ඉඩම් ප්‍රතිසංස්කරණයට අවුරුදු 50  යි. පවරාගත් ඉඩම් වලට මොකද වුණේ? – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on August 9th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  වීර මොණරවිල කැප්පෙටිපොල ජාතික පදනම    මාතලේ මහ නගර සභාව මගින් ඉදිකළ වීර පුරන්අප්පු විරුවාණන්ගේ පිළිරුව විවෘත කිරීමෙන් අනතුරුව මාතලේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ 2023.08.08 දින  පැවති 175 වන  සමරු උත්සවයේදීය.  

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

  අධීරාජ්‍යවාදීන්,  මෙරට පාලනය භාරගෙන අත්සන් කළ ගිවිසුම කඩ කරන්න පටන් ගත්තා. වර්ෂයෙන් වර්ෂය එම ක්‍රියාදාමය දරුණු වුණා. බුදු දහමට දුන් පොරොන්දු කඩ කරන්න පටන් ගත්තා.  අපේ රටේ නීති කඩන්නට  සුද්දන්ට අයිතියක් කොහෙන්ද ආවෙ. එය කියාපාන්නට අපේ වීරෝදාර නායකයින් නැගිට්ටා. පුරන් අප්පු අවදි කළේ මුළු ජාතියක්. මුළු මහත් රට වැසියා වෙනුවෙන් අසාධාරණය හා කෲරකම් වලට එරෙහිව කටයුතු  කිරීමේ අති මහත් වූ අභිමානවත් ගමනට පණ දුන්නා.

දරුණුතම මිනිස් සංහාරයක් සිදු කළ සුදු ආණ්ඩුව කෲර  පාලනයක් ගෙන ගියා පමණක් නොව හැදෙන වැඩෙන පොඩි දරුවන් පවා ඝාතනය කළා. අදත් එයට වන්දි ගෙවා නැති  බව ප්‍රකාශ කළ යුතුයි. පසුගිය කාලයේ ලන්දේසි පාර්ලිමේන්තුව  ප්‍රකාශයක් කළා. යටත් කරගත් රටවල් වල ජනයාට  හා දේපල වලට කරන ලද හානියට සදාකාලික සමාව අයදිනවා කියලා. එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශනයක් නෙදර්ලන්තය  සිදුකළා. මා මෙය සිහිපත් කරන්නේ අයැද සිටින්න නොවේ. නමුත්  සාධාරණය  මත ජීවත් වූ  රටකට පැමිණ බලෙන් සියලු දේ මංකොල්ල කමින් පාලනය ගෙන යාමේ  වරද ඔවුන් යළි යළිත් සිහිපත් කළ යුතුමයි.

 ඉංග්‍රීසින් නීතිය හැදුවේ කොහොමද? මේ රටට බලෙන් ඇවිල්ලා, මෙහි  පාලකයන් හැටියට ප්‍රකාශයට පත් කරලා, අපේ රටේ ගම් දනවු ඉඩම් ඔවුන්ගේ අයිතිය බවට ප්‍රකාශ කළා. මොන අයිතියක් ද?අපේ රටට නැති වුණ දේ යළි දිනා ගන්නට සටන් කළ නිදහස් සටනේ වීරවරයන් ආරම්භ කළ ක්‍රියාදාමයන් ගැන අපට අද සැනසෙන්නට පුළුවන්. අද අපි ඒ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.

  එදා එංගලන්ත පවුම් දෙකට, තුනට මේ උඩරට අක්කර සිය ගණන් භාරදෙන්න සිද්ධ වුණා. ඔවුනට එරෙහිව අපේ මිනිසුන් සටන් කළා.  කැඳවන ලද නඩු වලදී මෙම වීරවරයන්  වෙඩි උණ්ඩයට බයේ තමන්ගෙන් අහන දේට දිය යුතු පිළිතුර වෙනස් කළේ නැහැ. එලෙස අභිමානවත්ව ජාතියේ අනාගතය අවදි වෙන්නට  බියක් සැකක් නැතුව වචන ඉදිරිපත් කළා. අදත් ඒ පිළිබඳ පොතක් කියවන කොට හැම කෙනෙක්ගේම හදවත් අවදි වෙනවා. මේ ගම් නියම් ගම් ගොවිතැනින් ස්වයංපෝෂිත භූමියක් පමණක් නොවෙයි. අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ලන්ම ස්වයංපෝෂිත වුණ  ගම්මාන අපිට තිබුණා. එදා ඒවා ක්‍රමානුකූලව යටත් කරගනිමින් තමන්ට ඕන දේ නිෂ්පාදනය කිරීම සඳහා විදේශ සමාගම් වලට දුන්නා. 1848 පුරන් අප්පු ජාතික වීරවරයා, 1818 කැප්පැටිපොළ වීරවරයා  සටන් කළ අරමුණ එදා දිනුවා නම් මේ අපරාධය අපේ මහ පොළොවට වෙන්නේ නැහැ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවක් ගෙනාවා. දැන් අවුරුදු 50 යි. අවුරුදු 50 ක් ගිහිල්ලත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් අයිති වුණු ඉඩම් වලට මොකද වුණේ? අපේ අහිංසක ගම්මු න්ට දුන්නද ? එහෙම නැත්නම් අපේ ගම් ගැන වෙන ක්‍රමයකට ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් ප්‍රතිඵල ගෙනාවා ද? ඒ දෙකම වෙලා නැහැ. කන්ද උඩරට දැනට හරියාකාරව පාවිච්චි කරලා නැති  හැම බිම් අඟලක්ම නව පනත යටතේ ආපසු ගම් වලට දෙන්න ඕන.

එහෙම ලබා දෙන සංවර්ධන  වැඩපිළිවෙලක් දියත් කරලා  පුනර්ජීවනයේ ඉදිරිය හැටියට  ගම පත් කරන්න ඕනේ. එහෙම නොකලොත් අපේ අලුත් පරම්පරාවට, අපේ හැදෙන වැඩෙන පරම්පරාවට, ඒ අනාගතය මෙහෙයවීමට පුළුවන් ශක්තියක් හරියාකාරව සම්පූර්ණ වෙන්නේ නැහැ. නව පරම්පරාවට අලුත් වගාවන් කිරීම සඳහා ඉඩම් ලබාදීම ආරම්භ කළොත් කැරැල්ලේ විරුවන්ගේ සටනට අර්ථයක් එක්කලා වෙයි.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටෙගොඩ, යදාමිණි ගුණවර්ධන, මාතලේ දිසාපති තේජානි තිලකරත්න, නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ, වීර මොණරවිල කැප්පෙටිපොල පදනමේ සභාපති වෝල්ටර් තැන්නෙ අතුළු පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress