වන අලි සුරක්ෂණය වන ජීවී දෙපාර්තමේන්තුවට පමණක් තනිව කල නොහැක – හමුදා සහාය ලබා දිය යුතුයි
Posted on November 25th, 2023

චානක බණ්ඩාරගේ

අලි ඇතුන්ගේ වන ඉඩම් ආක්‍රමණය කර ඇත්තේ මිනිසුන් විසිනි. අලි ඇතුන් තවත් යා යුත්තේ කොතැනටද? දිනකට වල් අලියෙක් පමණ මැරෙණ තැනට අද රට පැමිණ ඇත.

වල් අලින් ආරක්ෂා කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුවට තනිව කල නොහැකි බව ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා අවසන්ය.  සිවිල් ආරක්ෂක භටකාය විසිරුවා හැරීමට නියමිත නිසා මින් ඉදිරියට අලි වැටවල් බලා ගැනීමටද කෙනෙක් නොමැති වනු ඇත.

වන ජීවී දෙපාර්තමේන්තුවට යුධ හමුදාවේ ක්‍රියාකාරී සහාය ලබා දීම අත්‍යාවශ්‍ය වේ.

අලි – මිනිස් ගැටුමේදී වන ජීවී දෙපාර්තමේන්තුව අලින්ගේ පැත්තට වඩා මිනිසුන්ගේ පැත්ත ගෙන කටයුතු කර තිබෙන බවට පරිසරවේදීන් චෝදනා කර තිබේ.  බොහෝ තැන් වල වන ජීවී දෙපාර්තමේන්තුව පැමිණෙනුයේ අලි – මිනිස් ගැටුම් වල දරුණුම තත්වයන් අවසන් වූ පසුය.

වනය ආරක්ෂා කලයුතු වන ජීවී නිලධාරින් වනයේ වටිනා ගස් කපා විකුණන බව ප්‍රසිද්ධ වන භූමියක් අසළ නිවසක ජීවත්වන කාන්තාවක් මෙම ලියුම්කරු සමඟ පැවසීය.  

අලි ආරක්ෂා කරන්නේය කියා අලි තර්ජිත ගම්වල වන ජීවී නිලධාරින් සහ ගම් වැසියන් අතර බහින් බස් වීම්, ගැටුම් ඇතිවී තිබේ.

මෙවර අයවැයෙන් පරිසර අමාත්‍යාංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 36ක් වැනි සොච්චම් මුදලක් වන අවධියේ, රටේ දැනට ඉතිරි වී සිටින අලි ටික හෝ ආරක්ෂා කිරීමට රජයට උවමනාව ඇත්නම් වන ජීවී දෙපාර්තමේන්තුවට යුධ හමුදාවේ ක්‍රියාකාරී සහාය ලබා දීම කල යුතුම දෙයකි. යුධ හමුදාවට බොහෝ පිරිස්, වාහන, උපකරණ බලය තිබේ. මෙවර අය වැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 600ක පමණ  මුදලක් වෙන් කර තිබේ.

මෙය කල පසු, රජය මේ අයට (වනජීවී සහ හමුදාව) තදින් නිර්දේශ ලබා දිය යුතුයි. කැලෑ එළිකරන්නන්, අලින්ව මරන්නන් නිරන්තරයෙන් පිරික්සා ඔවුනට  එරෙහිව දැඩි දඩුවම් නිතී මඟින් ලබා දීමට කටයුතු කල  යුතු බවට.

රජයන් පවසන්නේ අද ශ්‍රී ලංකාවේ වල් අලි 6000ක් ඇති බවයි. අද ලංකාවේ වනාන්තරවල අලි 2000ක් වත් ඉතුරුව නැතැයි එක් පරිසර විද්‍යාඥයෙකුගේ උපකල්පනය වේ තිබේ.  මේ මැරෙන විදියට අලි 1500ක් වත් ඇද්ද?

අලි සංගණනයක් කියා කලේ මුලාවක් බවයි ඔහුගේ අදහස, එහිදී එකම අලියා දෙතුන් වතාවක් ගැන තිබේ.

වනජීවී උද්‍යෝගිකයෙකු මෙම ලේඛකයාට පැවසුවේ අද වනාන්තරයේ වෙසෙන, වෙඩි තැබීමේ තුවාලයක් නොමැති වැඩිහිටි අලියෙකු සොයා ගැනීම පවා අපහසු බවයි. මෙය ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතු දෙයකි.

වනයේ අලියෙක් අඩු තරමින් රුපියල් ලක්ෂ 100ක් වත් වටී. හොඳම තත්ත්වයේ ළපටි/තරුණ අලියෙකුට ලෝක වෙළඳ පොලේ ඇති වටිනාකම ඉතාම ඉහලය; රුපියල් ලක්ෂ 200/300 ක් පමණ විය හැක. මෙවන් තත්ත්වයක, අලියා යනු අධි ආර්ථික වටිනාකමක් ඇති සතෙක් බවට හෝ සලකා හෝ, අලින්ව ආරක්ෂා කිරීමට රජයන් මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි (පුරාණ රජ කාලයේ ශ්‍රී ලංකාවෙන් අලින් පිටරටවලට විකුණා මුදල් උපයා තිබේ – පැරණි පෘතුගීසි සමයේ වාර්ථා බලන්න. Elephant Pass (අලි මංකඩ) යනු එදා කන්ද උඩරට රජුන් මාන්තොටින් (තලේමන්නාරමින්) අලින් පිට කර යැවීමේදී, අලින්ව රැඳවු/ගමන් කරවූ ප්‍රධාන මාර්ගයකි. 

අලි කොරිඩෝවන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින්නාවූ දේය. අලි ඇතුන් අප විසින් සාදන නව අලි කොරිඩෝ භාවිතා කිරීමට පටන් ගනී යයි අප අපේක්ෂා කිරීම මෝඩකමකි.

අලි වැට අඩු ධාරිතාවයකින් යුත් විදුලි රැහැනකින් (වෝල්ට් 110) විය යුතුය. සමහර ගම්මු මේවා වෝල්ට් 220 ක දක්වා හොරෙන් වැඩි කර, එවැනි රැහැන් මඟින් අලි ඇතුන් විදුලි සැර වද්දවා මරා දමා  ඇති බවට වූ කථා මෙම ලේඛකයා අසා තිබේ.

අලින්ට වෙඩි තැබීමට හක්කා පටස් ඇටවීමට, වගා ලිං වල ගිල්වීම, විදුලි රැහැන් ඇටවීමට වැනි  ක්‍රියාවන් වලට මිනිසුන් පෙළඹෙන්නේ වෙනත් කිරීමට දෙයක් නැති නිසාත්, අලි මරා දැමීමට වග කිව යුත්තේ   අලි-මිනිස් ගැටුමට මැදිවී සිටින මිනිස්සුන් නොවන බවටත් මතයක් දැන් ගොඩ නැගී ඇත. මේ මඟින් සහාසික ලෙස නිරන්තරයෙන් සිදුකරන අලි මරණ සාක්ෂාත් කිරීමට ඇතැමුන් උත්සහ දරත්. මිනිසුනට කලින් ඒ ප්‍රදේශවල (වන වල) වාසයේ කලේ අලින් බව අප සිහිතබා ගත යුතුය.

මනම්පිටිය රෝහලේ කසළ අලි වනාන්තරයක් අසල දමන බවට ප්‍රවෘත්ති පලවී තිබුණි. ඒ කුණු අතර ලේ පෙගුනු වෙළුම් පටි, ඉන්ජෙක්ෂන් සිරින්ජර්, හිස් බෙහෙත්/සේලයින් බෝතල් ඇතුළත්ව තිබී ඇත. මේ නිසා එම ප්‍රදේශයේ අලි ඇතුන් මියගොස් තිබේ. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ද්‍රව්‍ය ඔවුන්ගේ බඩවැල්වල අඩංගුව තිබු බවයි. පොළොන්නරුව යනු හිටපු ජනාධිපතිවරයෙකුගේ ආසනයයි.

මඩකලපුව – කොළඹ දුම්රිය දිගින් දිගටම අලි ඇතුන් වෙත දුම්රිය මාර්ගය තුලදී පිවිසීමෙන් පෙනී යන්නේ මෙම වැදගත්, බරපතල ගැටළුව විසඳීමට අප තදින්ම අපොහොසත් වී ඇති බවයි. අලි ඇතුන් රාත්‍රීයේ දුම්රිය මාර්ගයට පිවිසෙන්නේ උණුසුම සහ නැවුම් වාතය ලබා ගැනීම සඳහායි.  මෙම සමහර ප්‍රදේශවල පුරාණ අලි කොරිඩෝ (අලි මන්කඩන්) ඇත. පැයට කිලෝමීටර 20 ක පමණ වේගයෙන් හෝ මෙම ප්‍රදේශවල දුම්රිය ධාවනය කරවා  මෙම අලි මරණ නතර කර ගත හැකි වේද?

සමහර මඩකලපුව – කොළඹ දුම්රිය රියදුරන් උවමනාවෙන් දුම්රියට අලින් යට කරත්ද? රියදුරන්ගේ අලි මරණ ඉතිහාසය ගැන සොයා බැලිය යුතුයි.

අලි පැටවුන් මඩකලපුව – කොළඹ දුම්රියට හසු වූ විට, දිවි ගලවා ගත් වැඩිහිටි අලි ඇතුන් එම ස්ථානයේ රැඳී සිටිමින් දින කිහිපයක් විලාප තැබූ බවට පුවත්පත් වාර්තා පලවී තිබුණි.

අලි – මිනිස් ගැටුම තදින් දැනෙන සේ ඇරඹියේ මීට වසර 45 කට පමණ පෙර ඇරඹි කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට ස්තුතිවන්ත වෙන්නය. මහවැලිය වෙනුවෙන් කුළුදුල් වනාන්තර හෙළි පෙහෙළි කලේ අක්කර දස දහස් ගණනින්ය.

අපට 1948 නිදහස ලබන විට රටින් 49%ක්  මහා වනය විය.  2012 දී මේ ප්‍රමාණය 16.5% දක්වා අඩුවී තිබුණි. මේ ප්‍රමාණය එන්න එන්නම ක්ෂයව යයි. අද නියම වනාන්තර මේ රටේ භූමියෙන් 10%ක් වත් වේද?

නමුත්, ජනයා මුළා කිරීම සඳහා රජයන් කියන්නේ මේ සංඛ්‍යාව 30% පමණ වන බවයි. වන ගහනය තවත් වැඩි කරන බවට බොරු  දෙසා බායි.

යාල, විල්පත්තුව,  හැරුණු විට බොහෝ කෑලෑ අද දක්නට ඇත්තේ මතුපිටින් පමණි? වනාන්තරවල ඇවිදින විට, මිනිසා (බලගතු අයවළුන්) සෑම වනයක්ම අභ්‍යන්තරයටම වාගේ අත්පත් කරගෙන ඇති බව පෙනේ. දැන් මෙය වඩාත් සිග්‍රයෙන් සිදුවේ.

මන්ද, රජයන් ඒ දේට නියමින්/අනියමින් සහයෝගය දීමයි. සමහර ප්‍රදේශවල කැලෑ එලි කර ඒවායේ  එළවළු, පලතුරු වවන්නේ හෝ එවැනි දේට අනුබල දෙන්නේ ප්‍රදේශයේ විහාරයේ ප්‍රධාන සංඝයාවහන්සේයි. 

මුලතිව්හි තෙන්නමරච්චි සිට ජනකපුර දක්වා කැලෑ ඩෝසර් කරමින් පවතී. මෙය වැලිඔය, හැලම්භ වැව, සිංහපුර ප්‍රදේශවල ගම්වාසීනට තර්ජනයකි. උතුරේ/නැගෙනහිර සිංහලයා තව තවත් සුළු ජාතියක් කිරීමේ තැතක් ලෙස ඇතැමුන් මෙය දකිත්. නැගෙනහිර පළාතේ පොතුවිල් – මඩකලපුව මාර්ගයේ උරානි ප්‍රද්ශයේ පසුගිය දිනවල දැවැන්ත වන සංහාරයක් සිදු වෙමින් පැවතුණි. මෙය රජය දැනුවත්ව සිදුවන්නක් විය යුතුය. මන්ද, මෙහි ලඳු කැලැව කපන්නේ තිරුක්කෝවිල් සහ ඒ අවට දෙමළ ජනයා මේ ප්‍රදේශයට ගෙනැවිත් පදිංචි කිරීමට යයි පොතුවිල්හි මුස්ලිම් ජනයා පවසන නිසාය. මහ කැලයට ඉතා ආසන්න – රාත්‍රීයට වන අලි මේ ප්‍රදේශයට ඒම නතර කර, මෙහි නව දෙමළ ජනපද සැදීමට යන බවයි බැලු බැල්මට පෙනීමට තිබුනේ.

පුත්තලම, කැකිරාව, තලාව, මැදවච්චිය, දකුණේ සුරියවැව, බුන්දල ඝන කැලෑ තිබු ප්‍රදේශය. අද ඒවා නැත හෝ ඉතා අඩුය. ඒ කැලෑ කපා විනාශ කර දමාය.

අතිශයින් ආරක්ෂා කල යුතු සිංහරාජ වනය මැදින් පවා බස්  යන පාරවල් අප මෑතකදී කැපුවෙමු.

අද සිංහරාජයට අලි 1ක් හෝ 2ක් පමණක් සීමාවී තිබේ. එදා දෙනියාය, රක්වාන, ඇඹිලිපිටිය ප්‍රදේශවල පවා අලින් සැරි සැරූ වනයන් තිබී ඇත. 

මත්තල අනවශ්‍ය ගුවන් තොටක්, සුරියවැව අනවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සාදා ඒ කැලෑ වල සිටී වන සතුනට යන එන මං නැති කලේ එකල වූ රජයයි. මෑතක, අම්බලන්තොට නගරයටද රාත්‍රී කාලයේ අලි පැමිණ ඇත.  ඇඹිලිපිටිය නගරයට දහවල් කාලයේ වල් අලියෙක් පැමිණ ඇත. මත්තල/සුරියවැව වනයේ සිටී මොනරුන් සහ වඳුරන් කෑම සොයා අද අහංගමට, හුන්ගමට යත්.  මේ සතුන් අධික පීඩනයෙන් ජීවත් වෙත්.

දැන් හිගුරක්කොගොඩට නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදි කිරීමට රජය සැරසේ. මෙයද අද රටේ අවශ්‍යතාව? මත්තල සුදු අලියාගෙන් අප පාඩමක් ඉගෙන නොගත්තෙමුද? මෙම කාර්යය රටේ තවත් අලි මරණ වැඩිවීමක් නොවන්නේද?

 යාල, විල්පත්තු මැදින් පවා යන පාරවල් කපා තිබේ. මෑතකදී ඉදි කරන ලද B  35 නවීන පාර යාලට තදබලම තර්ජනයකි.

වනසතුන් සිටිනා භූමියක් මැදින් වාහන ගමන් කිරීම පිණිස නව පාරවල් තනනවා යනු එය එම සතුන්ගේ සහ අභය භුමියේ අවසානය ලඟා කර දීමකි.

සමහර වාහන හිමියන් බලෙන්ම මෙම වනසතුන්ව, අලින් පවා, හප්පා ගෙන යන දර්ශණ සමාජ මාධ්‍යන්හි ප්‍රචාරය වී තිබේ.

මනුෂ්‍ය ආක්‍රමණ, වනයන් තුල හෝටල් ඉදි කිරීම ආදිය  නිසා මේ වනභූමි දෙකද කුඩා වෙමින් පවතී.  යාල තුල පමණක් තරු පන්තියේ ඇතුළු සංචාරක හෝටල කොපමණ ඉදි කර ඇද්ද?

රජයන්හි සැඟවුණු අරමුණ ජනයාට රිසි සේ කැලෑ කැපීමට, කැලෑ තුලට ගවයන් දැක්කීම වැනි දේට  ඉඩ දී, යාල, විල්පත්තු වැනි අභය භුමි වලට පමණක් අලින් ඇතුළු වන සතුන් ජීවත්වීම සීමා කිරීමද?   අපට පෙනෙන්නේ එයයි.

වනයන් රැකීමට රජයන් දක්වන උකටලීභාවය නිසා රජයනට මෙවන් සැඟවුණු අභිමතාර්ථයක්  ඇද්දැයි සිතේ.

කැලෑ එලි කිරීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය ඉහල යනු ඇතැයි, විශේෂයෙන්ම 2019 පසු  රජය සිතන බවක් පෙනේ. මෙය මෝඩ ආර්ථික ප්‍රතිපත්තියකි.

අද වායු රයිෆලයක් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් මිලදී ගත හැක. මේ වෙළඳාමේ යෙදෙන්නේද දේශපාලනඥයන්ද?

වල් ඌරන් වෙඩි තැබීමට විරුද්ධව තිබු නිතීය දැන් ඉවත් කරගෙනය.

කැලෑ එළිකිරීම නිසා වඳුරන්/රිලවුන්ගේ ප්‍රශ්ණය තීර්ව වී තිබේ. මෙය විසඳන්නේ ඒ සතුන්ව චීනයට පැටවීමෙන්ද?

කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර දිස්ත්‍රික්ක සහ මෑතක සිට හම්බන්තොට,  අපේ අලින්ට ඉතාම අපල ප්‍රදේශයි.   

උඩවලවේ යනු අලින් වෙනුවෙන් බිහි කල අභය භූමියකි. එය තුලට අවට ගම්වාසින් තම කිරි ගවයන් දක්වති. මේ ගවයන් කන්නේ අලි, විශේෂයෙන්ම අලි පැටවුන් කන තණකොළමය.  වනජිවීයේ නිලධාරීන් ගවයන් දැමීමට ඉඩ නොදෙන විට ඇතැම් දේශපාලනයෝ ගවයන්ව අභය භුමිය තුලට දැමීමට ඉඩ දිය යුතුයි කියා කෑ ගසති. කලින් කී පරිදි, ඔවුන් මෙසේ කෑ ගසන්නේ තම චන්ද ගොඩ වැඩි කරගැනීම ගැන සිතායි; අපේ පරිසරය සහ වනජීවීන් ආරක්ෂා කරගත යුතු යයි ඔවුහු නොසිතත්.

මොරගහකන්ද ජලාශයෙන් එන ජලය නිසා මින්නේරි වැව දැන් සැමදා පිරී පැවතී. මෙය වී ගොවියනට ආශිර්වාදයකි. නමුත්, අගෝස්තු/සැප්තැම්බර් මාසවල මෙම වැව සිඳී පැවතිය යුතුය. මන්ද අලි පැටවුනට අත්‍යාවශ්‍ය විල්ලු මෙන් තණ මෙසේ  ජලය අඩුකම නිසා නිරාවරණය වන වැවේ හට ගනී. සිය ගණනින් අලින් ඒ කාලයට මෙම වැවට එක් රොක්වන්නේ එහෙයිනි. නමුත් දැන් මෙය සිදු නොවේ හෝ සිදුවන්නේ අඩුවෙනි.

මෙය මේ රටේ සංචාරක කර්මාන්තයට තදබල පහරකි. ලෝකයේ ලොකුම වන අලි එකතුව වන මෙය නැරභීම සඳහාම ශ්‍රී  ලංකාව වෙත පැමිණෙන සංචාරකයන් මෙහි නොපැමිණෙනු ඇත.

සංචාරක කර්මාන්තය දියුණු කල යුතුයයි රජයන් පුන පුනා කියයි. සංචාරකයන් මේ රටට එන්නේ කැලයේ සිටින අලින් බැලීමට බවද රජයනට අමතකවීද?

රටේ වන සම්පත අප නැති කර සංචාරක කර්මාන්තයද අප නැති කර ගන්නෙමු.

එය රටවැසියාට තේරෙන විට සියල්ල සිදුවී හමාර වේ.

මේ සා විශාල ප්‍රශ්නයක් විසඳීමට රජයනට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැතිකම සහ ඒ පිළිබඳව දිවා රෑ නොතකා විසඳුම් සෙවීමට උත්සුක නොවීමෙන් පෙනෙන්නේ මෙතෙක් වූ  රජයනට රටේ සහ මිනිසුන්ගේ මෙම දැවෙන ප්‍රශ්නය ගැන අවබෝධයක් නොමැති කමත්, එයට පැහැදිලි, සාර්ථක විසඳුම් ලබාදීමට අවශ්‍ය වූ තදබල කැපවීම සහ උවමනාව නොමැති බවත්ය.

දේශපාලනඥයන්ගේ උවමනාව රටේ සහ මිනිසුන්ගේ ප්‍රශ්ණ විසඳීම දෙවෙනි කොට, කෙසේ හෝ තම දේශපාලන බලය ස්ථාවර කර ගැනීමය. අලින් (ඇතුළු වන ජීවීන්ට) චන්දයක් නොමැති නිසාත්, මිනිසුනට  චන්දයක් තිබෙන නිසාත් මේ ප්‍රශ්නයේදී දේශපාලනඥයෝ සෑම විටම චන්දදායකයන්ගේ පැත්ත ගනිති.

මෙය රටේ සෑම දේශපාලන පක්ෂයකටම පොදුවූ තත්ත්වයකි – පොහොට්ටුව, ශ්‍රීලනිප, එජාප, සජබ, මාලිමාව.

මේ සැවොම ගන්නේ අලින්ව මරණ මිනිස්සුන්ගේ පැත්තයි, අසරණ, අහිංසක අලින්ගේ පැත්ත නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු රටක ප්‍රශ්ණ විසඳීමට වඩා ඒවා වැඩි කරන අවස්ථා ඇති කරන්නක් බව පෙන්වීමට මෙය නිදර්ශනයකි (ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කල යුතුයයි කීමක් නොවේ මෙය).

විසඳිය හැකි මෙම අලි – මිනිස් ගැටුම තවමත් නිරාකරණය නොකීරීමෙන් සහ වැඩි දුර යාමට දීමෙන් අපේ දේශපාලනඥයන් ඔවුන්ගේ නොහැකියාව කදිමට ලොවටම නිරුපනය කර තිබේ.

වන අලින් වෙසෙන ප්‍රදේශයක වූ සිද්ධියක්:

මම කිසියම් වැරැද්දක් කර ඇත්නම් සමාවෙන්න දෙවියනේ. මාව මරන්න එපා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ළමයින් පාසලෙන් නිවසට පැමිණ මා සොයා නොගත් විට ඔවුන් ද සාගින්නෙන් මිය යනු ඇත”.

මේ මවක් අලියාට කිවූ දෙයක්. මර බිය නිසා ඇයගේ මුවින් මේ එක් වදනක් වත් පිට නොවීය. ඇයට කළ හැකි වූයේ අලියාගේ දෑස් දෙස ආයාචනාත්මකව බලා සිවීම පමණි.

අලියා කාන්තාවගේ ඇඟ උඩින් තබා තිබු සිය කකුල ඉවතට ගත්තාය.  මිනිත්තු 2ක් පමණ අලියා ද කාන්තාව දෙස බලා කල්පනා කළාය. ඇයව පාගා දැමීම පිණිස නැවතත් කකුල ඔසවා, එය කාන්තාවගේ ඇඟ මත තැබුවාය. කාන්තාව බොහෝ අමාරුවෙන් අත්දෙක එකතු කර අලියාට යළි  වැන්දාය. අලියා ඇගේ කකුල පසෙකට ගෙන, කකුලෙන් දුහිවිලි අවුස්සා, සෙමෙන් කාන්තාවගෙන් ඉවත්ව ගියාය. 

‘ඔබ විසින් මරා දැමූ මගේ දරුවන්/නෑදෑයින් /මිතුරන් කොපමණ නම් ඇද්ද?  අධි විදුලි කම්බි  රැහැන්, හක්ක පටස්, තුවක්කු යොදා කරන වෙඩි තැබීම වලින් අප මරා දමනවා.  අපට ඉන්න හිටින්න නැති වෙන්න අප ජීවත්වෙන කැලෑ කපා ඒවා අල්ලා ගන්නවා.  – කෲර, නපුරු මිනිසුන්’; ඒ ඇතින්න එම කාන්තාව දෙස විනාඩි 2ක් තිස්සේ බලමින් සිතුවේ මෙය නොවේද?

ඒ ශ්‍රේෂ්ඨ අලියා කාන්තාව නොමරා, ඇගේ ජීවිතය බේරා දී යාමෙන් අපට ඉගැන්වුවේ ඉතා කදිම පාඩමකි – අලියා අපට වඩා උතුම් බවද?

අවමංගල්‍ය කටයුතු වලදී මිනී පෙට්ටි අසල ඇත්දළ ප්‍රදර්ශනය කිරීම නැවැත්වීමට නීති හඳුන්වා දෙනු ලැබුවහොත් වඩාත් සුදුසුය. මෙම භාවිතයෙන් කිසිදු සෙතක් කිසිවෙකුට ඉටු නොවන අතර එය අද සමාජයට සුදුසු ද නොවේ. ඇත්දළ සඳහා නිරන්තරයෙන් අලින් මරා දමනු ලැබේ. වනෝද්‍යාන වල ඉන්නා දල ඇතුන් පවා කෙතරම් වෙඩි තබා/වසදී/හක්ක පටස් ගසා මරා දල දෙක පැහැර ගෙන යත්ද?

අවමංගල්‍ය කටයුතු සඳහා කෘතීම ඇත් දල (ලීයෙන් කැපු ඇත් දල වැනි) භාවිතයට ජනතාව හුරු කළ යුතුයි.

අග්බොට නැවත වරක් වෙඩි තබා තිබේ?

ඇතින්නක් තම පැටියාට දුන් උවදෙස – ‘මිනිසයි කියනා දෙපා සතාගේ ලඟින් ගියත් ඇති පොඩි  පුතුනේ ….‘ (ඇත් ගාලේ දරු පෙම’; රචක – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress