ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීම
Posted on February 14th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

• අද භුක්ති විදින්නේ අපේ ජාතික වීරවරයන් කැපිකිරීම් මතින් දිනාගත් නිදහසයි…
• ඩී. බී. ජයතිලක කියන්නේ ගවේෂණය කළ යුතු චරිතයක්…
– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  2024.02.13 දින කැලණිය වරාගොඩ  පැවැති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
ජාතික වීරවර ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක එකසිය පනස් හයවෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතා උපන් කැලණිය වරාගොඩ පෙදෙසේ ඉදිකළ මෙම පිළිරුව අග්‍රාමාත්‍ය  දිනෙෂ් ගුණවර්ධන මහතාගේ සුරතින්  නිරාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
අප රටේ සුවිශේෂ ජාතික වීරවරයෙක් වූ ඩි. බී ජයතිලක මැතිතුමාගේ පිළිරුවක් එතුමා උපන් ගමේ ඉදිකොට විවෘත කරන අවස්ථාවට, අග්‍රාමාත්‍යවරයා හැටියට රජය වෙනුවෙන් සහභාගී වන්නට ලැබීම පිළිබද සතුටු වෙනවා. ජාතියක පැවැත්මට භාෂාව මෙන්ම සංස්කෘතිය, ආගමික ලැදියාවන්  මෙන්ම අපේ මුතුන් මිත්තන් ඒ ඒ කාලපරිච්ඡේදයන් වල ඇති කළ සදාකාලික නිර්මාණයන් දායක වෙනවා. ජාතියේ පැවැත්ම සිදුවන්නේ ඒවා ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයාම තුළින්. ඩී.බී. ජයතිලක මැතිතුමා උපන් බිමට එවැනි මග පෙන්වීමක් කළ අසමසම ජාතික වීරවරයෙක්.
සිංහල බසට, සංස්කෘතික බසට, බුදු දහමට එතුමාගෙන් අනගිබවනීය සේවයක් සිදුවුණා. ඒ දායාදයන් පරම්පරාවෙන් පරම්පරාවට පවතින දෙයක් බවට පරිවර්තනය කරන්නට එතුමා කටයුතු කළා. අපේ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භයේ සිට එය ගොඩනැගීමට නායකත්වය දුන් මහා සඟරුවනට ඉතාම හිතාදර විශ්වාසනීය දායකයා බවට පත්වුණේ එතුමායි. තමන් සතු දැනුම වර්ධනය කර ගැනීමෙන් පමණක් නොනැවතී තම දැනුම තවත් දරු පරපුරක්  වෙනුවෙන් ලබා දීමේ මහා පින්කමට ඩී.බී ජයතිලක මැතිතුමා පුරෝගාමියෙක් වුණා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදයේ වගකීමට නායකත්වය දුන් එතුමා විසින් බෞද්ධ විද්‍යාල අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන ලෙස පදනම සකස් කළා. කොළඹ ආනන්දය, මහනුවර ධර්මරාජය හා තවත් විද්‍යාල රාශියක අඛණ්ඩ පැවැත්මට අවැසි වැඩපිළිවෙළක් සකස් කළා.

නිදහස් සටනට උරදුන් ජාතික සංගමයේ පළවෙනි සභාපතිවරයාත්, පරම විඥ්ඤානාර්ථ සංගමයේ පළවෙනි ක්‍රියාකාරී නායකයාත් එතුමායි.  එමගින් බෞද්ධ පාසල් විශාල ගණනක් ඇරඹුණා. ඒ කාලේ ගොඩනැගිලි තිබුණේ නැහැ. අපේ ගැමි නායකයෝ පරිත්‍යාග කළ තමන්ගේ ඉඩම්වල, කණු සිටවා සකස්කළ මඩුවල, පොල් අතු වහලයක් යට තමයි පාසල් ඇරඹුණේ. ඒ විදියට බෞද්ධ අධ්‍යාපනය ගොඩනගපු නිසා අපේ රට විශාල ඉදිරියකට පරිවර්තනය කළ හැකි ඥානවන්තයින් බිහිවුණා.  බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ඒ පරිවර්තනය කරන්නට එතුමා දුන් මග පෙන්වීම හා  කළ කැපවීම සුවිශේෂයි.
අදත් ඔප්පු නැති මිනිස්සු ඉන්නවා. ලංකාවේ පාර්ලිමේන්තු කීයක් මේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැද්ද. මේ මහා පරිත්‍යාගය නැමැති පුණ්‍ය කර්මය බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බැරි වුණා.  ශ්‍රී ලංකාවේ ගැමි ජනතා නායකයන් ඒ පරිත්‍යාග කළේ අනාගත රටේ නායකයන් ගොඩනැගීම වෙනුවෙන්. රටේ පැවැත්ම වෙනුවෙන් හා ශාසනයේ පැවැත්ම වෙනුවෙන්.
සිංහල භාෂාව,  සංස්කෘතික බස ඇතුළු භාෂා රාශියකට පුදුමාකාර නිපුණත්වයක් ඩී.බී ජයතිලක මැතිතුමාට තිබුණ බව අප අසා, කියවා තිබෙනවා. ඒ පිළිබදව අපේ ගෞරවය පුද කරනවා. ඉන්දිය ජනාධිපතිවරයෙකු වූ රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා විද්‍යාලංකාරයට පැමිණි අවස්ථාවේදී  යක්කඩුවේ පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ සමග සංස්කෘතික බසින් කතා කළ බව අපි අසා තිබෙනවා.  ඒ සදහා සවිය ලැබුනේ විද්‍යාලංකාරයෙන්. මේ සිද්ධිය විද්‍යාලංකාරයේ සදා නොමැකෙන සටහනක් ලෙස ලක් ඉතිහාසයේ වගේම ඉන්දියානු ඉතිහාසයේත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ලියැවෙන්නක්. එවැනි තත්ත්වයකට රට ගොඩනගන්නට ඩී.බී ජයතිලක මැතිතුමා තුළ වූ නිර්මාණ ශක්තිය හා කැපවීම වගේම පරිත්‍යාගය අපි කෘතවේදීත්ව සිහිපත් කරනවා.
රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජයා තැන්පත් කරන කොට, එය නිරාවරණය කරන්න සුදුසුකම ලැබුවේ ඩී.බී. ජයතිලක ශ්‍රීමතානන්. එදා රටේ රජු ලෙසයි ජනතාවත්, මහා සඟරුවනත් එතුමාට සැලකුවේ. අපේ රටේ පැවැත්ම සංස්කෘතිය හා රටේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය කොඳුනාරටිය වූ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර සුරක්ෂිත කර දිය හැකි තේජාන්විත නායකත්වය එතුමා සතු වුණා.
රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මේ අවස්ථාවට එක්වුණ මම ඩී බී ජයතිලක ශ්‍රීමතානන්ගේ පිළිරුවට යළිත් හිස නමා ආචාර කරන්නේ ඔහුට මගේ ආදරණීය පියාණන් හා ඇති බැඳියාව  නිසයි. අපේ රටේ නිදහස තහවුරු කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එතුමා කළ මග පෙන්වීම අදත් ගවේෂණය කළ යුතුයි. අපි ගවේෂණය කිරීම අත්නොහැරිය යුතුයි. ඩී.බී ජයතිලක මැතිතුමා පිළිබඳව කරන පර්යේෂණ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය වගේම භාෂාවේ අනන්‍යතාවය, ආරක්ෂාව, දියුණුව හා අපේ රටේ පැවැත්ම පිළිබඳ තිබෙන සුවිශේෂ අවස්ථාවකට කෙරෙන ගවේෂණයක් බව පත්වෙනවා ඇති. මේ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඊට අවශ්‍ය කටයුතු කරගෙන යාමට සහයෝගය ලබාදෙන බව රජය වෙනුවෙන් පොරොන්දු වෙනවා. අපි සියලු දේ නැති වුණු ජාතියක් නොවෙයි. බඩගින්නේ හිටියත් අපේ භාෂාව අතහැරියේ නෑ. අපේ සංස්කෘතිය අතහැරියේ නෑ. අපේ භාෂාව සංස්කෘතිය අපේ ජාතියේ අනන්‍යතාවයයි. ඩි. බී ජයතිලක මැතිතුමා රටේ නිදහස් සටනේ වීරවරයෙක් හැටියට ඇති කළ ඒ අත්තිවාරම එලෙසම අපි ආරක්ෂා කරමු.

අද ලෝකයේ විවිධ ජාතීන් සමඟ අප එකමුතුව ජීවත් වෙනවා. ඒ ඩී.බී ජයතිලක රාජ්‍ය සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් එදා පෙනි සිටීමින් කළ මග පෙන්වීම නිසයි.  ඒ උතුම් චරිතය අනුගමනය කිරීම හා අවබෝධයට ලක් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා.
හිටපු කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා, යදාමිණී ගුණවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති   මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි,  පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති  වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන හිමි, මහා භාරකාර ගනේෂ් ධර්මවර්ධන, වෛද්‍ය හාරිත ජය තිලක ඇතුළු  ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.  

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress