව පිළිගෙන ඇති බැවින් තත්වය තවදුරටත් බරපතළ වේ.

5.) වර්තමාන ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය පෙන්වා බලය බෙදීම මගින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වීම හෝ රට බෙදීමක් සිදු නොවන බව තහවුරු කිරීමට ඔබතුමා උත්සාහ කළ ද එය බොරුවක් බව කෙටි කලකින් ඔප්පු වන බවට කිසිදු සැකයක් නැත. ඊට හේතුව සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩු තීන්දුව අනුව ව්‍යවස්ථාවේ ඒකීය වචනය එසේම තිබියදී පෙඩරල් රාජ්‍යයක් පැවතිය හැකි වීමය. ඒකීය වචනය මගින් ඒකීයභාවය තහවුරු නොවන බව එමගින් පැහැදිලි වේ. ඒ අනුව අවසානයේ දී පළමුව තමාම රවටා ගැනීම සහ දෙවනුව පොදු මහජනතාව රැවටීමේ වරද ඔබතුමාට භාර ගැනීමට සිදු වනු ඇත.

6.) දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල අරමුණු, ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග අනුව ෆෙඩරල් රාජ්‍යය ජාත්‍යන්තර මැදිහත්වීම මත වෙනම රාජ්‍යයක් බවට පත් කෙරෙන බවට කිසිදු සැකයක් නැත. එය වැළැක්වීම සඳහා ඔබතුමාට කිසිදු ව්‍යවස්ථාමය බලයක් නැති බව ඉතා කෙටි කලකින් ඔබතුමා වටහා ගන්නවා ඇත. එවැනි තත්ත්වයකදී දැනටමත් පශ්චාත් ගැටුම් මානසික පීඩනයට සහ ආර්ථික පීඩනයට මෙන්ම කුල පීඩනයට ද ගොදුරුව සිටින 65%කට අධික උතුරේ සහ නැගෙනහිර කුල පීඩනයට ලක් වූ දෙමළ ජනතාවගේ සාපය ද ඔබතුමන්ට එරෙහිව එල්ල වීම වැළැක්විය නොහැක. එම ජනතාවගේ දුකට මුල් වූ දේශපාලන නායකයින්ට පොලිස් බලය ලබා දීමෙන් ඔවුන් තවදුරටත් පීඩාවට ලක්වන බවට සැකයක් නැත.

7.) වෙනම රාජ්‍යයක් බිහි වීමෙන් පසුව එම රාජ්‍යයේ අහිංසක ජනතාව පීඩනයට ලක් වීමට අමතරව නව ගැටුම් නිර්මාණය වීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකිනෙකා මරාගන්නා මහා ගැටුමකට තල්ලු වීම වැළැක්විය නොහැක. සුඩානයේ ජනතාව මේ මොහොතේදී එම ඛේදවාචකයට මුහුණ දී සිටින බව ඔබතුමන් විසින් ඉතා හොඳින් දන්නා කරුණකැයි සිතමි.

8.) එම ගැටුම් තුළ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යය මහා බලවතුන්ගේ භූ දේශපාලන උවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වීම නිසා රටේ සමස්ත ජනතාව දාස රාජ්‍යයක යටත් වැසියන් බවට පත්විය හැක. එය අතිශයොක්තියකින් කරුණු හුවා දැක්වීමක් නොවන බව ජාත්‍යන්තර අත්දැකීම් අනුව වටහා ගත හැක. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ගිවිසුම් මගින් ඉන්දියාවේ අර්ධ යටත්විජිතයක් හෙවත් 29 වැනි ප්‍රාන්තය බවට පත්වී පසුව 30 වැනි ප්‍රාන්තය ද බිහිවිය හැක. ඊට අමතරව එම රාජ්‍යයන්ට ACSA, SOFA, MCC ආදී ගිවිසුම්වල පාර්ශ්වකරුවන් බවට පත්වීමේ බාධාවක් නැත. ඊට හේතුව දැනටමත් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ආරක්ෂක සහ යුද කටයුතු සහ තොරතුරු හුවමාරුව සඳහා ගිවිසුම් 4ක් අත්සන් කර තිබීමය.

9.) ඔබතුමන් විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව එදා 2023 පෙබරවාරි 8 වැනිදා නව සැසිවාරය ආරම්භ කිරීමේදී ඉදිරිපත් කිරීමට නියමිත වූ රාජාසන කතාව” මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට සකස් කළ සැලසුම් සාර්ථක වූවා නම් හෝ මේ වන විට සර්ව පාක්ෂික සමුළුව මත වගකීම පවරා 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම නැමති හිස් චෙක්පතට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම මගින් චුදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමක් මිස ඔබතුමාට නිර්දෝෂී වීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

10.) අවසානයේදී සමස්ත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යයේ ඉතිහාසය අවසාන විය හැකි අතර ඒ සමගම සම්බුද්ධ ශාසනය ද ඉතා කෙටි කලකින් අවසන් වනු ඇත. සම්බුද්ධ ශාසනය යනු මානව සංහතිය සුවපත් කරන ඖෂධයක් හෙවත් කසායකි. ශ්‍රී ලංකාව නම් වූ සුවිශේෂී සභ්‍යත්ව රාජ්‍යය එම කසාය ආරක්ෂා කරන සහ ගබඩා කර තබාගන්නා මංජුසාවයි. ඒ අනුව සම්මා සම්බුද්ධ ශාසනය අනාරක්‍ෂිත කිරීමේ මහා ඓතිහාසික පාප කර්මයේ විපාකය ඔබතුමන් ඇතුළු සියලු උපකාරක සගයින්ට විඳීමට සිදු වනු ඇත. එම විපාකය ඉදිරි මැතිවරණය පරාජය වීම පමණක්දැයි අපට අද තීරණය කළ නොහැක.

රට බෙදීම සහ ඒ මගින් දීර්ඝකාලීනව රට තුළ ගැටුම් නිර්මාණය කිරීම වළක්වා සැබෑ ලෙසම ජාතික සමගිය සහ සංහිඳියාව රට තුළ ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා

1. පළාත් පාලන ආයතන මට්ටමට විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කළ යුතුය.

2. පාර්ලිමේන්තුවට පවරා ඇති ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීම හෝ ද්විතීක ආයතනවලට පවරාදීම නොකළ යුතුය.

3. පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය තුළ විධිමත්ව ඒකාබද්ධ කිරීම සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සංවර්ධන සභාවක් පිහිටුවිය යුතුය.

4. පළාත් සංවර්ධන සභාවට පාර්ලිමේන්තුව විසින් නීතිය මගින් පවරා දෙන විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයෙකු සහ සම්බන්ධීකාරක අමාත්‍යවරුන් පත්කළ යුතු අතර සම්බන්ධීකාරක අමාත්‍යවරයෙකු විසින් අමාත්‍යාංශ කිහිපයක වගකීම් ආවරණය කළ යුතුය.

5. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් සංවර්ධන සභාවේ සැලසුම් සහ මඟපෙන්වීම අනුව කටයුතු කළ යුතුය.

6. මහජනයාට රාජ්‍ය පාලනයට දායකවීම සහ මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ සමාජ වගවීම සහතික කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් ජනසභා පිහිටුවිය යුතු අතර පළාත් මට්ටමින් ජනසභා නියෝජිත සමුළුවක් පිහිටුවිය යුතුය.

7. ජාතිකත්වය, භාෂාව, ආගම හෝ කුලය හෝ ප්‍රදේශය මත පදනම්ව කිසිදු රටවැසියෙකුට වෙනස් ආකාරයට සැලකීම සිදු නොවන බව සහ සමානාත්මතාව සහතික කිරීම සඳහා ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් අයිතිවාසිකම් කොමිෂන් සභා පිහිටුවීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වාදිය යුතුය.

8. දැනට පවතින 1957 සමාජ දුබලතාවයන් වැළැක්වීමේ පනත තවදුරටත් ශක්තිමත් කර බලාත්මක කළ යුතු අතර ඊට අදාළ පසු විපරම් සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවිය යුතුය. ඒ මගින් උතුරේ කුල පීඩනය නිසා සමාජ ආර්ථික පීඩනයට ගොදුරුව සිටින 65%ක පමණ ජනතාව සවිබල ගැන්විය යුතුය.

9. උතුරු පළාත්, නැගෙනහිර පළාත් සහ ඒ ආශ්‍රිතව යුද්ධය නිසා පීඩාවට පත්වූ ජනතාව අයත් වන ආකාරයට ඒකාබද්ධ පුනරුත්ථාපන සහ සංවර්ධන අධිකාරියක් පිහිටුවීම මෙන්ම ඒ සඳහා ජාතික අරමුදලක් පිහිටුවිය යුතුය. ඊට අමතරව ඒ සඳහා ආරක්ෂක හමුදා සතු පිරිස් බලය සිවිල් ඇඳුමින් ලබා ගැනීම සහ ජාතික මට්ටමින් ස්වේච්ඡා මහජන සහාය ලබා ගැනීම සිදු කළ යුතුය. උක්ත ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීමේදී රටේ නීතිය උල්ලංඝනය නොවන ආකාරයට සහ දේශපාලන බලපෑම්වලින් තොරව සිදු වන බව සහතික කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත බහුපාර්ශ්වීය කාර්යසාධක බලකායක් පිහිටුවිය යුතුය. විශේෂයෙන්ම පුරාවිද්‍යා ආඥා පනත, වන ජීවි පනත, වන සංරක්ෂණ පනත, මහවැලි අධිකාරී පනත සහ ඉඩම් සංවර්ධන ආඥා පනත ආදී අදාළ නීතිමය රාමුවලට යටත්ව සංවර්ධන ක්‍රියාවලිය සිදු කෙරන බව සහතික කළ යුතු අතර විධායකය හෝ ප්‍රාදේශීය දේශපාලන නායකයින් විසින් එම ක්‍රියාවලියට එරෙහිව බාධා පැමිණවීම වැළැක්විය යුතුය.

10. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ යෝජනාව පරිදි නොබැඳි ජාතීන්ගේ සමුළුව විසින් ඉදිරිපත් කරනු ලදුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1971දී සම්මත කළ 2832 යෝජනාව පරිදි සහ ඊට අනුව පිහිටුවා ඇති ඉන්දියානු සාගර වළල්ල සංවිධානය(AORA) මගින් ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය බලාත්මක කළ යුතුය.(ඊට අනුව ඉන්දියානු සාගර කලාපයේ කිසිදු රටකට ආරක්ෂක හෝ යුද ගිවිසුම් අත්සන් කිරීම සඳහා මහා බලවතුන් විසින් බලපෑම් නොකළ යුතුය) ඊට සමගාමීව ස්වාභාවික යුක්තිය එනම් චෝදනාවක් එල්ල කළ විට ඊට පිළිතුරු බැදීමේ අයිතිය ඉල්ලා සිටීම මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් ජාත්‍යන්තර බලපෑම්වලට ප්‍රතිඵලදායක ලෙස මුහුණ දිය යුතුය. (ඒ සඳහා දැනටමත් ලබාගෙන ඇති ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින් 5 දෙනෙකු විසින් සකස් කර ඇති වාර්තා 6ක් සහ එංගලන්තයේ නේස්බි සාමිවරයාගේ ඉදිරිපත් කිරීම් යොදාගත යුතුය)

විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-07-26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress