අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා (අද දින) පෙ.ව. 8-10 අතර පැවැත්වීමට ඇති නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම පවත්වන බවට අදාල කාරණාවයි.
Posted on April 2nd, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)  සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

මරදාන සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්,

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, නීතිපතිතුමා, නීතීඥවරුන් ,

මාධ්‍යවේදීන් වෙත…,

1.         අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන් ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාකලාපය නිවැරදි කරමු… මැයෙන් නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා පෙ.ව. 8-10 අතර පැවැත්වීමට අදාලව කෙසෙල්වත සහ මරදාන පොලිස් ස්ථානවලටත්, මාධ්‍ය ආයතන වෙතත්, පත්‍රිකා මාර්ගයෙන් නීතීඥවරුන් සහ ජනතාව වෙත දැනුම් දී ඇත.

2.         මෙවර (2024) ජනාධිපතිවරණයට වත්මන් අධිකරණ අමාත්‍යවරයාද ඉදිරිපත්වීමේ සාකච්ඡාවක් පසුගිය දින ආරම්භ වී ඇති අතර, කෙසේ වෙතත් අද දින අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම සිදුකිරීම එදිනට දින ගණනාවකට පෙර සිට තීරණය කර අදාල පොලිස් ස්ථානාධිපතිවරුන්, නීතීඥවරුන්, මාධ්‍ය ආයතන දැනුවත් කර තිබූ හෙයින් යොදාගත් පරිදිම අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට උක්ත නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම අද දින නියමිත වේලාවේ දී පවත්වන බව දැනුම් දෙමි.

3.         සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය වූ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට මෙරට පුරවැසියන්ට ලබා දී තිබූ අයිතිය, අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අහිමි කිරීම වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා නිවැරදි නොකළේය.

4.         එසේම අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණයට අපහාස මුවාවෙන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත, අධිකරණ ඇමතිවරයාගේ පනත් කෙටුම්පතක් මත පාර්ලිමේන්තුව මගින් පනවාගෙන ඇති අතර, එකී පනතේ ඇතැම් විධිවිධාන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය, සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, 1969 අංක 22 දරන රජයේ සිවිල් වැරදි පිළිබද පනත, ස්වභාවික යුක්ති මූලධර්ම සමග නොගැලපෙන තත්ත්ව උද්ගත කරන හෙයින් ඒ සම්බන්ධයෙන්ද ඔහුගේ ඇති ව්‍යවස්ථාමය වගකීම/ යුතුකම ඉටුනොකිරීම අත්හැරෙන්නේ නැත.

5.         එසේම චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!යන්න පිලිබදව කිහිප දෙනෙකු විසින් මේ වනවිටත් ආරම්භ කර ඇති කතිකාව ඉදිරියට ගෙන යාම, පුද්ගල නිදහස, නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදීද, සංවර්ධිත රටක් වෙනුවෙන්ද අවශ්‍ය වේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress