වර්තමාන අවශ්‍යතාවය සම්ප්‍රදායෙන් බැහැර නව්‍යකරණයෙන් යුතු තාක්ෂණික විසඳුම්…- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  
Posted on October 20th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  අද (2023.10.20) BMICH හිදී පැවති Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

ආර්ථික අර්බුදයෙන් මිදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ඉංජිනේරුකරණයයන තේමාව යටතේ techno2023 සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වෙත ප්‍රශංසාව හිමිවෙනවා. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, නව ව්‍යාපාර  දිරිගැන්වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම ප්‍රශංසනීයයි.  ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් තම අධ්‍යයන විෂය මාලාවේ න්‍යායන්ට පමණක් සීමා නොවී රට මුහුණ දෙන ආර්ථික අභියෝග රාශියකට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.  

1985 වසරේ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස IESL පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට එවකට අමාත්‍ය පී. දයාරත්න මහතාට සහය දුන් අයුරු මට සිහිපත් වෙනවා. අපේ රට තාක්‍ෂණික විශිෂ්ටත්වය කරා ගෙනයාමට සහ  ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ බහුවිධ ඉංජිනේරු කුසලතා එළිදැක්වීමට  ඉංජිනේරු සහ තාක්‍ෂණ පිළිබඳ ප්‍රමුඛ වෘත්තීය ආයතනයක් ලෙස IESL හි කාර්යභාරය අගය කරනවා.  

කොවිඩ් 19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ගෝලීය ආර්ථික පසුබෑම නිසා ආර්ථික  අවපාතයකට, ඉහළ විරැකියාවකට, උද්ධමනයකට සහ පුළුල් වන වෙළඳ හිඟයකට මුහුණ දෙන්න සිදු වුණා. ආර්ථික අර්බුදය විසඳීමට ඉංජිනේරුවන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි.  ඉංජිනේරුමය විසඳුම් ආර්ථිකය මුහුණ දෙන ඇතැම් අභියෝග විසඳීමට උපකාරී වෙනවා. නිදසුනක් වශයෙන්, යටිතල පහසුකම් සංවර්ධනය මගින් ප්‍රවාහන පද්ධතිය, බලශක්ති උත්පාදනය සහ විදුලි සංදේශය වැඩිදියුණු කළ හැකි අතරම එමඟින් වෙළඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ රැකියා අවස්ථා නිර්මාණය කළ හැකියි.  

එහිදී අදහස් දැක් වූ වැඩ බලන තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතා –

වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා ඩිජිටල් විසඳුම් ලබා දෙන ලෙස  ඉංජිනේරු සහ තාක්ෂණ විශේෂඥයින්ගෙන් ඉල්ලා සිටිනවා. එමඟින් දළ දේශීය නිෂ්පාදනයට ඩිජිටල් ආර්ථික  දායකත්වය රුපියල් බිලියන 3.8 සිට බිලියන 5 දක්වා වැඩි කළ හැකියි.  විදේශ ආයෝජන ආකර්ශනය කර ගත හැකි, දේශීය හා විදේශීය රැකියා අවස්ථා උත්පාදනය කළ හැකි, නවෝත්පාදන ප්‍රවර්ධනය කළ හැකි දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කිරීමට ඉංජිනේරු විසඳුම්වලට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු. Techno2023   නියෝජ්‍ය විධායක ලේකම් අර්. බී. එම්. ගුණවර්ධන, IESL හි හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress