ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ “ජයිකා” මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?
Posted on May 26th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ “ජයිකා” ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත.

එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට  ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය නීති, රෙගුලසි, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත,2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුලු පනත් මගින්ද, ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කිරීමේ චාරිත්‍ර සහ නීති අනුවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සම්ප්‍රදායන් අනුවද ඒවා පාලනය වෙයි.

ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ලෙස මූල්‍ය අර්බුදයලයකට ලක්වී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගත් ජනාධිපතිවරයෙකු ජනතවගේ විශාල කණ්ඩායමකගේ විරෝධතා මත ධූර අත් හරිනු ලැබූ අතර, අගමැතිවරයෙකු ඉවත් කරවනුද ලැබීය.

එවන් තත්ත්වයක් යටතේ සහ නීතියේ පාලනයේ මූලිකාංගයක් වන සහ ස්වභාවික යුක්ති මූලධර්මයක් වන “යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බව පෙනෙන්නට පැවතිය යුතුය” යන්නට ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ “ජයිකා” ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ලබා ගැනීම සම්බන්ධ අදාල කාරණාවේදී ප්‍රමුඛත්වය ලබා දීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ
සභපති ජනාධිපති නීතීඥ  කෞෂල්‍ය නවරත්න,  සභාපති ධූරයට තරග වැදීමට නියමිත ජනාධිපති නීතීඥ  නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ  ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ  නුවන් ද අල්විස් සහ නීතීඥ රශ්මි ඉන්දතිස්ස විසින් ජපානයේ ‘ජයිකා’ ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දුන් කෝටි 2ක මුදලෙන් කොටසක් සැකසහිතව ලබාගෙන ඇති අය බවට පුවත්පත් පවා වාර්තා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට අගවිනිසුරුවරයාටද, අදාල නෛතික ආයතනවලටද පැමිණිලි ලැබි තිබිය හැකිය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පත්කර ඇති ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා, අලගරත්නම් මහතා සහ විමර්ශනයට ලක්වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ
සභපති ජනාධිපති නීතීඥ  කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතීඥ  නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතීඥ  ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතීඥ  නුවන් ද අල්විස්, නීතීඥ රශ්මි ඉන්දතිස්ස අතර කාලයක් තිස්සේ සුවිශේෂී පුද්ගලික සම්බන්ධතා නොපවතින බවට පිළිගත හැකි නොවේ.

මෙම ගනුදෙනුව දූෂණ විරෝධයට අදාල ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකට සම්බන්ධ සහ ජනතාවට සෘජුව බලපාන හෙයින්, දීර්ඝ කාලයක් සුවිශේෂී පුද්ගලික සම්බන්ධතා පවතින තැනැත්තන් විමර්ශන කමිටුවලට පත්වීමෙන් සහ එහි ස්වභාවය අනුව එකි විමර්ශනයම සැකයට ලක්වන, අපක්ෂපාතී නොවන තත්ත්වයට පත්වන අතර එකී විමර්ශන කමිටුවේ සාමාජිකයන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතාගේ, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතාගේ,ඉක්‍රම් මොහොමඩ් මහතාගේ, අර්සකුලරත්න මහතාගේ සහ අලගරත්නම් මහතාගේ ස්වාධීනත්වයට, කීර්තියට සහ ගෞරවයටද අහිතකර තත්ත්වයක් ඇති වෙයි. එවන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පුරවැසියන්ගේ යුතුකමකි. මෙවැනි විමර්ශනයක් කිරීමට සූදුසු ස්වාධීන, කුසලතා ඇති තැනැත්තන් මෙරට ඇත.

ඉහත කාරණා සැලකීමේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ජයිකාමුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වීම යුතුකමක් වෙයි.

http://neethiyalk.blogspot.com/2024/05/blog-post_25.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394 (2024.05.24)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress