දෑ හිතකාමි ඉසිවරයාගේ නික්මීම 
Posted on May 4th, 2024

ප්‍ර සමරසිංහ

සිංහල-බෞද්ධ සංස්කෘතියට සහ එම ඉතිහාසයට එරෙහිව අවි ගන්නෝ බොහෝය. ඔවුන් මේ චින්තනයට අයිතිවිය යුතු හිමිතැන ලබා දෙන්නටත්, ඒ සංස්කෘතිය තුල ඇති සමකරුණා ගුණයෙන් දේශය කරවන්නටත් දක්වන්නේ අසීමිත අකමැත්තකි. එය එසේ වුවත් ඒ ඇත්තන් යුදෙව් -ක්‍රිස්තියානි සංස්කෘතියට එවන් අරුචියක් පෙන්වන්නේ නැත. ඒ බොහෝ විට ඊනියා විශ්ව ගම්මානයේ පැවතිය යුත්තේ මේ  අධිපතිවාදි සංස්කෘතීය පමණකැයි කියා පිළිගන්නට ඔවුනට පුරුදු පුහුණු කර ඇති නිසා විය යුතුය. 

එදා අනගාරික දම්මපාල තුමා පහල නොවන්නට රටේ හැම අස්සක මුල්ලකම අසිංහල-අබෞද්ධකම රජයන්නට තිබුණි. එතුමා වරද දුටු තැන ඉවසීමෙන් ඒ පෙන්වා අභීත සෙන්පතියෙක් ලෙසින්, අලසව වැතිර ගත් රටවැසියනට රැක ගත යුතු දෑ මතක් කර ඒ මග ගෙන ගියේය. ඒ පිබිදීමෙන් ලත් පන්නරය හේතුවෙන් අපට අපේ රටට ජාතියට බසට ආගමට ලැදිව එය පෝෂණය කර ගන්නට අවස්ථාවක් ලැබුනත් මැකෝලි දරුවෝ එය ඉවසුවේ නැත. එතුමන්ට කල ගර්භා වලටද ඉමක් තිබුනේ නැත. ඔවුනගේ ඒකායන පරමාර්ථය වූයේ සිංහල-බෞද්ධකම අකා මකා අධිරාජ්‍යවාදී සංස්කෘතිය පතුරාලන්නටය. කෙසේ නමුත් එම ආධිපත්‍යය මැද සිංහල-බෞද්ධ පිබිදීම ඇතිවී නැති වී යන්නක් සේ පෙනුනත් එහි අක්මුල් සිඳ බිඳලන්නට බැරි වුයේ අනගාරික දම්මපාල තුමාගේ බලවත් කැපවීම නිසාය. 

සිංහල-බෞද්ධ අක්මුල් තව දුරටත් සවිමත් කර හඬක් නගන්නට අනගාරික දම්මපාල තුමාට පසු ආචාර්ය නලින් ද සිල්වා මැතිදුන් රටට ලැබුනේ අපේ පෙර වාසනාවකටය. තනිකර-අනුකාරක-භවතුන් සේ වහල් නොවි, අපේකම රැක ගනිමින් අපේ දැනුම් පද්ධතිය ඔස්සේ යමින්, පිටස්තර දැනුමක් ගැලපේ නම් ඒවා සුදුසු ලෙසින් අවශෝෂණය කර ගන්නට තරම් බුද්ධිමත් විය යුතු බව එතුමා නිතර නිතර සිහි ගැන්නු අන්දම අපූරුය. 

විදෙස් රටවලට තරුණ තරුණියන් යවා ඒ තාක්ෂණය, ඒ දැනුම් පද්ධතීන් ඉගැන්විය යුතු බව අනගාරික දම්මපල් තුමන් සේම ආචාර්‍ය නලින් ද සිල්වා මැතිතුමන් ද කීවේය. තරුණ තරුණියන් සේම භික්ෂුන් වහන්සේලාද ඉංගිරිසි ඇතුළු වෙනත් බස්ද, ගණිතය සහ සයන්ස් ද උගත යුතු බව නිතර මතක් කර දුන්නෝය. අවස්ථාවන් ලබා විදෙස් රටවල රැකියාවල යෙදී අපේ නිවහල්කම රැක ගනිමින් ඒ ඒ  දැනුම් පද්ධතීන් වටහා ගන යුතු බව සැල කලෝය. එනමුත් මැකෝලි දරුවන් ඔවුනට හුරුපුරුදු සටකපට ලෙසින් මේ දෙපලම එවැනි දේට තරයේ විරුද්ධ වූ බව කියන්නේ එතුමන්ලාගේ එවන් එකදු උපුටනයක් හෝ නොදක්වාය.

කිසි දිනක නොපැරදවිය හැකිය කියා ඊනියා විශේෂඥයින් ප්‍රචාරය කල, බටහිර සහ ඉන්දියාව හදා වඩා ඇතිදැඩි කෙරු එල් ටී ටී ඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදය අපට පරාජය කල හැකිය සහ කල යුතුය කියා ප්‍රසිද්ධියේ කියූ ඒ වෙනුවෙන් වැඩ කල ප්‍රථම අභීත විශ්ව විද්‍යාල ආචාර්‍යවරයා වූයේ නලින් ද සිල්වා මැතිතුමන්ය. ලංකාවේ හුදී සිංහලයන්ට නැති හුදී දෙමල අයට පමණක් සුවිශේෂ වූ ප්‍රශ්ණ මොනවාද, ඉන්දියාවෙන් බලෙන් අපේ ඇඟේ ගැසූ 13 හරහා උතුර පළාත හා නැගෙනහිර පළාත එකතු කිරීමෙන් කොළඹ සහ රට පුරා විහිදී සිටින අනෙක් දෙමල පිරිසගේ ‘එවන් ප්‍රශ්න’ විසඳෙන්නේ කෙසේද කියා එතුමන් එකල ප්‍රසිද්ධියේ ඇසු පැනවලට කිසිවකු අදටත් පිළිතුරු නොදෙති. එතුමා විරෝධය දැක්වුයේ කුහක අවස්ථාවාදී දෙමල වෙල්ලාල ජාතිවාදී දේශපාලකයන්ට මිස හුදී දෙමල මිනිසුනට නොවේය. එහෙත් මැකෝලි අනුකාරකයින් පුරුදු ලෙසින් එතුමන්ට එරෙහිව කථන්තර මැවූහ.

පාසැල් අධ්‍යාපනය ලබන කල බුදු දහම හැදෑරු නමුත්, තරුණ අවදියේ සම සමාජ ව්‍යාපාරයට බැඳීමෙන් පසු තමන් කියවූ කාල් මාක්ස් න්‍යායන් හා භෞතිකවාදී අදහස්වල නිසරු බව අවබෝධ කර ගත් නිසා එතුමන් 1981 දී ඒවායෙන් මිදී, ඉන්පසුව බුදු දහම ඇසුරෙන්, ඕනෑම සංස්කෘතියක තිබෙන ‘චින්තනය’ සංකල්පය ‘මගේ ලෝකය’ කෘතිය තුලින් ලොවට දායාද කලේය.

මිනිසුන් ‘දැනුම’ ලබා ගන්නේ / සංස්කරණය කරන්නේ තම සංස්කෘතියට හා පංචෙන්ද්‍රයිනට සාපේක්ෂව බවත්, දැනුම ලබන විවිධ ක්‍රමවේදයන් සහ, ඒ අනුව විවිධ සංස්කෘතීන් කාලයත් සමග වෙනස් වන හැටිත්, ‘බටහිර සයන්ස්’ යනු ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධීන් පැහැදිලි කිරීමට යම්තාක් දුරට පමණක් වැඩ කරන හුදෙක් ඉන්ද්‍රිය ගෝචර නොවන ‘වියුක්ත කතන්දර ගෙතීමක්’ බවත් එතුමන් මෙම කෘතියෙන් පෙන්වා දුන්නේය. එම නිසා බුදු දහමේ දැක්වෙන පරිදි ඉන්ද්‍රිය ගෝචර ‘මම’ යන්න ‘බොරුවක්’ සේම, වස්තුන් අතර ආකර්ෂණයට හේතු ලෙස නිව්ටන්, අයින්ස්ටයින් ගෙතු බටහිර සයන්ස් වියුක්ත කතන්දර, ඊටත් වඩා ‘පට්ටපල් බොරු’ බවත් පෙන්නා දුන්නේය. එපමනක් නොව, බටහිර ගණිතයේ සහ ජ්‍යාමිතියේ ප්‍රශ්න කල නොහැකි මුලික සිද්ධාන්ත ගැනද අපව දැනුවත් කලේය. නිතර වෙනස් කරන ‘බටහිර වෙදකම’ වනාහි ඉන්දිය-ගෝචර-තාක්ෂණයක් විනා ඉහත සඳහන් ‘බටහිර සයන්ස්’ එකක් නොවන බවත් පැහැදිලි කලේය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පඬිරුවනක් වුද තුන්කල් දුටුවා වූද ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ උපදෙස් ලබා ගන්නට උත්සුක වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පමණි. ඒ එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට දැනට ක්‍රියාත්මක විසඳුම සොයා ගන්නටය. ඉන් අනතුරුව මැකෝලි දරු බලපෑමට යටත් වුනු නිසාදෝ කිසිම ජනාධිපතිවරයෙක් එතුමාගේ වටිනා සේවය/ උපදෙස් නොපැතීම මුළු රටේම අභාග්‍යයකි.

ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ඊනියා පරිසරවේදියෙක් නොවුනමුත්, පරිසරයේ ගතික සමතුලිත බව ආරක්ෂා කරගත යුතු අන්දම දක්වා කෘතියක් කලේය. අධික පරිභෝජනයෙන් දුරස් සරල දිවි පැවැත්මෙන් තොර පරිසරය රැකීමක්වත් රටක ආර්ථිකය නගා සිටුවීමක්වත් සිදු නොවිය හැකි බව එතුමාගේ දැක්ම විය. අපට ගැලපෙන මිණුම් දඬු හදා ගත යුත්තේ සිංහල-බෞද්ධ සංස්කෘතියේ පිහිටා බව නිතර මතක් කලේය. 

රජරට මාරාන්තික වකුගඩු රෝගයට හේතුකාරක සොයා ගැනීමට එතුමාගෙන් ලැබුණු නොසැලුණු දායකත්වය සහ පාරම්පරික සිංහල දැනුම් පද්ධතිය ඔස්සේ එම රෝගීන් සුවපත් කරන්නට යෙදවූ  පුද්ගලික ධනය හා ශ්‍රමය අතිමහත්ය.

මැකෝලි දරුවන්ගේ උදහසට ලක් වුණත් සිංහල-බෞද්ධ අපෙන් නික්ම ගිය ඉසිවර නලින් ද සිල්වා මැතිතුමා ගෙන් අපට පෙනුනේ/ පෙනෙන්නේ එදා අනගාරික දම්මපාල තුමාමය. යුගයෙන් යුගයට වෙන්ව ගියත් නැවත නැවත අප අතරට සැපත් ව සිංහනාද කර මග පෙන්වන මහා ඉසිවරයාණෙනි, අමා මහා නිවන් සුව ලබන තුරු සිංහල-බෞද්ධ සංස්කෘතිය රැක දෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress