කුවේණිගේ ශාපයද? ඉන්දියාවේබලහත්කාරයද?
Posted on February 22nd, 2024

C. Wijeyawickrema, LL.B., Ph.D.

අවස්ථානුකූලව ලංකා මුහුදට හොරෙන් එන ඉන්දියන් මාළු බෝට්ටු !

India under Modi is a rouge state”- Hina Khar, Pakistan’s ex-foreign minister.

පලවෙනි විජයබාහු මහරජතුමා (1055-1110),  කීර්ති කුමාරයා, නොසිටින්නට, ලංකාව දකුණු ඉන්දියාවේ කොටසක් වනවා නිසැකය.”

නීල කණ්ඨ ශාස්ත්‍රී, දකුණු ඉන්දියා ඉතිහාසය පිළිඹද ලෝක ප්‍රසිද්ධ මහාචාර්ය

*(A) හැඳින්වීම

බෲනෝලාගේ මෝඩාභිමානය

හරින් ප්‍රනාන්දු  නම් බළල් අත විසින් ලංකාව ඉන්දියාවේ කොටසක් යයි කියන කතාව, ඒ හා සමානව මීට පෙර රංජන් රාමනායක විසින් රටේ හාමුදුරුවරු ගැන කටේ බ්‍රේක් නැතිව කරණ ලද ප්‍රකාශ වලට සමාන කල නොහැක. කලක සිටම ඉන්දියාව ලංකාවේ සිංහල දේශපාලකයින්ට සළකන්නේ හරියට පිරිමි තම වෙසඟනන්ට සළකණ ආකාරයට වගේය. ඉන්දියාව විසින් ලංකාවේ දේශපාලකයින් සිය ග්‍රහණයට ගැනීම ජූලි චුං විසින් අනුර කුමාරලාව සිය වසඟයට ගැනීමේ කාසියේම අනිත් පැත්තය. එය ගෝඨාභය ඇගේ මායම්වලට අසුවීමේ කතාවේ දෙවෙනි කොටසය.

මෙම සංසිද්ධීන්, කුවේණීගේ ශාපය හා මොනවා වුනත් ලංකාව යම් අදෘෂ්‍යමාන බලවේගයක් (විෂ්ණු දෙවියන්?) විසින් ආරක්ෂාකර ගන්නවා යන ප්‍රතිවිරුද්ධ  <බලවේග> දෙක අතර සිදුවන නිරන්තර ගැටුමක් වැනිය. ලංකාවේ දේශපාලකයින්ගේ <අමන> හැසිරීමේ ඉතිහාසය ගැන සිතන විට වෙන රටක් නම් සුනුවිසිනුවී යන්නේ, තවත් පලස්තීනයක් වෙන්නේ,  බොහෝ කාලයකට පෙරය.

ලෝකයේ ලොකුම පාවාදීම –  CFA 2002 à ECTA 2024

1949 ට කලින් සිටම ත්‍රිකුණාමළ වරාය ඉන්දියාවට දීමට චෙල්වනායගම් ඉදිරිපත්වූයේය. සුද්දා විසින් D.S. ලා සමඟ ආරක්ෂක ගිවිසුම් ගැසුවේද මේ දෙමළ නිජබිම් පෙඩරල්-රාජ්‍ය කල්ලියේ තර්ජනය නිසාය. කතෝලික පල්ලියත්, මාක්ස්වාදීනුත් ඊට උඩගෙඩි දුන්නේය.   ඉන්දියාව හා ලංකාව අතර පාලමක් දමා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බිඳදැමීමේ අරමුණ රනිල් වික්‍රමසිංහගෙන් එලියට පැන්නේ 2002 දීය. ඒවන විට ඔහු විසින් ස්කොට් ජාතික පෝල් හැරිස් විසින් පෙන්වා දුන් අන්දමට ලෝකයේ ලොකුම පාවාදීම ලෙස නම්කල සටන් විරාම ගිවිසුම (CFA) නොකියවාම අත්සන්කර තිබුණි.

 LankaWeb – Crimes and sins of the Englishman Paul Harris   Dec10, 2013

පසුගිය දිනෙක පැවති රොමේස් ද සිල්වාගේ පුතාගේ උත්සවයකදී ජනාධිපති රනිල් විසින් jvp ලෝයර් සුනිල් වටගල ඇසු එක්තරා ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ඒ ගැන ඔහුට නොබෝ දිනකින් අනුර කුමාරගෙන් දැනගන්නට හැකිවන බවය. දැන් අනුර කුමාරලාගේ ඉන්දියන් සංචාරයෙන් බළලා එලියට පැන ඇත. දේශපාලන ලෝකය විෂඝෝර සර්පයින්ගෙන් පිරී ඇත.

(වැල්) පාලම් පිස්සෝ

චම්පික රණවකගේ අළුත් පක්ෂයේ උපසභාපති ශිරාන් ලක්තිලක  දෙරණ අළුත් පාර්ලිමේන්තු සංවාදයේදී (2/2024) කිසි චකිතයක්, හිරිකිතයක් නැතුව ඇසුවේ ඉන්දියාවට පාලමක් දැමීමේ ඇති වරද කුමක්ද කියාය. පාලම හා පාලම් පාරුව යන මාතෘකාවෙන් 2015 දී මා ලියූ ලිපියක් මට මතක්වූයේ මෙවන් පසුබිමකය. මෙහි පහතින් ඇති එම ලිපිය, ඒ වකවානුවටත් වඩා දැන් 2024 පෙබරවාරී අග වනවිට දැඩිසේ අදාල වන්නේය. මේ නිසා  ලංකාවේ නිවට පාලකයින් ඉන්දියාවට ලංකාව පාවාදීමේ ඉතිහාසය අළුත් කිරීමට වඩා දෙයක් කිරීම අනවශ්‍යය. ඉන්දියාව විසින් ලංකාව බිලීබා ගැනීම ගැන ඉන්දියාවට දොස් කියන්නට නොහැකි වන්නේ සිංහල ද්‍රෝහීන් විසින් ලංකාව නමැති කන්‍යාව සුවඳ දුම් අල්වා කාම භරිත ඉන්දියන් පූසාරියාට නැවත නැවතත් පූජාකරමින් සිටින නිසාය.

මයිකල් ජැක්සන් හා මෝඩි

මයිකල් ජැක්සන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලන්නට ගොස් එහි මන්ත්‍රී බංකුවක ඉඳගන්නට සැදූ විට නිලධාරියා ඔහුව ඉවතට ඇද දැම්මේය. මෝඩිට රුවන්වැලි මහසෑයට සපත්තු දමා ගෙනයාමට ඉඩ දුන් නිලධාරි පඹයා සමඟ මෙය සසඳන විට මෙම දීන මනස් ගැන විශාල අවභෝධයක් ලබා ගත හැකිය. තමන්ගේ අම්මා වුනත් පාවාදෙන දුෂ්ට සමාජයක් 1978 න් පසු බිහිවී ඇත.

ප්‍රංශයේ ජනාධිපති කැනඩාවට ගොස් ක්විබෙක් ප්‍රාන්තයේ ප්‍රංශ භාෂාව කතාකරණ ජනයාගේ අරගලය ගැන කතාකල විට ඔහුට වහාම රටින් පිටවන ලෙස කැනඩා අගමැති අණ කලේය. මෝඩි ලංකාවට ඇවිත් වතුකරයේ ජනයාගේ ගැලවුම්කාරයා ලෙස කතා කලේ ඔහු ලංකාවේ අයිතිකාරයා වගේය.  ගාන්ධි ලංකාවට ආ විට ඔහු වතුකරයට පය තිබ්බේ වත් නැත.

*(B) ඉන්දියාවට ලංකාව පාවාදීමේ ඉතිහාස කතාව කෙටියෙන්

සර් ජෝන් හා මාක්ස්වාදීන්

මට මතක හැටියට ඉන්දියා අගමැති කෙනෙකුගේ (නේරුගේ) අධිමානයට  අභියෝගයක් කල එකම සිංහල නායකයා සර් ජෝන් කොතලාවල විසින් 1955 දී බැන්ඩුන් සම්මේලනයේදීය. අගමැති නේරු සිතුවේ ලංකාවේ අගමැති තම කතාව  කිරීමට පෙර එය ඔහුට (නේරුට) පෙන්වා අනුමැතිය ලබාගත යුතුව තිබුණා කියාය! සර් ජෝන්, නේරුට අමතක නොවන පිළිතුරක් දුන්නේය, පාඩමක් ඉගැන්වූයේය. නේරුගේ පැත්ත ගත් ලංකාවේ කසි කබල් මාක්ස්වාදීන් සර් ජෝන්ට බැන්ඩුන් බූරුවා යයි කියමින් අවමාන කලේය. මෙය මීට පෙර ඔවුන් විසින් කුඩා කාලයේ කැළණිය පන්සල ආශ්‍රයේ සිටි නිසා සර් ඩී. බී ජයතිලකට අබිත්තයා යයි කියමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කෑගැසුවා පරිදිමය.

N Q ඩයස් හා උතුරේ හමුදා කඳවුරු

1962 ජනවාරි පොලිස්-නේවි ක්‍රිස්තියානි හමුදා කුමන්ත්‍රණයට කලින් සිටම විශේෂයෙන් උතුරු පලාතේ යුද හමුදා කඳවුරු පිහිටුවීමට ආරක්ෂක ලේකම් ඩයස් ක්‍රියාකලේය. එය හොර බඩු ජාවාරම් (smuggling) වැලක්වීමටත්, ඉන්දියන් මිනිස් ආක්‍රමණය (කල්ලතෝනීන්) නතර කිරීමටත් ගත් දූර දර්ශී පියවරක් විය. මේ කාලයේදී සිදුවූ තවත් දෙයක් නම් 1964 සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමය. ආපසු ඉන්දියාවට යාමට කැමති වතුකරයේ ජනයා හා තවත් කොටසක් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දියන් අගමැති එකඟවිය. ඉන්දියාවට යටත් නොවී ක්‍රියාකිරීමට ඇයට ශක්තිය ලැබුණේ චීන-ඉන්දියා යුද්ධයේදී (1962 ඔක්තෝබර්) ඇය මැදිහත්වූ ආකාරයද නිසාය. එම යුද්ධයේදී ඉන්දියාව පරාද වෙමින් සිටි අතර ඇමෙරිකන් ජනාධිපති කෙනඩි ගෙන් යුද ආධාර ඉල්ලන්නට යන තරමේ අසරණ භාවයකට නේරු පත්වී සිටියේය. 1974 දී කච්චතිව් දූපත (අක්කර 163) ලංකාවට ලබා ගැනීමට මිසිස් B  ට හැකිවිය

1965 DMK හා ඩඩ්ලිගේ හත් හවුල් (පෙඩරල් පක්ෂ) ආණ්ඩුව

ටැමිල්නාඩ් හා වැල්වෙටිතුරේ අතර පැවති හොරබඩු ජවාරම අනාගතයේ රනිල්ගේ පාලම, හා ගුවන් තොටුපලවල්, වරායවල් හරහා සිදුවීමට නියමිත මිනිසුන් හොරබඩු සේ  දිවයිනට ඒම මතක් කර දෙන්නේය. චීන ආක්‍රමණය ඉදිරියේ නේරු විසින්  ටැමිල්නාඩ් වෙනම රටක් කර ගැනීමේ ව්‍යාපාරය ව්‍යවස්ථා සංශෝධනයකින් තහනම් කල විට (16th Amendment 1963) ද්‍රවිඩ මුනේත්‍ර කලාහම් (DMK) නමින් එම ව්‍යාපාරය වතුකරයට කල්ලතෝනී උවඳුරක් වශයෙන් ආගමනය විය.  මෙම DMK වසංගතය හා උතුරේ කොදෙව් දූපත් වල ඇති ඓතිහාසික වටිනාකම ගැන මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් පොතකුත් ලියා ඩඩ්ලිට ආයාචනා කලත් ඔහු පෙඩරල් පක්ෂයට හිරවී සිටියේය.

JR ගේ (අ)ධර්මිෂ්ට ආණ්ඩුව 1977–>

JR හා RP යන දෙන්නාම ඉන්දිරා ගාන්ධිව තරහ කර ගැනීමට පල් මෝඩයින් ලෙස හැසුරුණේය. ඇයට හා ඇගේ පුතාට ගව මුත්‍රා බොන මහළු අගමැති මොරාජි දේශායි (1977-79) සමඟ එකතුව විහිළු කලේය. ඊට අමතරව ඉන්දිරා විසින් මිසිස්  B ගේ සිවිල් අයිතිවාසිකම් නැති කිරීමේ කැත වැඩේ නොකරණ ලෙස JR ට දැන්වූයේය. කාරිගේ චැනල් එකෙන් පෙන්වා දෙන අන්දමට JR  විසින් කරණ ලද ඉඩම් වංචා බරපතලය. අක්කර දහස් ගණනක් රජයට දුන් මිසිස් B ගේ අක්කර දෙක තුනක ගනුදෙනුවක් අල්ලාගෙන  JR කලේ පහත් වැඩකි. පසු කාලයක කිසි ලැජ්ජාවක් නැතිව JR, ඉන්දිරාගේ <පිටිපස්ස ඉඹීමේ> ගනයේ ලියුම් පවා යැව්වේය!

ඔහු විසින් අමෙරිකාවේ රොනල්ඩ් රීගන් පස්සේ ගොස් රටට බලවත් විනාශයක් කලේය. ඉන්දියාව රුසියාව සමඟ මිත්‍රව සිටින කාලයක JR ඇමෙරිකන් බලවේග වලට ලංකාව භාර දුන්නේය. ඔහුගේත් RP ගේත් මේ අඥාන ක්‍රියා වලට  හා පුද්ගලික අපහාසකිරීම් වලට දඬුවමක් වශයෙන් ඉන්දිරා හා  රජීව් ගන්ධි කොළු ගැටයා ප්‍රභාකරන්ගේ කොටින්ට උපරිම වශයෙන් ආධාර ලබා දුන්නේ ලෝකයට පවා බොරු කියමින්ය. ඉන්දියාවේ කොටි පුහුණු කඳවුරු නැතැයි කිව්වේ ඔවුන්ට මිසයිල පවා සපයන ගමන්මය.

ඇමෙරිකාවෙන් කිසිම උපකාරයක් නොලබුණ JR යැන්කි ඩිකීට රජීව් ගාන්ධි ඉදිරියේ දණ ගැසීමට සිදුවිය. ඩික්ෂිට් ප්‍රමුඛ ඉන්දියන්කාරයෝ ඔවුන්ගේ 1935 ව්‍යවස්ථාවට සමාන පලාත් සභා ක්‍රමයකට JRගෙන් අත්සන් ගත්තේය (1987). 1923 දී පමණ සිට, හා පසුව 1949 ට පෙර සිටම කොළඹ දෙමළ-ක්‍රිස්තියානි කල්ලියක් විසින් කෙළ හලමින් සිටි ඊළම් රටක් සඳහා JR-RP යන පරාණ දෙක මඟ පාදා දුන්නේ අගමැති බණ්ඩාරනායකගේ දෙමළ නිජබිම් ගිවිසුමට (B-C Pact 1957) විශාල තල්ලුවක්ද දෙමින්ය.

JR විසින් ලංකාව පලාත්සභා නම් මර උඟුලකට හිර කලත්, ඒ අවස්ථාවේ එසේ නොකරන්නට ඉන්දියන් හමුදා ලංකාවට ගොඩ බැස ප්‍රභාකරන්ට රටක් සාදා ගැනීමට පාරකපා දෙන්නේය. රටට කරපු විනාශය ඉදිරියේ මේ ක්‍රියාව අගය කලයුතුය. කරුමය නම් ඉන් පසුව ආ ගොන් පාලකයින් හැසුරුණු ආකාරයය. JVPකාරයින්ගේ තර්ජන ඉදිරියේ නැවක සැඟවීමට තරම් බියක් JR ට ඇතිවිය. රජිව් ගාන්ධි නේවි භටයෙකුගේ තුවක්කු ප්‍රහාරයෙන් නොමැරී බේරුණේය (විජේමුනි විජිත රෝහණ 1987ජූලි 30).

JR ගෙන් පසු R ප්‍රේමදාස හැසුරුණේ ඔල්මාදයෙන් මෙන්ය. <පහත්> කුලවල යයි සමහරු සිතන තුන් කට්ටියක් (JVP-ප්‍රභාකරන්-RP) කුවේණිගේ ශාපය රටට ගෙනාවේය.

කොටි බාලසිංහම්ලා කොළඹ හෝටල්වල තබාගෙන, IPKF සමඟ සටන් කිරීමට කොරින්ට හොරෙන් ආයුධ සපයමින් පිස්සු නැටු  RP,  1981 ජූනි 1 දා ඉන්දියන් හමුදාවට ලංකාවෙන් ඉවත්වන ලෙස දනුම් දුන්නේය. 1990 මාර්තු 24 ඉන්දියන් අන්තිම බල ඇනියද පිටත් විය. බොහෝ අය සිතන්නේ ඔවුන් ගියේ RP ගේ තර්ජනය නිසාය කියාය. එහෙත් ඇත්ත කතාව නම් ඒ වනවිට ටැමිල්නාඩ් දේශපාලකයින් හා දිල්ලියත් ඔවුන් අල්ලාගත් කොටි වලිගයෙන් ගැලවීමට තීරණය කර තිබීමය. එය ඔවුන් හැමට බලවත් හිසරදයක් (nightmare) වී තිබිණ.  ටැමිල්නාඩ් මහඇමතිව සිටි කරුණානිධිගේ ජීවිත කතා පොතේ (2020) මේ ගැන ඇති විස්තරය පහතින් දැක්වෙන ලංකාවෙබ් ලිපියෙන් බලන්න.

LankaWeb – 13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!  (November 7. 2020)

ප්‍රභාකරන්ට තමාගේ ජීවිතාරක්ෂක වෙස්ට් එක පවා දුන්, තමන් ලංකාවේ දෙමළ ජනයාට ඔවුන් බලාපොරොත්තු වුනාටත් වඩා අයිතිවාසිකම් ලබා දුන්නා යයි පැවසු රජිව් ගාන්ධි ව මරා දැමීමට තරම් ප්‍රභාකරන් දුෂ්ට වූවා පමණක් නොව RP ටද එම ඉරණමම ලබාදුන්නේය. කුවේණිගේ සාපය කියන්නේ මීටය.

මිසිස් චන්ද්‍රිකාගේ කාලයේදී  RP මෙන්ම උතුරු පලාත ප්‍රභාකරන්ට බද්දටදීමේ යෝජනාවත්, නීලන් තිරුචෙල්වම් හා G.L.පීරිස් සමඟ එකතුව ලංකාව කෑලිවලට (package deals) කඩා තනිකර දෙමළ ප්‍රදේශයක් සදාදීමේ දීමේ ආශාවත්, ප්‍රභාකරන්ගෙන් නොමැරී බේරීමත් හැරහර ගතයුතු දෙයක් සිදු නොවීය. සියල්ලම කලේ අගමැති රනිල්ය. ඇය JR ගේ බහුභූත ව්‍යවස්ථාව ගැන කතාකරද්දී JR ඇසුවේ හයිස්කූල් ගර්ල් කෙනෙකුට ජනාධිපතිකම් කල හැකිද යනුවෙනි.

2005 දී මහින්ද රාජපක්ෂට අනූනමයෙන් ජනාධිපතිකම ලැබුණේ සිංහල චන්දද නිසාත්ය. ඔහු චීනය කරේ දාගත්තේය. ගෝටාභය හා සරත් ෆොන්සේකා ලලිත් අතුලත්මුදලිගේ ප්ලෑන අනුව ක්‍රියකලේය. එහෙත් හසලක වීරයන්ගේ ජීව්ත පරිත්‍යාගයෙන් යුද්ධය දිනාගත් ඔහු දයාන් ජයතිලක වැන්නන් ලංකරගෙන බැංකි මූන්ලා, මන්මෝහන් සිං ලාට ජිනීවා වලදී 13 A+ පොරොන්දුවෙමින් රට පාවා දුන්නේය.

තිස් අවුරුදු යුද්ධයකින් බේරාගත් රටේ උතුරේ ජනයාගේ ජීවන ප්‍රශ්ණ විසඳීම වෙනුවට පාසැල්, ජලය, නිවාස යනාදියට වඩා පාරවල් සැදීමට චීන ණය ගත්තේය. ඒ අස්සේ දයාන් ජයතිලක, හා සමහරවිට මිලින්ද මොරගොඩගේ  ලණු ගිල විග්නේෂ්වරන්ට උතුරු පලාතේ යකා නටන්නට ඉඩ ලබා දුන්නේය. ඉන්දියාවට උතුරේ තානාපති කාර්යාලයක් සඳහා ඉඩදීම ඉන්දියන් රෝ ඔත්තු සේවයට උතුර භාරදීමක් වූ බව යාපනේ දෙමළ චේගුවේරා වන අරුන් සිද්ධාර්ථ්ගේ කතා වලින් දැන් එලිවේ. මෙ වනවිට යුද්ධය සඳහා ජීවිත දන්දුන් සිංහල දුප්පත් ගම්බද තරුණ තරුණියන් ගේ රුධිරය ගඟට කැපු ඉනි වැනිවී  ඇත. ඉන්දියාව උතුරේ ප්‍රශ්ණයේ සුක්කානම ඔවුන්ගේ අතට ගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල්ගේ යහපාලන ජරමරය ආරම්භවූයේ මංගල සමරවීර විසින් ජිනීවා වලට ගොස් රට පාවා දීමෙනි. මිසිස් චන්ද්‍රිකාගේ 1995-2000 පැකේජ් ඩීල්, සුමන්තිරන්-ජයම්පති වික්‍රමරත්නලාගේ 2017/18 ඔරුමිත්තනාඩු අවතාරය වශයෙන් යලි මතුවිය. මෛත්‍රීපාලගේ යහපාලන බෝම්බය නිසා එය යටගියේය.

මෙම අවාසනාවන්ත කාලයේදී සිංහල බෞද්ධ ජනයා රට බේරා ගැනීමේ වින්නඹුවා ලෙස ගෝටාභය කෙරෙහි තැබූ බලාපොරොත්තුව සුනු විසිණුව ගියා පමණක් නොව සිංහල බෞද්ධ ජනයා කිසි පැහැදීමක් නැති රනිල්ට කුකුල් කොටුව භාරදුන්නේය. දැන් එලඹී ඇත්තේ රනිල් ගේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ වසර කීපයය. මෙතෙක් ඔහු ගෙන ඇති හා නොගෙන ඇති හැම ක්‍රියාවක්ම මෙය සනාථ කරලන්නේය.

හොරෙන් අත්සන් කරන්නට යන එක්ටා ගිවිසුම මෙම විනාශයේ අන්තිම අවස්ථාවය. පුදුමයට කරුණ නම් මුළු රටම ඉන්දියාවට භාරදීමේ මෙම ප්ලෑන ගැන කතාකරන්නට ඉන්නේ අතලොස්සක් පමණක් වීමය. පාලමක් දැම්මත් නැතත් එක්ටා මඟින් ඉන්දියන් ජනයා ලංකාව ආක්‍රමණය කරන්නේ ගංඟාවකින් ජලය පහලට ගලා යනවා වගේය. දකුණු ඉන්දියාවේ දෙමළ ජනයාට රාවණා යනු ඔවුන්ගේ වීරයාය. උතුරු ඉන්දියන් හින්දු ජනයාට රාම-සීතා දෙවිවරුන්ය. මේ කොටස් දෙකටම ලංකාව අයිතියයි කියන්නට තරම් දැනුමක් හරීන් ප්‍රනාන්දුට නැත. මේ ක්‍රිස්තියානි කොළු ගැටයා කියන්නේ බුද්ධාගම හා ඉන්දියාව ගැනය. ඉන්දියාවෙන් බුද්ධාගම අතුගෑවී ගිය බව ඔහු දන්නේ නැත.

අතීතයේදී මුස්ලිම් ජනයා පැමිණ සිංහල ස්ත්‍රීන් සමඟ බින්න බැස්සා මෙන් එක්ටා යටතේ දිවයිනට එන කම්කරුවන්. බාබර්ලා, දොස්තරලා, ගුරුවරු යනාදීන් ලංකාවේ පලපැදියන් වනු ඇත. ටැමිල්නාඩ්වල පමණක් මිලියන් අනූවක් පමණ සිටී. ඉන්දියාවේ මිලියන් 200 කට වඩා අන්ත දුගී භාවයේ සිටී. ඔවුන් ඕනෑම රක්ෂාවකට ලංකාවට ඒමට සූදානම්ය. ඩයානා ගමගේ බුදුහාමුදුරුවෝ ඉන්දියන්කාරයෙක් යයි පවසන්නීය. හර්ෂ ද සිල්වා දකුණු ඉන්දියාවේ සිදුවෙමින් පවතින ශීඝ්‍ර දියුණුවට ලංකාවද බද්ධ වියයුතුයයි පවසයි. රනිල්ට කඩේ යන රන්ජිත් කීර්ති තෙන්නකෝන්ද එක්ටාකාරයෙක් බව පෙනේ (ලංකාවෙබ් 24/2/20).  ඉන්දියාවෙන් එන සංචාරකයින් හෝටල් තුල තමන්ගේ කෑම උයා පිහා ගන්නවා යයි මා අසා ඇත.

ගැමුණු කුමාරයා වකුටුවී නිදාගත් කාලය මට සිහිවේ

ලංකාවට අබසරණයි!

පාලම හා පාලම් පාරුව
Posted on October 3rd, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

ප්‍රංශය හා එංගලන්තය අතරත්, ඉන්දියාවේ ධනුෂ්කොඩි හා ලංකාවේ තලේමන්නාරම අතරත් ඒ කාලයේ තිබුණේ පාලම් පාරුය. ලංකාවේ තේ වතුවලට ඉන්දියන් කම්කරුවන් ආවේ හා නිවාඩුවට ආපසු ගියේ කෝච්චියෙන් තලෙයිමන්නාරමට ගොස් පාලම් පාරුවෙන් ය.  ප්‍රංශය හා එංගලන්තය අතර වාෂ්පයෙන් දුවන නැව් තිබුණේ සාගරය ගැඹුරු නිසාත්, එතෙර-මෙතෙර යන ජන සංඛ්‍යාව වැඩිවූ නිසාත් ය.

නැපෝලියන්ට හා හිට්ලර්‌ට එංගලන්තය අල්ලා ගන්නට නොහැකිවූයේ එය දුරින් පිහිටි දූපතක් වුණ නිසාය. මෙම දූපත හා යුරෝපා මහාද්‌වීපය දුම්‍රිය මාර්‍ගයකින්, බිංගෙයක් මඟින් එකට එක් කල යුතුයයි තීරණය වුනේ යුරෝපා සංගමය බිහිවී, යුරෝ පාස්පෝට් එකකින් හා යුරෝ සල්ලි භාවිතා කරමින් මිනිසුන් යුරෝපා සංගමය තුල එහෙ මෙහෙ යාමට පටන් ගත් නිසාය. මුලින්ම යුරෝපා සංගමයක් හදන්නට ප්‍රංශය හා ජර්‌මනිය පියවර ගන්නා විට එයට සහභාගිවීමට අතීත බ්‍රිතාන්‍ය රජයවල් ප්‍රතික්‍ෂෙපකලේ, තමන්ගේ යටත් විජිත හරහා පොහොසත් වී සිටි ඔවුන්ට දුෂ්කරතා වලින් පිරී සිටි යුරෝපයේ ලෙඩ වලට කර ගසන්නට හේතුවක් නොවූ නිසාය. එහෙත් අන්තිමේදී දණින් වැටී එයට එකතුවීමට ඔවුන්ට සිදුවිය. එපමණක් නොව ජර්‌මනිය අළුගසා දමා නැගී සිටි අතර බර්ලින් තාප්පය බිඳ වැටී කොමියුනිස්ට් රුසියාව කැබලිවී, දියාරුවී ගියේය.

ලංකාව හා ටැමිල් නාඩ් අතර පාලම් පාරුව වෙනුවට පාලමක් දැමීමේ අවශ්‍යතාවයක් නැතුවා පමණක් නොව, යුරෝපයේ දුපත හා මහාද්‌වීපය අතර මෙන් ඉන්දියා උප මහාද්‌වීපය හා ලංකා දූපත අතර දැන් ඇති පසුබිම අනුව, පාලමක් දැමීම ලංකාව විසින් සිය දිවි නසා ගැනීමකි. ඉංග්‍රීසිකාරයින් තමන්ගේ අධිරාජ්‍යයේ කුලී වැඩ සඳහා යොදාගත්තේ දකුණු ඉන්දියාවේ මැඩ්‍රාස් ප්‍රන්නතයේ අන්ත දුගී මිනිසුන්වය. පහත්ම කුලවලට අයත් වූ හා ඩලිත් කුල අප්‍රිකාවේ, ජැමෙයිකා වැනි මධ්‍යම ඇමෙරිකා දූපත් වල, මැලේසියා දූපත්, ෆිජි දූපත් වලට ගෙනගියේ ඔවුන්ව අර්‌ධ වහල් හෝ වහල් මිනිසුන් ලෙස වැඩට යොදාගත හැකිවූ නිසාය. මෙසේ සුද්දන් වතුවල ගෙන ගිය මේ වහල් ක්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණේ කපු වතුවල තිබූ කළු මිනිසුන් යොදාගෙන ගෙන ගිය වහල් ක්‍රමයට නොදෙවෙනි විය.

මෙම ක්‍රමයේ කොටසක් ලෙස ලංකාවේ කෝපි හා තේ වගාවට ගෙන ආ මිනිසුන් සැළකිය හැකිය. දුම්කොළ වගාව සඳහා ලන්දේසිකාලයේ ගෙනා මලයාලි ලෙස හැඳින්වූ මිනිසුන් හෝ ඉංගිරිසිකාරයින් වන්නියේ දෙමළ ජනයා පදිංචිකරවීමට කල අසාර්‌ථක ව්‍යාපාරය මෙන් නොව මේ අළුත් ජනයා හරියට දැන් ලංකාවේ සිංහල මිනිසුන් අරාබි රටවල කුලී වැඩ සඳහා යනවා සේ තාවකාලික කම්කරුවන් විය. ඒ සඳහා පාලම් පාරුව හොඳටම සෑහින.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් ව්‍යාපාරය ගැන 1960 ගණන්වල ලියූ කුඩා පොතක පෙන්වා දී ඇති අන්දමට, ලංකාව හා ඉන්දියාව අතර තිබූ ලංකාවට අයත් දූපත් (කොදෙව්), ලංකාවේ අතීත ඉතිහාසයේ වැදගත් කොටසක් විය. මෙම මූණත අතපසු කිරීම හෝ අමතක කිරීම කල නොහැක්කේ එය ලංකාව අමතක කරගැනීමක් වන නිසාය.  මේ නිසා මෙම කොදෙව් කතාව දේශපාලකයින් විසින් සෙල්ලමට දඟලන කතාවක් නොවිය යුතුය. ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු ත්‍රස්තවාදයට කලින් හා වැල්වෙටිතුරේ හොර බඩු ජාවාරමට හෝ ලංකා මුහුදේ මාළු, මුහුදු පතුලම අතුගා සූරාකෑමේ ටැමිල්නාඩ් මාළු මුදලාලිලාද අමතක කර සිතනවිට දෙරට අතර ඇති මේ නොගැඹුරු මුහුද උතුරේ දෙමළ තරුණයින්ට විනෝදය ගෙන දෙන පරිසරයක් විය. ටැමිල් නාඩ්වල අළුත් දෙමළ චිත්‍රපටියක් පෙන්වන්නට යන විට හා එය ලංකාවට ඒමට පෙර එය බැලීමට ඔවුන් ගියේ කුඩා ඔරු වලිනි. රෑ පිටත්‌වන ඔවුන් පසුදා මැට්නි ෂො එක බලා එදින රෑ ආපසු ගෙදර ඒමේ කතාව කියවූවිට මට ඇතිවූයේ සතුටකි. මුහුද සමහර තැන්වලදී අඩි දහයක්වත් නොවේ යයි මා අසා ඇත.

දකුණු ඉන්දියාවේ ටැමිල් නාඩ්, ලංකාවේ එකම අල්ලපු වත්තේ අසල්වැසියා ය. වෙන අසල් වැසියෙක් ලඟක නැත. දූපතක් වශයෙන් තිබීම නිසා ලංකාව, ලෝකයේ අනගි හා කදිම සංස්කෘතියක් සහිත හා අවුරුදු 2600 ක අඛන්ඩ ශිෂ්ටාචාරයක් වශයෙන් ජීවත් වුනේය. ඉන්දියාවෙන් නොයෙක් දේ ලබාගෙන ඒවා සිංහල බෞද්ධ කෝවට දමා ගෙන ඉන්දියාවේ කොටසක් නොවී සිටියේ මුහුද දෙරට වෙන් කල නිසාය. අඛන්ඩ භූමියක් නීතියෙන් වෙන්කල මායිම් සහිතව ඉන්දියාව හා ලංකාව ලෙස තිබුණා නම්, අද අප්‍රිකාවේ, මැදපෙරදිග අරාබි රටවල් හා මධ්‍යම ඇමෙරිකාවේ රටවල් එකිනෙකා මරාගන්නා අන්දමේ ව්‍යසන මෙන්, සිංහලේ කියා රටක් ඓතිහාසිකව ඉතුරුවන්නේද නැත.

මුහුද වැටක්, තාප්පයක් මෙන්ම මහා මා‌ර්‍ගයක් ලෙසද ද්‌වන්‌ධ කාර්යයක් ඉටුකරයි. එසේ තිබියදී වැට හෝ තාප්පය ඉවත් කරන්නේ ඇයි? වතුර මට්ටම එක සමාන ලෙස නැත්නම් ඉහළ වතුර පහලට ගලා යයි. දැනට එංගලන්තය හා ප්‍රංශය අතර වතුර මට්ටමේ (ආර්ථික, සාමාජික, දේශපාලන වතුර මට්ටම්) වෙනසක් නැත. ප්‍රංශ හෝ ජර්‌මන් ජනයා ඉංගිරිසි ජනයා යටත්කර ගන්නට යනවා යන බයක්  නැත. ලංකාව හා ටැමිල්නාඩ් අතර තිබෙන්නේ ටැමිල්නාඩ් ජල කඳ, උතුරේ පෙඩරල් හා කඳුරට මලයනාඩු ජලාශද සමග එක්‌වී සිංහල විල යටකර දමාවි යන බයය.

මුහුදක් නැතත් ගොඩබිම පමණක් මායිම් වන රටවල අසමතාවය, විෂමතාවය නිසා මතුවන යථාර්‌ථය ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩා හා මෙක්‌සිකෝ මායිම් දෙක දෙස බැලීමෙන් පෙනීයයි. කැනඩා-ඇමෙරිකා මායිම වතුර මට්ටම එක සමාන බව පෙන්වයි. වැටක්, තාප්පයක් නැත. පාලම් රැසක් ඇත. කැනඩාවේ ජනයා ඇමෙරිකාවට හොරෙන් එතැයි බයක් නැත. මෙක්සිකෝ මායිම එසේ නොවේ. වැටවල්, තාප්ප, පොලිස් බල්ලන්, කැමරා, හෙලිකොප්ටර්, කාර් පැට්‍රොල්, ඉණිමං හා යුද්ධ හමුදාව පවා යොදාගෙන මෙක්සිකෝවෙන් එන ජනයා පාලනය කිරීමට සිදුව ඇත්තේ දෙපැත්තේ ඇති දේශපාලන, ආර්ථික හා සාමජීය විෂමතාවය නිසාය.  වතුර මට්ටම් දෙකක් නිසාය.

ටැමිල්නාඩ් වලින් ලංකාවට ඇති උවදුර වැනි උවදුරක් මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට නැත.  මෙක්සිකෝ ජනයා පැමිණ ඇමෙරිකාව අල්ලා ගැනීමේ හදිසි දේශපාලන තර්‍ජනයක් නැත. එහෙත් ලංකාවට ටැමිල්නාඩ් වලින් ඇත්තේ මරණ තර්‍ජනයකි. සිංහල ජාතිය විනාශවේය යන භීතියය. ටැමිල්නාඩුවෙන් ලංකාවට පලා ඒමට ඉඩක් ඇත්නම් ඒ සඳහා ඒමට ලක්‍ෂ සංඛ්‍යාත ජනයා එහි සිටින්නේය. දැන් එය කිරීම ලෙහෙසි නැත්තේ මුහුද නිසාය. පාලමක් දැම්මොත් මෙය ඉතාමත් පහසු කාරියක්වේ. වයිකෝ, ජයලලිතා, කරුණානිධි වැනි දේශපාලකයින්ට අමතරව, පගා ක්‍රමය පාලමේ දෙපැත්තේම ක්‍රියාත්මකවෙනු ඇත.

ටැමිල්නාඩ් යනු කලබල සහිත, කුල භේදයෙන් දුක් විඳින, චිත්‍රපටි නළුවන් බලය සඳහා පොරකන, දුගී අස්ථාවර සමාජයක් හා, ලංකාව හා බලනවිට ඉතාමත් කටුක වියලි දේශගුණයක්, ස්වාභාවික පරිසරයක් ඇති ප්‍රදේශයකි. මෙය හොඳට පෙනෙන්නේ ලංකාවේ සිට ඩුබායි පැත්තට ගුවන් යානයෙන් යන විටය. හින්දි භාෂාව රටේ භාෂාව කරනවාට විරුද්ධවූ එකම ඉන්දියානු ප්‍රාන්තයද මෙයය. 1930 ස් ගණන්වලදී, පාකිස්ථාන් ව්‍යාපාරයට සමගාමීව, වෙනම රටක් ඉල්ලා 1938 දී ලන්ඩන්වලට පෙත්සම් ගැසුවේද මේ මැඩ්‍රාස් ප්‍රාන්තයේ සිටි හින්දි විරෝධී පිරිසක් විසින් ය. ප්‍රභාකරන් දිනුවා නම් ඔහු ටැමිල්නාඩ්ද අල්ලා ගන්නා නිසා දිල්ලිය ඔහුව පරදවන්නට ලංකාවට උදව් කලේය.

මෙහි පහත ඇති සිතියමේ පෙන්වා ඇත්තේ මේ කාලය වනවිට ටැමිල්නාඩ් මුහුණ දෙන ප්‍රශ්නය. එහි රතු පාට ඊතල වලින් දක්වන්නේ ටැමිල්නාඩ් ප්‍රාන්තයට පිටතින් එන බලපෑම් ය. දිල්ලි ආණ්ඩුවෙන් එන හින්දි භාෂා කොමිසමේ බලපෑම, දෙමළ ජනයාට හින්දි භාෂාව ඉගෙන ගැනීමට බලකරයි.  ජාතික ජල සම්පාදන ව්‍යාපාර, න්‍යෂ්ටික බලාගාරය, සේතු සමුදුරම් නාවික ඇල යන මේවා දිල්ලි ආණ්ඩුවෙන් ටැමිල්නාඩුවේ කරගෙන යන ක්‍රියාවන් ය. සමහර අය සිතන්නේ මේ ඇල වැල්වෙටිතුරෙයි හා ටැමිල්නාඩ් අතර සම්බ‌න්‌ධය කැඩීමට හේතුවන උපායක් කියාය. අසල්වැසි ප්‍රාන්ත සමඟද වතුර යුද්ධ හා ආශ්‍රිත මායිම් ගැටුම් නිතරම හටගනී. පොන්ඩිචේරි යනු ටැමිල්නාඩ් තුල ඇති ඊට අයත් නොවන භූමි ඒකක දෙකෙන් එකකි.

බොහෝ අය නොදන්නා කරුණක් නම් ටැමිල්නාඩ් තුල වෙනම ප්‍රාන්ත දෙකක් ඉල්ලන කොටස් දෙකක් සිටින බවය. රාමඩෝස්ගේ පී එම් කේ පක්‍ෂය වන්නියාර් කුලවල අයට වෙනම ප්‍රාන්තයක් ඉල්ලන අතර, ඒ අනුව යමින් ඩලිත් කුල තමන්ටද වෙනම කෑල්ලක් ඉල්ලා සිටී. මෙවැනි තුනට කැඩීමේ අවදානමක් ඉදිරියේ ලංකාවේ දෙමළ ප්‍රශ්න ගැන ටැමිල්නාඩ් දේශපාලකයින් ඉදිරිපත්‌වීම, දේශපාලකයින් ලෝකය පුරාම ගෙනයන උපාය මාර්‍ගයක් නොවේද?

ලංකාවේ බොහෝ අය නොදන්නා තවත් කරුණක් නම් රාමා-සීතා කතාව ටැමිල්නාඩ් වල පවතින්නේ උතුරු ඉන්දියාවේ පවතින කතාවට වෙනස්ව බවය. ඉන්දියාවෙන් කැඩී වෙනම දෙමළ රටක් හදාගැනීමේ ව්‍යාපාරය ආරම්භකල රාමස්වාමි නායිකර්‌ට අනුව මහාභාරතයේ එන රාම-සීතාලා සවුත්තු මිනිසුන් ය. රාවණා යනු ඉතාමත් ධාර්මික දෙමළ රජෙකි. ලංකාවේ වතුකරයේ උපන් එම් ජී රාමචන්ද්‍රන් චිත්‍රපටිවල රඟපෑවේ මේ රාවණා ලෙසය. මෙසේ සැදූ ලාභ චිත්‍රපටි ටැමිල්නාඩ් වලත්. ලංකාවේ කඳුකරයේත් ඉතාමත් ජනප්‍රිය විය.

මෙවැනි පසුබිමක් යටතේ බලනවිට, ටැමිල්නාඩ් සිට බලනවිට, ලංකාව, දෙමළ ජනයාට මවා ඇති ක්‍ෂේම භූමියක් නොවන්නේද? හෝටල් කාමරවල කෑම උයා ගනිමින් රාම-සීතා සැඟවුණු ස්ථාන බලා ගැනීමට එන උතුරු ඉන්දියන් සංචාරකයින්ට හාත්පසින්ම වෙනස් ආකල්පයක් එසේම කෑම උයාගන්නා ටැමිල්නාඩ් දෙමළ සංචාරකයින් තුල ඇතිබව දන්නේ කී දෙනාද?

රනිල් වික්‍රමසිංහ මහතාට 2002 දීද මේ ඉන්දියන් පාලම් දොලදුක හැදී තිබුණේය. ඒ වාගේම ඔහුට තිබුණ ආශාවක් නම් කොළඹ මෙග කොළඹක් කිරීමය. දැන් 2015 දී ඔහු නැවත මේ අදහස් ඉදිරියට ගෙන ඒමෙන් පෙනෙන්නේ ඔහු වයෝවෘධවීමත් සමඟ ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ඉගෙන ගෙන නැති බව නොවේද?  දෙවියන් වහන්සේ ලෝකය මැව්වා නම් ඔහු ගොන්ඩ්වානාලන්තයෙන් ඉන්දියාව වෙන්කරද්දී, ඉන්දියාවෙන් ලංකාව වෙන්කලේ යම් හේතුවක් නිසා වියයුතුය. මේ නිසා දෙවියන් කලදේට පටහැනිව ක්‍රියාකරන්නට යාම උචිතද? ටෛටැනික් නැව එහි මංගල ගමන ඇරඹීමට පෙර, මේ නැව නම්  දෙවියන් වහන්සේටවත් ගිල්ලන්නට නොහැකියයි එහි අයිතිකාරයෙක් ගාම්භීරයෙන් කී බවත්, එය අසා සිටි අයෙක් ඒ ගැන බලවත්සේ සසළවුණාය කියාත් මා අසා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress