හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු යූ.එල්.එම්.ෆාරුක් මහතා
Posted on May 10th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“හිටපු අමාත්‍ය යූ.එල්.එම්.ෆාරුක් මැතිතුමා 1941 ජුනි 20 වැනිදා කෑගල්ල, රුවන්වැල්ල කන්නන්තොට මුස්ලිම් ගම්මානයේ පාරම්පරික වාමාංශික දේශපාලන පවුලක උපත ලැබූ අතර, ෆලීලා උම්මා මැතිනිය සහ යුනුස් ලෙබ්බේ මැතිතුමා, එතුමාගේ ආදරණීය දෙමව්පියන්. එතුමා කන්නන්තොට සුලෙයිමානියා මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ අතර, රුවන්වැල්ල මූදුගමුව සිංහල මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා.

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා තරඟ කළ 1956 දී, අවුරුදු 15ක වයසේ සිටි ෆාරුක් මැතිතුමා, ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වු බව අප අසා තිබෙනවා. 1964 දී, ගම්සභා මැතිවරණයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි එතුමා රුවන්වැල්ලේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ සභාපතිවරයා ද වුණා.

එමෙන්ම, කෑගල්ල දිසා සංවර්ධන සභාවේ සාමාජිකයෙක් වූ ඔහු සමස්ථ ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණේ උප සභාපති ධූරය ද, කෑගල්ල දිසා මුස්ලිම් අධ්‍යාපන සංවර්ධන පදනමේ සභාපතිවරයා ද වුණා. තුන් කෝරලයේ පුරවැසි එතකුමුතුවේ සභාපතිවරයා ලෙස ද එතුමා කටයුතු කළා.

කොත්මලේ තේ කම්හලක කළමනාකරු ලෙස ද විටෙක ඔහු කටයුතු කළා. 1965 – 70 සමයේ හිටපු ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය පී.සී. ඉඹුලාන මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේ ද ෆාරුක් මැතිතුමායි.

හවිවා උම්මා මැතිනිය සමඟ 1965 දී විවාහ වූ එතුමා දරුවන් 09 දෙනෙකුගේ පියෙක්.

1988 සිට 1991 දක්වා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ෆාරුක් මැතිතුමා, කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වාර්තාවක් ද තබා තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වූයේද එතුමායි. එම අවස්ථාවේදී කිහිප වරක්ම වැඩ බලන ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිවරයා ලෙස ද, ඔහු කටයුතු කළා. 1994 දී එතුමා යළි පාර්ලිමේන්තුවට පිවිසියා. 2001 වසරේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරය දැරුවේද යූ.එල්.එම්.ෆාරුක් මැතිතුමායි.

කොටි තර්ජන නිසා සේවයට වාර්තා නොකිරීමෙන් සේවය අහිමි වූ ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් සිය ගණනකට නැවත ෆාරුක් මැතිතුමා විසින් රැකියා ලබාදීමට කටයුතු කිරීම,  ගොඩනැගිලි පහසුකම් නැති මුස්ලිම් පාසල් 19කට එවකට සබරගමුව පළාත් මහ ඇමතිවරයාගේ ආශිර්වාදයෙන් මුදල් වෙන් කර දීම ඇතුළු කෑගල්ලේ මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරිමට එතුමා විශේෂයෙන් කටයුතු කළා.

වසර 80ක් ජීවත් වූ එතුමා 2021 අගොස්තු 06 වනදා මෙලොවින් සමුගත්තා. ඊට පෙර ඔහුගේ දේශපාලනය පිළිබඳ යුග පෙරළියක තුන් කෝරළයේ අභිමානය” යන ග්‍රන්ථය 2014 වර්ෂයේදි එළි දැක්වූවා.

අප අතරින් සමුගත් එතුමාට ඔහුගේ ආගම අනුව ස්වර්ගය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, එතුමාගේ බිරිඳ, දරුවන් ඇතුළු ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකය දන්වා යවන ලෙස ද ඉල්ලා සිටිනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress