1987 ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අස්සන් කරන කොටත් ඉන්දියාව ගැන ජවිපෙට අද තියෙන ‘හොඳ හැඟීම’ තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරාගන්න තිබුණා
Posted on August 17th, 2023

 Lanka Lead News

1987දී ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අස්සන් කරන විට ඉන්දියාව ගැන ජවිපෙ අද කියන ‘හොඳ හැඟීම’ තිබුණා නම් හැටදාහක ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබූ බවත්, 13 වන සංශෝධණය පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද අකමැත්තක් නැති බව අනුර දිසානායක මහතාගෙන් මෑතකාලීන අදහස් දැක්වීම් වලින් පෙනී යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අපි දැක්කා මේ ළඟදි අනුර දිසානායක මහත්තයා කියනවා, ‘අපි ඉන්දියාව පිළිබඳ මේ වන විට බොහොම හොඳ හැඟීමක ඉන්නවා’ කියලා. එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අස්සන් කරන කොටත් ඉන්දියාව ගැන ඔය ‘හොඳ හැඟීම’ තිබුණා නම් හැටදාහක ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබුණානේ. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරලා මේ රටේ හොඳම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන් ජීවිත පූජා කළා. ඉන්දියාව ගැන ‘බොහොම හොඳ හැඟීමක්’ තිබුණා නම් දේශප්‍රේමීන්ගේ හා හමුදා පිරිස්වල ජීවිත රැක ගන්න තිබුණානේ. මේ වක්‍රාකාරයෙන් අනුර දිසානායක කියන්නේ කුමක්ද? ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න’ කියලා අපට බලපෑම් කරන්නේ ඉන්දියාවයි. දැන් අනුර දිසානායක ඉන්දියාවට ආලය පෑමෙන් පෙනෙන්නේ තමුන් 13 පූර්ණ ලෙස බලාත්මක කිරීමට එකඟයි, කියන එක නොවෙයිද? අපි අනුර දිසානායක මහත්තයාට කියනවා, ‘ඔය වහෙන් ඔරෝ භාෂාවෙන් දේශපාලනය කරන එක තවදුරටත් වලංගු නැහැ. කෙලින් තමන්ගේ ස්ථාවරය රටට ප්‍රකාශ කරන්න’ කියා.

13 ‘අත්බෝම්බයක්’

සියලු ප්‍රශ්න යට ගහන්න ජනාධිපතිවරයා දැන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැන කතා කරනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‘අත්බෝම්බයක්’ වගෙයි. 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවා කියන්නේ ඒ අත්බෝම්බයේ ‘පින් එක’ ගලවනවා වගේ වැඩක්. එතකොට බෝම්බය පිපිරෙනවා. ඒක තමයි හිටපු ජනාධිපතිවරුන් කිසි කෙනෙක් 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා, පළාත් සභාවලට පූර්ණ බලතල දෙන්න නොගියේ.

ගොළු න්‍යාය එපා!

දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරනවා’ කියලයි කියන්නේ. පසුගිය සතියේ දිනෙක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා, ඇතමුන් තම අදහස් දැක්වූවා. නමුත් අපි දැක්කා සමහර දේශප්‍රේමි – ජාතිකවාදී සළු පොරවා ගත් පිරිස් ජනාධිපතිවරයාගේ කතාව මැද්දෙ හෙමිහිට මාරු වෙලා යනවා. මේ වෙලාවේ කිසිවකුත් ගොළු න්‍යායෙන් උත්තර දිය යුතු නැහැ. ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා රට බෙදනවාට පක්ෂද? විරුද්ධද?’ කියලා කෙලින් රට ඉදිරියේ කිව යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress