සොමාරාමගේ “රට, ජාතිය, ආගම” ප්‍රකාශය
Posted on January 23rd, 2024

චානක බණ්ඩාරගේ

Lankaweb අඩවියේ කළින් පළවූ ‘Bandaranaike Assassination – due to Banda – Chelva pact?’ යන ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදය, එම මුල් ලිපිකරු විසින්ම.

1956 මැතිවරණ ව්‍යාපාරයේදී බණ්ඩාරණායක මහතා සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කරන බවට පොරොන්දු විය. නමුත් බලයට පත් වූ පසු එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට යම් ප්‍රමාදයන් ඇති විය.

ඒ.පී ජයසූරිය මන්ත්‍රීවරයාගේ මාරාන්තික උපවාසයක් ඇතුළුව ජාතිකවාදීන් විසින් දැඩි විරෝධතා ආරම්භ කරන ලද අතර, එයට හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ එවකට පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා  වූ විමලා විජයවර්ධන මන්ත්‍රීවරියගේ සහ කේ.එම්.පී.රාජරත්න මන්ත්‍රීවරයාගේ විශාල සහයෝගයන් ලැබුණි. බණ්ඩාරනායකට තම ‘සිංහල පමණයි’ ප්‍රතිපත්තිය නීතිගත කිරීම සඳහා නීති සම්පාදනය කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත. පනත 1956 දී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

නමුත් බණ්ඩාරනායකට තම භාෂා ප්‍රතිපත්තිය සමඟ වැඩි කාලයක් ජීවත් වීමට නොහැකි විය. එස්.ජේ.වී. චෙල්වනායගම් (ෆෙඩරල් පක්ෂ නායක) විසින් ඔහුට එල්ල කළ පීඩනය විශාල වූ අතර බණ්ඩාරණායකට එය තවදුරටත් දරාගත නොහැකි විය. ඔහු 1957 දී බණ්ඩාරණායක – චෙල්වනායගම් ගිවිසුම (බණ්ඩා – චෙල්වා ගිවිසුම) අත්සන් කළේය. මේ මගින් සිංහල සහ දෙමළ භාෂා දෙකටම සමාන ස්ථානයන් ලබා දුන් අතර පුළුල් බලතල පරාසයක් ආවරණය විය. නායකයන් දෙදෙනා එකඟ වූයේ ශ්‍රී ලංකාව තුළ ඵලදායී ෆෙඩරල් පරිපාලන ක්‍රමයක් ඇති කිරීමටය.

මෙම බණ්ඩා – චෙල්වා ගිවිසුම සිංහල බෞද්ධයන් දැඩි කෝපයට පත් කළේය. එම ගිවිසුමට එරෙහිව රට තුළ මහජන විරෝධතා ඇති වූ අතර එහි ප්‍රමුඛත්වය ගත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය.

බෞද්ධ භික්ෂූන් සිය ගණනක් (200 ක් පමණ) බණ්ඩාරනායකගේ රොස්මිඩ් පෙදෙසේ නිවසින් පිටත කඳවුරු බැඳ සිටියහ. බණ්ඩාරනායකට තම නවාතැනට ඇතුළු වීම පිණිස සංඝයාවහන්සේලාට එරෙහිව  කටු කම්බි වැටක් දැමීමට සිදු විය.

කැලණිය විහාරස්ථානයේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමියෝ කඳවුරු ගත කළ භික්ෂූන් වහන්සේලාට විධි විධාන දුන් ප්‍රධානතම චරිතය විය. බණ්ඩාරණායක තම නිවසින් පිටතට පැමිණ භික්ෂූන් වහන්සේලා හමු විය; බණ්ඩා-චෙල්වා ගිවිසුම අහෝසි කිරීමට ඔහු පොරොන්දු විය. ඔහු එය ලිඛිතව ද තහවුරු කර විමලා විජයවර්ධන හරහා භික්ෂූන් වහන්සේලාට අතින් ලියූ සටහනක් යැවීය. හාමුදුරුවරු විසිර ගියහ. මේ 1957 දීය.

බණ්ඩා – චෙල්වා ගිවිසුම මගින් බණ්ඩාරණායක සහ බෞද්ධ භික්ෂුන් (‘1956 පංච මහා බලවේගයේ’ අංගයන්) අතර පැවති විශිෂ්ට සබඳතාව බරපතල ලෙස පළුදු විය. මාපිටිගම බුද්ධරක්ඛිත බණ්ඩාරණායක බලයට ගෙන ඒම සඳහා රුපියල් දස දහස් ගණනින් සිය ධනය වියදම් කළේය. නමුත්, 1957 වන විට දෙදෙනාම සතුරන් බවට පත්ව සිටීහ.

බොහෝ අය යනුයේ බුද්ධරක්ඛිත තුල බණ්ඩාරණායක පිළිබඳව වූ වෛරය ජාතිකවාදී හේතූන් මත නොව පුද්ගලික හේතුන් නිසා ඇතිවූ බවයි – බණ්ඩාරණායක බුද්ධරක්ඛිතගේ සහෝදරයාගේ සමාගමට කොළඹ වරායේ ලාභදායී නැව් කොන්ත්‍රාත්තුවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බැවින්. විමලා විජේවර්ධනගේ පුත්‍රයාද එම ව්‍යාපාරයේ නිරත විය. බණ්ඩාරණායක මරා දැමීමට බුද්ධරක්ඛිතගේ චේතනාව මෙය ලෙසට එවකට  වූ රජය විසින් දැඩි මාධ්‍ය  ප්‍රසිද්ධියක් ලබා දුනි; ගරු අධිකරණයට නීතිපති පෙන්වූයේද මෙම හේතුවයි.

මාපිටිගම බුද්ධරක්ඛිත යනු එකල අතිශය බලගතු හිමිනමකි. එය පහත සිදුවීම් දෙකෙන් පැහැදිලි වේ:

  • අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු බණ්ඩාරණායක ගියේ මහනුවර ධන්ත ධාතු මන්දීරයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නොව බුද්ධරක්ඛිත හිමියන් වැඩ සිටි කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමටය.
  • බණ්ඩාරණායක අභාවප්‍රාප්‍ත වූ විගස එවකට අගමැති වූ දහනායක මහතා ජාතික ගුවන් විදුලියෙන් බණ්ඩාරණායක මහතා වර්ණනා කරමින් දේශනයක් පවත්වන ලෙස බුද්ධරක්ඛිතගෙන් ඉල්ලා සිටියේය. එය බුද්ධරක්ඛිත විසින් සිදු කරන ලදී (බුද්ධරක්ඛිතව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් දින කිහිපයකට පසුවය).

බුද්ධරක්ඛිත සහ විමලා විජයවර්ධන අතිශය සමීප මිතුරන් වූ අතර දෙදෙනාම උග්‍ර  ජාතිකවාදීන් බවට ප්‍රසිද්ධව සිටියහ. මෙය සනාථ කිරීමට සිදුවීම් තිබේ; සමහරෙක් මෙම ලිපියේ සඳහන් වේ.

බණ්ඩා – චෙල්වා ගිවිසුම ගැන බෞද්ධ පැවිදී උතුමන් බණ්‌ඩාරණයක සමග උරණ වූහ.

1959 වන විට මෙම  ගිවිසුම බොහෝ සෙයින් නැවත උඩට මතු විය. භික්ෂූන් වහන්සේලාට දුන් පොරොන්දුව නොතකා බණ්ඩාරණායක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉතා කැපවී සිටියේය. එය නීතිගත කිරීමට නීති සම්පාදනය කිරීමට ඔහුට අවශ්‍ය විය. මෙම ගිවිසුම මගින් සිංහල – දෙමළ ප්‍රශ්නවලට – 1958 දී ප්‍රථම වරට සිංහල – දෙමළ වාර්ගික ගැටුම් ඇති වූයේ  බණ්ඩාරණායක යාපනයේ ඇති කළ ශ්‍රී වාහන අංක තහඩු ප්‍රශ්ණය සම්බන්ධයෙන්, තිරසාර විසඳුමක් ගෙන එනු ඇතැයි බණ්ඩාරණායක අවංකවම සිතීය.

1958 දෙමළ කෝළාහල වලින් රටේ දෙමළ/සිංහල මරණ ඇති විය. දකුණේ දෙමළ සහෝදරවරුනට දැඩි හිංසා පිඩා ඇති විය. ඒ වගේම, යාපනයේ, ත්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ ස්ථිරව වාසය කල  සිංහලයන් සිය දහස් ගණනක් එම ප්‍රදේශවලින් ගසා එලවා දමන ලදී. 

බණ්ඩාරණායක ඝාතන නඩු විභාගයේදී බුද්ධරක්ඛිතට සහ විමලා විජයවර්ධනට චෝදනා එල්ල විය. නඩු විභාගය අතරතුර දෙවැන්නා නිදොස් කොට නිදහස් කරන ලද නමුත්, බුද්ධරක්ඛිත වරදකරු වී මරණ දණ්ඩනයට නියම විය. 1965 ඩඩ්ලි සේනානායක රජය විසින් මෙම  මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කරන ලදී. බුද්ධරක්ඛිත බන්ධනාගාරයේදී මිය ගියේ වයස අවුරුදු 46 දී ය.

මිනීමැරුම් නඩුවේ මූලික සැකකරු වූයේ තල්දූවේ සෝමාරාම හිමිය (නඩු විභාගයේ 4 වැනි විත්තිකරු).. බුද්ධරක්ඛිත සෝමාරාම යොදාගෙන ඝාතනය සිදුකළ බවට චෝදනා එල්ල විය.

සෝමාරාම ප්‍රසිද්ධ ජාතිකවාදියෙක් විය. ඔහු ජීවත් වුණේ බොරැල්ලේ පන්සලකය. ඔහු ආයුර්වේද වෛද්‍යවරයකු වූ අතර බොරැල්ල ආයුර්වේද විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්ද විය.  ඔහු මාතර ගොවි පවුලකින් පැවත ආ අයෙකි. පංච මහා බලවේගයේ බලවේග 4ක් ඔහුට හිමි විය.

සෝමාරාම වයස අවුරුදු 14 දී පැවිදි විය. ඔහු වයස අවුරුදු 21 දී මහනුවරදී උපසම්පදාව ලැබීය.  

ජූරි සභාව විසින් ඔහු මිනීමැරුමට වැරදිකරු වූ පසු, 1962 දී ඔහුව එල්ලා මරා දමන ලදී. එවිට ඔහුගේ වයස 47කි.

කළින් (පොලිසීයට) තමන් වෙඩි තැබූ බවට පිළි ගත්තත් පසුව නිවැරදිකරු බව ඔහු  කීය.

බණ්ඩාරනායකට වෙඩි තැබූ වහාම සෝමාරාම ‘රට, ජාතිය, ආගම’ (‘රට , ජාතිය , ආගම ’) යන වචන නැවත නැවතත් කීවේය. මේවා අන්ත ජාතිකවාදියෙකුගේ වදන් මිස ඝාතනය කිරීමට වෙනත් චේතනාවක් (intention) තිබු අයෙකුගේ වචන නොවේ.

බුධ්රක්ඛිතගේ සොහොයුරාට බණ්ඩාරණායක වරායේ ටෙන්ඩර් ප්‍රධානය නොකිරීම සොමාරාමට බණ්ඩාරනායකව මරා දැමීමට තරම් හේතු සාධකයක් වන්නේ කෙසේද? සෝමාරාම යනු රටේ පිළිගත්, උගත් කෙනෙක් විය.

බණ්ඩාරණායක ඝාතනය සඳහා වෙඩි තැබීමට සෝමාරාම බොහෝ පුරුදු පුහුණු වී ඇත.

බණ්ඩාරණායකට වෙඩි තබද්දී සෝමාරාම මේ වදන් පළ කල බව එකළ මාධ්‍ය වසන් කළහ. මේ සත්‍යය එලියට පැමිණියේ මෑතකදීය.

ඔහුගේ හර්ද සාක්ෂ්‍ය හමුවේ ඝාතනය නියත වශයෙන්ම දේශපාලනික නොවුයේ නම් ප්‍රබල ජාතිකවාදියෙකු වූ සෝමාරාම කිසි දිනෙක ඝාතනයට සම්බන්ධ නොවනු ඇත. මෙය මේ ලිපිකරුගේ මතයයි.

සෝමාරාමගේ ඉහත වදන්වලින් (‘ රට , ජාතිය , ආගම ’) අපට උපකල්පනය කළ හැක්කේ බණ්‌ඩා – චෙල්වා ගිවිසුම නිසා ඔහු බණ්ඩාරණායකව ඝාතනය කළ බවයි. බුද්ධරක්ඛිත ඔහුව පෙළඹවුවා  විය යුතුයි.

තුවාල වී ලෙඩ ඇඳේ සිටී බණ්ඩාරණායක සෝමාරාමට හිංසා නොකරන ලෙසත් ඔහුට අනුකම්පා කරන ලෙසත් පුන පුනා ඉල්ලා සිටියේ මේ නිසාද?

ඝාතනය සම්බන්ධයෙන් තවත් විවිධ කුමන්ත්‍රණ න්‍යායන් මතුව ඇත, එනම්,  එය CIA කුමන්ත්‍රණයක් බව, මෙම මිනී මැරුමට ඔසී කොරයා සම්බන්ධ බව යනාදී වශයෙන්. නමුත් මේවා නිෂ්පල කථා බව බැලු බැල්මට පෙනේ.

සෝමාරාම හිමි නම තමනට වෙඩි තැබූ බව මරණයට පෙර බණ්ඩාරණායක පුද්ගලිකව හඳුනා ගත්තේය,  ඔහු ඒ ගැන කථා කළේය. ඉදින්, බණ්ඩාරණායකට වෙනත් කෙනෙකු වෙඩි තැබුවා යයි නඟන කථාවේ පලයක් නැත.

සෝමාරාම ඇමරිකන් CIA ඉත්තෙක් කියා සැක කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත. ඔහු බුද්ධරක්ඛිතගේ මිත්‍රයෙක් බව නම් සැබවි.

නැවතත්, බණ්ඩාරණායක ඝාතනය කිරීමේ සොමාරාමගේ සැබෑ චේතනාව බණ්ඩා-චෙල්වා ගිවිසුම බවයි බොහෝ සෙයින්  පෙනෙන්නට ඇත්තේ. ඝාතකයා ලෙස වෙඩි තබමින් ඔහුගේ මුවින් පිටවූ වදන් ඒ බවට සාක්ෂි දරයි.

මේ සම්බන්ධව කෙරෙන ප්‍රථම ප්‍රසිද්ධ විචාරය මෙය විය හැකියි. එවැනි විචාරයන් එවකට සිදු නොවුනේ සෝමාරාම වීරයෙක් ලෙස සමහර සිංහලයන් සිතාවි යන බිය නිසාද?

සෝමාරාම පිළිබඳව එවකට රටේ ජනයා තුල තිබුනේ කිව නොහැකි තරම් වූ තරහකි.

මිනීමරුවන් දෙදෙනාම තමන් ඝාතනය සිදු කළ බවට පාපෝච්චාරණය නොකළහ.  තමනට එල්ල වූ මිනීමැරුම් වරදට ඔවුන් නිවැරැදිකරුවන් යයි කිවුහ.  

ඔවුන් පාපෝච්චරණයන් සිදු කලේ නම් මිනී මැරීම සඳහා ඔවුනගේ නියත අදහස (motive) කුමක්දැයි අපට නිසැකවම දැන ගැනීමට හැකියාව තිබුණි. එසේ නම් යම් ජන ප්‍රසාදයක් දිනා ගැනීමට ඔවුනට හැකි වුවා විය හැක.

බණ්ඩාරණායක ඝාතනය කිරීමේ චේතනාව ජාතිකවාදී ප්‍රතිසංස්කරණ බණ්ඩාරණායක විසින් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම” බව බුද්ධරක්ඛිත පුද්ගලිකව පසුව ආරෝපණය කළ බව සඳහන් වේ.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව සෝමාරාම සහ බුද්ධරක්ඛිත සිදු කළ ජාතිකවාදී ප්‍රකාශ වලට එවකට වූ පුවත්පත් කිසිම ප්‍රචාරයක් දුන්නේ නැත. මිනී මැරුමක් කිරීම පිණිස වූ ඔවුනගේ චේතනාවන් පිළිබඳව උපකල්පයන් කිරීමයි අපට කළ හැක්කේ.

බුද්ධ්රක්ඛිතගේ චේතනාව පුද්ගලික සහ ජාතිකවාදී යන දෙකම විය හැකියි. එය හරියටම දැන සිටියේ දැන් ජීවතුන් අතර නොමැති ඔහු පමණි.

එල්ලා මැරීමට පෙර සෝමාරාම ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය යන දැඩි ප්‍රචාරයක් සිරිමා බණ්ඩාරණායක රජය විසින් ගෙන යන ලදී. මෙය ඇත්තක්ද?

විය නොහැකියි. දැඩි ජාතිකවදියෙක් වූ සෝමාරාම තමන් මිනී මැරුවේ රට ජාතිය ආගම බේරා ගැනීමට යයි මිනී මරමින් කීවේය. එසේ නම් තම අභිමතාර්ථය ඉෂ්ට වුයේ යයි ඔහු සතුටු වුවා විය හැකියි.

එල්ලා මරා දැමීමට පෙර සිපිරි ගෙදර සිටියදී ඔහු ඔහු ලිපි ගණනාවක් තල්දුවේ සිය පන්සලේ සහෝදර හිමිවරුන් වෙත යැවීය. ඒ සෑම ලිපියකම ඔහුගේ බුද්ධාලම්භන භක්තිය විද්‍යාමාන කර තිබුණි.

මේ ලිපි කිසිවක් පැවතී සිරිමා බණ්ඩාරණායක රජය විසින් ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ නොකරන ලදී. එම පන්සලේ ස්වාමීන්වහන්සේළාද බියට එම ලිපි ප්‍රසිද්ධ නොකළහ.

ඒ කෙසේ වෙතත්, සෝමාරාම එල්ලා මරණ දින හෝ ඊට පෙර දින වැලිකඩ සිරගෙයට ක්‍රිස්තියානි පුජකතුමන්ලා වැඩම කරන ජයාරූප රටේ මාධ්‍ය විසින් පළ කර තිබුණි.

සොමරාමගේ දේහය බොරැල්ල කනත්තේදී පුද්ගලිකව ආදාහනය කර අළු මහ මුහුදට විසි කරන ලදී.

බණ්ඩාරණායක මහතාව මෙතරම් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඉතා නින්දිත, පහත්, විෂම ක්‍රියාවක් බව මෙම ලේඛකයා අවධාරණය කර කියා සිටී. මිනීමරුවන්ට ඔවුනට හිමි නිසි දඬුවම් ලැබුණි. ඔවුන් කෘර මිනීමරුවන් මිස කිසිසේත් දේශප්‍රේමීන්/ජාති හිතෛය්ශීන් නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress