ජනපති ක්‍රමය අහෝසි කළ යුතු ද පැවතිය යුතුද
Posted on August 18th, 2024

මතුගම සෙනෙවිරුවන්

           ජනපතිවරණය පැමිණීමත් සමගම විධායක ජනපතික්‍රමය අහෝසි කළ යුතුය යන ඉල්ලීම සංවිධාන මගින් සහ විද්වතුන් වෙතින් ඉදිරිපත් වෙමින්  පවතී. එයට හේතුව පසුගිය කාලයේ මෙම ධූරය හෙබවූ පුද්ගලයන්ගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතය.විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවනි පාලන සමයේ මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තනතුර තාවකාලිකව හෙබවූ පසුගිය කාලයේ දී සිදු වූ ක්‍රියා මෙහිදී සැළකිල්ලට ගෙන තිබේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, අයථා පත් වීම්, මූල්‍ය අපරාධ, ශ්‍රේෂ්ධාධිකරණ තීන්දු වලට හිස නොනැමීම වැනි කාරණා නිසා රටේ ප්‍රශ්න වලට මූලික හේතුවක් ලෙසට විධායක ජනපති ක්‍රමය උලුප්පා දක්වා තිබේ.

       හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව සකස් කර විධායක ජනපති ක්‍රමය ඇති කරන ලද්දේ කුමක් හෙයින්ද යන්න එතුමා ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වේ.මෙම ක්‍රමය ඇති කරන්නට පෙර   1966 වසරේ දෙසැම්බර් 14 දින විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේ දී පැවති රැස්වීමකදී මෙම කරුණ පිළිබඳ මූලික අදහසක් ඔහු ඉදිරිපත් කර ඇත. ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම තනතුර ඇති කරලීමට ප්‍රථම ඉදිරිපත් කරන ලද ප්‍රබලම තර්කය වූයේ එක් මන්ත්‍රී ආසනයකින් ජයගත් තැනැත්තෙකු රටේ නායකත්වයට පත් වනවාට වඩා මුලු රටේ ම බහුතර කැමැත්තෙන් නායකත්වයට පත් වන තැනැත්තා ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් නියෝජනය කරන බවයි.මේ එහිදී ඔහු පළ කළ අදහසයි. ‘විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිත කාලසීමාව  මත රඳා පවතින්නේ නැත.එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම් වලට  යටත් වන්නේ නැත.එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය.’

   මෙවැනි අදහසක් දැරූ ඔහු  1978 න් පසු එවකට ලංකාවේ පැවති ආර්ථිකය ලෝක ප්‍රාග් ධන වෙළඳපල අනුව පරිවර්තනය කිරීමට  විධායක බලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගන්නා ලද්දේය.ව්‍යවස්ථාදායක බලය අතික්‍රමණය කරමින් වඩා තනි තීරණ ගනිමින් මැතිවරණ කල්දමමින් කළ සෙල්ලම් කවුරුත් දනී.ලංකාවේ කර්මාන්ත බිඳ වැටීම ,දේශිය නිෂ්පාදන බිඳ වැටීම සහ මූල්‍ය වෙළඳ පළට අදාල මාෆියා කල්ලි හිස එසවීම මෙම ක්‍රමය නිසා සිදු විය. අනතුරුව පත්වූ සියලුම ජනපතිවරු සිය විධායක බලය උපරිම අන්දමින් භාවිත කරමින් කටයුතු කළ අතර  රටට වැඩදායක ලෙසට විශේෂයෙන්ම තිස් අවුරදුදක් පැවති යුදධය අවසන් කිරීමට එය යොදා ගනු ලැබූවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.නමුත් පසු කාලීනව ඔහු විසින් 18 වන සංශෝධනය සම්මත කර ගැනීම මගින් තවත් අසීමිත බලයක් එකතු කර ගැනීම සමාජයේ විවේචනයට ලක් විය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු පරාජයට පත් වී 19 වන සංශෝධනයෙන් බල ගැන්වූ ව්‍යවස්ථාවක් සහිතව ජනපති අගමැති සන්ධානයක් බිහි වීමයි. මේ ක්‍රමය 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත නොකරන ලද්දකි. නමුත් ව්‍යවස්ථාව නොසලකා හැර කාරක සභා අවස්ථාවේ දී සම්මත කරගත් යෝජනා මගින් එය නීතියක් බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ ජනපතිවරයා අභිබවා අගමැතිවරයා හිතුවක්කාර ලෙසට කටයුතු කිරීම ඇරඹීමයි.සුප්‍රසිද්ධ මහ බැංකු වංචාව සිදු වූයේ මේ අවදියේ වන අතර අගමැතිවරයා ඒකාධිපතියෙකු ලෙසට කටයුතු කළ ආකාරය ද වරක් මෛත්‍රීපාල ජනපතිවරයා විසින් හෙළි කර තිබුණි.ඊට අමතරව ඩොල්ර් බීලියන 12.5 ක ණය කන්දරාවක් ලංකාවට ගෙන එන ලද්දේ අගමැතිවරයාගේ සෘජු මැතිහත් වීමෙනි.මේ නිසා සිදු වූ ආර්ථික කඩා වැටීම මේ වන තෙක් යථා තත්වයට පත්ව නොමැත.

      ජනපති වරයෙකුගේ ඒකාධිපතිත්වය ගැන සාකච්ඡා කරන බොහෝ දෙනෙකු අගමැතිවරයෙකු ගේ ඒකාධිපතිත්වය ප්‍රශ්න නොකරයි.මීට හේතුව මේ දේශපාලන ක්‍රමය පිළිබඳ ව්‍යාකූලත්වයක් පැවතීමයි. ලංකාවට නිදහස ලැබීමෙන් පසු ආදේශ කළ සොල්බරි ව්‍යවස්ථාවෙන් බැහැරව  1972 ජනරජ ව්‍යව්ස්ථාව සකස් කරන කල්හි යම් වෙනස්කම් සිදු කළ ද ව්‍යවස්ථා සම්පාදකයන් හට මහා බ්‍රිතාන්‍ය හෝඇමරිකානු ආකෘතියෙන් මිදෙන්නට නොහැකි විය. ඊට හේතුව ඔවුන් බටහිර අධ්‍යාපනය මගින් හික්මවනු ලැබීමයි.1978 ව්‍යවස්ථාව මේ ගමනේ තවත් දිගුවක් වූ අතර ප්‍රධාන වෙනස වූයේ විධායක ජනපති ක්‍රමයක් ඊට ආදේශ කිරීමයි.වර්තමාන සාකච්ඡාවට ලක්ව තිබෙන්නේ ඒ මගින් රට විනාශය කරාගෙන යෑම සිදුව ඇති ආකාරයයි.නමුත් 1815 ට පෙර ලංකාව රාජාණ්ඩු ක්‍රමයක් සහිතව  පාලනය කර තිබුණි.රාජාණ්ඩු ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් ලෙසට හැඳින්වුවද මුහුදු බඩ පළාත් පාලනය කල පැල්ක් ආණ්ඩුකාරවරායා විසින් මල්වතු  මහා සංඝ සභාව වෙත යොමු කරන ලද ප්‍රශ්ණ මාලාවකට ලැබූ පිළිතුරු වලින් සහ උන්වහන්සේලා ඊට දුන් උත්තර මගින් ඒ මත බැහැර කෙරේ.ඒ නිසා වර්තමාන දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම පිණිස ඒ ලියවිල්ල( Some Institutions And Popular Rights ) ඇතුළු පැරණි සිංහල නීති මූල ධර්මයන් උපයෝගි කර ගත හැකි බව මගේ විශ්වාසයයි.

   රාජ්‍යත්වයෙන් තහවුරු වනුයේ රටකට නායකයකු අවශ්‍ය බවයි.මුලතිවු දිස්ත්‍රික්කයේ කුරුන්දි විහාර ආසන්නයෙන් ලැබුණු ශිලාලේඛනයක රජු ගේ ස්වභාවය මැනවින් දක්වා තිබේ.’තේජසින් සූර්යයා සේද දැඩි බවින් ආඩම්බරයෙන් විෂ්ණු දෙවියන් සේ ද රාජ චාරිත්‍රානුකූලව ශක්‍ර දෙවියන් සේ ද  හිරු ගේ තීක්ෂණ ඇස් ලෙසින් ද දැහැමි ගුණයෙන් හා ශාන්තියෙන් අවලෝකිතේශ්වර මෙන් ද ප්‍රඥාවෙන් බ්‍රහස්පති සේද සෞම්‍ය ගුණයෙන් චන්ද්‍රයා සේ ද කරුණාව නමැති ගුණයෙන් බෝධිසත්වයෙකු සේ ද  මහ මෙරක් සේ නොසැලෙන යනුවෙන් එහි දක්වා ඇත.එවැනි වූ රජ කෙනෙකුට කළ නොහැකි දෙයක් නැතැයි කීව ද ලංකාවේ රජ සිරිත් සහ ලොක චාරිත්‍ර ලෙස මල්වතු මහා සංඝ සභාව දක්වා සිටි  ඉහත ලියවිල්ලෙ එසේ නැත. තනි කැමැත්තට කරන දේවල් සහ අමාත්‍ය මණ්ඩලය  සහ ජනතාව විචාරාකල යුතු දේවල් එහි දක්වා ඇත.ඒ සැමට මුල්ව තිබෙන්නේ දශ රාජ ධර්මය හා පෙර සිරිතයි.

   ජයවර්ධන ජනාධිපති තුමා මේ කිසිවක් ගුරු නොකොට රාජ්‍යත්ව සංකල්පය පමණක් ගෙන විධියකය වශයෙන් ව්‍යවස්ථාවට ඇතුලු කර තිබේ යැයි හැඟේ.විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් කොටස් තුනකට බෙදා බලතල බෙදා දැක්වුවද සංවරණය සහ තුලනය පිළිබඳ බටහිර මූලධර්ම අනුගමනය කළද රාජ ධර්ම ලොක ධර්ම ගැන සැලකිල්ලක් දක්වා නැත.’නො‌බෝසත්හු නොරජ්වම්හ’ යනුවෙන් ශිලා ලේඛන වල දක්වා ඇත්තේ රජු ‌ෙබාධිසත්ව‌ෙයකු ලෙස මහා කරුණාවෙන් යුක්ත විය යුතු බව කියාපෑමටයි.නිස්ශංඛ මල්ල රජු ගේ  ශිලා ලෙඛන‌යන්හි දක්වා ඇත්තේ අබෞද්ධයෙකු රජ නොවිය යුතු බවයි.එනම් රටට ‌ෙනාගැලපෙන ප්‍රතිපක්ෂ ලබ්ධි දැරූවන් සිංහාසනයට පත් වූ විට පෙර සිරිත කඩ වන බවයි.නායක්කර් වංශිකයන් වූ කීර්ති ශ්‍රී රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන දෙදෙනාගෙ පාලන සමයේ දී ලංකාවේ මුහුදු බඩ පළාත් වලින් ගව්වක තීරයක් රාජ්‍යයට අහිමි වුණ අතර පෙරසිරිත කඩ කොට කළ ක්‍රියා නිසා බ්‍රිතාන්‍ය ඔත්තු කරුවන්ට සිය කුමන්ත්‍රණ දියත් කරලීමට පහසු විය.

     වර්තමාන ‌ෙලාකයේ රටවල් කටයුතු කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය මුල් කොට ගෙනය.සාම්ප්‍රදායික රජෙකු සිටින රටවල් වුවද මහජන චන්දයෙන් තෝර පත් කරගන්නා මහජන නියොජිතයන්ට රට කරවීම ට අවස්ථාව ලබා දී තිබේ.ඒ රටවල් සාර්ථකව වියවුල් නොමැතිව ඉදිරියට යනුයේ රාජ්‍යත්වයේ තේජසද හිරු මෙන් තිරසාර ගුණද ආරක්ෂා කරමින් මහජන සම්මතයට ද ගරු කරමිනි.මෙරට සිංහල සම්ප්‍රදාය නොහොත් පෙර සිරිත අනුව රටේ නායකයා බුද්ධ ශාසනයේ ආරක්ෂකයා විය යුතුය.රටේ ආරක්ෂාවත් ජනතාව‌ෙග් ආරක්ෂාවත් සුරැකිය යුතුය.සැබවින්ම රාජ්‍යත්වයේ මූලික බලතල ඒ මගින් සම්පූර්ණ වන්නේය. රටේ ඒකීයත්ය බැඳ තබන රැහැන එයයි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් බුද්ධශාසනයේ ප්‍රබලත්වය ඉස්මතු කර තිබුණද රටේ නායකයාට එම බලතල නොපවරා අමාත්‍යවරයෙකුට එය පැවරීමෙන් දුර්වල කර තිබේ.ඒ තත්වය වෙනස් විය යුතුය.13 වන සංශෝධනයෙන් පසු පළාත් සභා බැඳ තබන රැහැන වූයේ විධායකයයි.විධායකය අහෝසි කිරීමෙන් පළාත් වලට වෙන්වීමේ හැකියාව ලැබේ.

      ව්‍යවස්ථාදායක‌ෙය් වගකීම නම් නීති සම්පාදනයත් මූල්‍ය අධික්ෂණයත්ය.එයද අයා‌ලෙ ගොසින්ය.මන්ත්‍රීවරුන් ඒ කටයුතු වලට මූලිකත්වය නොදෙමින් මහජනයාගෙ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සාජු දායකත්ව සපයමින් සිටී. රටේ සිවිල් පරිපාලනයක් තිබෙන්නේ මහජන නියෝජිතයන් විසින් සම්පාදනය කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමටය.ඒ ඒ අයතන වෙත පවර තිබෙන වගකීම් එසේ ඉටු කරන්නට ඉඩ දී තමන්ගෙ වගකීම ඉටු කිරීමෙන්  රටේ වියවුල් නැතිවෙයි. අධිකරණය ද ක්‍රියා කරනුයේ දේශපාලන දෙස ඇසගසාගෙනය.තීන්දු තීරණ දීමේ දී ‌දේශපාලනයට හිත පක්ෂපාතිකම් නිරන්තරයෙන් බල පැවැත්වෙයි.එසේම විදෙස් ආධාර උපකාර යහමින් ලැබුණහොත් ඒ පැත්තට ද නැඹුරු වෙයි.වර්තමාන දේශපාලන අර්බුදයට මූලික හේතුන් නිරවුල්ව අපට හඳුනාගන්නට හැක්කේ මෙලෙසය. ඒවා එලෙස තිබිය දී විධායක ජනපති ක්‍රමය පමණක් අහෝසි කිරීම සහ විධායක අගමැති වරයෙක් පත් කිරීමෙන් තත්වය තවත් දරුණු අතට හැරෙනවා නිසැකය.ඒ වෙනුවට රටේ ආරක්ෂාවට සහ බුද්ධ ශාසනයට වග කියන ජනපති තනතුරක් සහ මූල්‍ය අධීක්ෂණයට සහ නීති සම්පාදනයට නැඹුරු එයට වග කියන ජනතා පරමාධිපත්‍යට ගරු කරන ව්‍යවස්ථාදයකයක්  බිහි කිරීම වඩා වැදගත්ය.අධිකරණයේ ස්වාධීනත්වය සුරැකෙන්නේ ද පෙර සිරිතට ගරු කිරීමෙනි.දේශපාලන නොසලකා හැරීමෙනි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress