විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීම බඩදිය වළඳමින් අජීර්ණයට බෙහෙත් බීම වැනිය
Posted on January 25th, 2024

 දිල්රූක් කන්නන්ගර

ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය අනවශ්‍යය. විධායක ජනාධිපති ධූරය නොමැති කල රටේ ආරක්ෂාව, නීතිය හා සාමය, ආර්ථිකය අදට වඩා යහපත් මට්ටමක පැවතුනා. 1971 JVP කැරැල්ල මාස තුනකින් මඩින්න හැකිවුනා. විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකුට 1987 දී එය මඩින්න අවුරුදු 2ක් ගතවුනා. විධායක ජනාධිපති ධූරය නොතිබුනේ නම් දෙමළ ත්‍රස්තවාදය (1972 සිට 2009) සහ මුස්ලිම් ත්‍රස්තවාදය (2019-) වැනසීමට දශක ගණන් යන්නේ නැත; එම ප්‍රශ්ණ යටගහන්නේද නැත.

අද විධායක ජනාධිපති ධූරය අවශ්‍ය යයි කියන්නේ නොදන්නකමින්ය. 13 වන සංශෝධනය ලංකාවට බලෙන් පෙව්වේ විධායක ජනාධිපති ධූරය නිසාමය. එය නොතිබුනා නම් 13 වන සංශෝධනය කිසිසේත්ම සම්මත නොවේ. විධායක ජනාධිපති ධූරය නොමැති විට පළාත් සභා හිතුමතේ ක්‍රියා කිරීමේ සහ 1989 මෙන් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවධානමක් ඇතැයි සමහරක් පැවසුවත් එහි සත්‍යයක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනයෙක් රට බෙදීම වලකා ඇත. එවැනි අවස්ථාවක ඕනෑම කෙනෙකුට ඊට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගත හැක. වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් වෙනම රාජ්‍යයක් ඇති නොවේ! එසේ වීමට නම් වෙනම රාජ්‍යක් සඳහා අවශ්‍ය කරුණු කාරණා ගණනාවක් සපථ විය යුතුය.

නමුත් විධායක ජනාධිපති ධූරය පවතින තුරු එවැනි නීතිමය පියවර ගැනීමට කිසිවෙකුටත් නොහැකිය! එම බලය විධායක ජනාධිපති ධූරයේ කොටුකර ඇත. විධායක ජනාධිපතිට අවශ්‍ය පරිදි රටට අහිතකර එහෙත් තමාට හිතකර ආකාරයට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කල හැක. මෙය ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයකි. උදාහරණයක් ලෙස 2000 පාර්ලිමේන්තු චන්දයේදී පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට වර්ධරාජා පෙරුමාල් ඇතුලත් විය! ඒ විධායක ජනාධිපතිගේ ආශිර්වාදයෙනි!

පොලිස් බලතල සහ ඉඩම් බලතල රිසි සේ භුක්ති විදින්නැයි වත්මන් විධායක ජනාධිපති උතුරේ දේශපාලුවන්ට පවසා ඇත. මෙය පළාත් සභා සම්බන්ධයෙන් ඉහල බලය විධායක ජනාධිපති ධූරයට පැවරීමේ ආනිශන්සයකි. විධායක ජනාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල නොහැකි සේම වැරදි සහගත පළාත් සභාවකට එරෙහිව ජනතාවට බලයක්ද නැත. රජීව් ගාන්ධි විධායක ජනාධිපති හරහා පළාත් සභා උපද්දවා ගත්තා සේම පළාත් සභා ක්‍රමය සුළු ජාතීන් ඉදිරියේ දෙකට නැමෙන විධායක ජනාධිපති හරහා ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියා කරමින් සිටියි.

IMF සහ අනෙකුත් විදේශ අතපෙවීම් සිදුවන්නේ විධායක ජනාධිපති හරහාය. එවැනි විදේශ අතපෙවීම් කරුවන්ට අවශ්‍යවන්නේ විධායක ජනාධිපති නම්මවා ගැනීම පමණි. ඉන් පසුව ඇමති ධූර පිරිනැමීමේ මහා බලයත්, නීතියට වග නොකියන විශ්ව බලයත් උපයෝගී කරගෙන විධායක ජනාධිපති තුමා පාර්ලිමේන්තුව, අධිකරණය, පාතාලය, මාධ්‍යය සහ වෙන ඕනෑම දෙයක් රිසි සේ මෙහෙයවා විදේශ අතපොවන්නන්ගේ න්‍යාය පත්‍රයට අනුව සියල්ල සිදු කරයි.         

විධායක ජනාධිපති වීමට එක්කෝ ජනතා චන්දයෙන් පත් වූ විධායක ජනාධිපති එලවා දැමිය යුතුය, එසේ නැතිනම් මරා දැමිය යුතුය. එහෙමත් නැතිනම් චන්දයෙන් පත් විය යුතුය. චන්දයෙන් පත්වීමට නම් ජාතිවාදී සුළු ජාතීන්ගේ පක්ෂවල ඉල්ලීම් ඉටුකළ යුතුය. මෙය ජාතික ආරක්ෂාවට මරු පහරකි. ජනාධිපති නිසා නීතියද අසරණය.

ඉදිරි වසර කීපය තුල විධායක ජනාධිපති ධූරය අතිශය විනාශකාරීය. විධායක ජනාධිපති ධූරය පැවතුනහොත් ඉදිරි වසර කීපය තුල රටේ ආර්ථිකය තවත් කාබාසීනියා වනු ඇත, මහජාතියේ අයිතිවාසිකම් නැතිව යනු ඇත, රට වර්ගවාදී කැබලි වලට කැඩී ඉන්දියාවේ ප්‍රාන්ත බවට පත්වනු ඇත. එමෙන්ම රටේ ජන සංයුතිය ඉන්දියාවට අවශ්‍ය පරිදි වෙනස් වනු ඇත. 

යුද්ධය නිමවීමෙන් පසු ඇමීබා වැනි ජනගහන වර්ධයක් පෙන්වන සුළු ජන කොටස් වැඩි වැඩියෙන් විධායක ජනාධිපති චන්දයට බලපෑම් කරනු ඇත. 2028 වනවිට සහ ඉන් පසුව මෙය වඩාත් තීව්‍ර වනු ඇත (2010 + 18 = 2028).  

විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීම බඩදිය වළඳමින් අජීර්ණයට බෙහෙත් බීම වැනිය. විධායක ජනාධිපති ධූරය පැවතීමෙන් රටට වන ඒකාන්ත විනාශය අවම කිරීමට විධායක ජනාධිපතිටම බලය පවරා ඇත! වසරක් වසරක් පාසා වැඩිවැඩියෙන් වන හානි වැලකීමට තව තවත් විධායක ජනාධිපති ධූරය අවශ්‍යයයි සිතීම මෙම අවාසනාවන්ත චක්‍රයේම අනුවණ ගොදුරක් වීමයි.

1977න් පසු මෙරටට අරක්ගත් දසවිධ විනාශයන්ගේ මහා එකා සහ උන්ගේ ආරක්ෂකයා ලෙසට විධායක ජනාධිපති ධූරය හැදින්වීම නිවැරදිය. එක්කෝ විධායක ජනාධිපති ධූරය කාබාසීනියා වෙයි; නැතිනම් රට කාබාසීනියා වෙයි.    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress