ටියුෂන් අර්බූදය
Posted on October 25th, 2024

චානක බණ්ඩාරගේ

1960 -70 දශකවල ළමෝ පාසැල් අවසන් වූ පසු ටියුෂන් නොගියාම නොවේ. නමුත්, එකළ එය අද මෙන් පිස්සුවෙන් කල දෙයක් නොවීය.  

එකළ, ටියුෂන් නගරබද පාසැල්වලට පමණක් පාහේ සීමාවී තිබුණි. වැඩිමණක් දරුවන් ගියේ ඉංග්‍රීසි, එලකියුෂන්, සංගීත භාණ්ඩ වාදනය වැනි පන්තිවලටය. ගණිතය දුර්වල ළමුන් සඳහා දෙමව්පියන් ළමුන්ව දක්ෂ ගණිත ගුරුවරුන් සොයා යැවිය.

එකළ, බොහෝ විට එක් තනි ගුරුවරයෙක් එක් ළමයෙකුට හෝ සීමිත ළමුන් ගණනකට ඔහු/ඇය ගේ නිවසේදී ටියුෂන් පන්තිය පවත්වනු ලැබිය. මුදල් ගෙවනු ලැබුවේ ටියුෂන් මාසය  අවසානයේදීය. බොහෝ විට අය කලේ සාධාරණ මුදලකි.

ටියුෂන් ඇති හැකි අයට පමණක් සීමාවී තිබුණි. ගම්වල ළමුන් ටියුෂන් ගියේම නැත.

එකළ, විශ්ව විද්‍යාල වලට ඇතුල්වීමට අදට වඩා තරඟයක් තිබුණි. අද විශ්ව විද්‍යාල බොහෝය (20 පමණ). වසරකට 20,000 එහා සිසුන් විශ්ව විද්‍යාලවලට අද ඇතුල් වේ.

එකළ, අද මෙන් නොව පාසැල්වල විෂය මාලාව (syllabus) හරියාකාරව ඉගැන්විණි. තමන් උගන්වන දේ ගැන ගුරුවරු හොඳින් දැන සිටියහ.

එකළ, පාසැල්වල තදබල විනයක් විය. සිසුන් තුල ගුරුවරුන් වෙනුවෙන් වන ගෞරවය තදින්ම පැවතුණි. ගුරු දිනය, ළමා දිනය දා අද මෙන් ගුරුවරු ළමුන් සමග එකට නටන සිරිත් එවක නොවීය.

ළමුන් පාසැල් වලට දැමීමට විදුහල්පතිවරුන්ට අල්ලස් දීමේ ක්‍රමයක් එවක නොතිබුණි.

1980 දශකය වන විට දැවැන්ත ටියුෂන් කඩ බිහිවී අවසන්ය. පාලනයක් නැතිව ක්‍රියාත්මක වුනු විවෘත ආර්ථිකය බොහෝ විට මෙයට හේතු විය.

එදා බොහෝ විට ටියුෂන් පැවැත්වුයේ පන්සල් ගොඩනැගිලි වලය. පන්ති කුලී වලින් විහාරාධිපති හිමි වරුන් හොඳට ආදායම් උපයුහ. සමහර පන්සල් බැතිමතුන් බුදු පුදනට යන ස්ථානයකට වඩා ළමුන් ටියුෂන් සඳහා යන තෝතැන් බවට පත්විණ. අනෙක් ආගම් වල මෙවැනි දේට අදත් ඉඩ නොදේ.

අද ටියුෂන් ‘මාෆියක්’ බිහිවී ඇති බව කීම අතිශෝක්තියක් නොවනු ඇත. සිය ගණනින් ළමුන් යන ‘ටියුෂන් කඩ’ ඇත. මේ සමහරක් ඉතා අත්තනෝමතික ලෙස මුදල් අය කරන ඒවාය. ටියුටෝරිල්, රිවිෂන්, ස්පෙෂල් ක්ලාස්, ප්‍රශ්ණ පත්‍ර වැනි විවිධ නම් වලින් සඳහන් කර ළමුන්ගෙන් විවිධාකාරයෙන් අමතර මුදල් අය කරති. පන්ති පටන් ගන්නා විට මේවා ගැන සඳහන් නොකරයි.

සමහර ටියුෂන් පන්ති ගුරුවරු ළමුන්ව විනෝද චාරිකා වල රැගෙන යයි. මේවා අනවශ්‍ය වැඩය.

සමහර ටියුෂන් පන්තිවලට ළමුන් සිය ගණන් සහභාගී වුවත් බොහෝ තැන්වල ළමුන් සඳහා ඇත්තේ අවම පහසුකම්ය. සීමිත, අපිරිසිඳු වැසිකිලිවේ. මනා වාතාශ්‍රය නොලැබෙන ළමයින් හිරවුණු කාමර/ශාලාය. සමහර තැන්වල ගුරුවරයා විසින්ම පවත්වාගෙන යන කැන්ටින්ය. කාර්ඩ් සටහන් කරු සිය කර්තව්‍ය නිම කර කළින්ම ඉවත්ව යයි. එවිට, 100 – 500 සිටින පන්තියක ළමයින්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණයට ඉන්නේ උගන්වන ටියුෂන් ගුරුවරයා පමණි.

බොහෝ ටියුෂන් කඩ වල පාසැල්වල  මෙන් සියළුම විෂයන්ම වාගේ උගන්වයි.

ඇතැම් ටියුෂන්කරුවන් දෙමව්පියන්ට පෙන්වන්නේ ‘ළමයි ඉස්කෝලේ යවන්න අවශ්‍ය නැහැ, අප ලඟට එවන්න’ ‘ඉස්කෝලේ යනවට වඩා  ළමයි අප ලඟට එවීමයි හොඳ’ වැනි පණිවුඩයි. මේ ටියුෂන් ගුරුවරු ඉතාම දක්ෂ සංනිවේදකයෝය.

ඔවුන් විසින් මවා ඇති ව්‍යාජ ටියුෂන් රැල්ලට රැවටෙන/අහුවෙන දෙමව්පියෝය.

දරුවන්ට ඉතා ආදරය කරන දෙමව්පියෝ දරුවන් කරන ඇවටිලි නිසාද ඒ අයව ටියුෂන් පන්තිවලට යවයි. මෙය මෝඩ ක්‍රියාවකි. දෙමව්පියන් ළමුන්ට යටව සිටිය යුතු නැත.

කන කෑම මෙන් ටියුෂන් යනු ළමුන්ට අත්‍යාවශ්‍යම, නැතිවම බැරි දෙයක් බව දැන් ඉදිවී ඇති ටියුෂන් සංස්කෘතිය  දෙමව්පියන්ට සාක්ෂාත් කර ඇත. මේවා කිරීමට විදුහල්, රජයන් අනියමින් අනුබල දී ඇත.  

අද සතියේ දිනවල උදය/දහවල්  වරුවේ පවත්වන ටියුෂන් පන්ති ඇත. පාසැල් O/L  පන්තිවල ළමුන් ඉතා හිඟ මේ නිසාය. මේවා ගැන පාසැල් පද්ධතීන්/අධ්‍යාපන අමාත්‍යාංශ ඉතා හොඳින් දනී. 

රජයේ පාසැල්වල සමහරවිට විට පන්තිවල ගුරුවරු නැත. පන්ති වෙලාවේ ගුරු විවේකාගාරයේ  (staff room) ඉන්නා ගුරුවරු ඇත. ගුරුවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට බලධාරීන් පැකිලේ. ගුරු සංගම්ද අති බලවත්ය.

සමහර ටියුෂන් ගුරුවරුන් උවමනාවෙන්ම ඉරිදා උදේට තම පන්ති දමා ගන්නේ ළමුන් දහම් පාසැල් යාම නතර කිරීමටද? උතුරු පළාතේ මේ ක්‍රියා නීතිවිරෝධී කර ඇත.

අද සෑම දහම් පාසලකම 9 වසරෙන් පමණ පසු ළමුන් ඉතා අඩුය. මෙයට ප්‍රධානතම හෙතුවක් වන්නේ මේ ළමුනට ඉරිදා උදේ ටියුෂන් යෑමට සිදුවී තිබීමයි.

මේ ගුරුවරුනට ළමුන් දහම් පාසැල් යාමේ වටිනාකම ගැන කිසිම තැකීමක් නොමැති සේය.

අද ළමුන් දහම් පාසැල් නොයාම මේ රටේ සාරධර්ම/ගුණ ගරුක බව අඩු තරුණ පරපුරක් බිහිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

සමහර ටියුෂන් ගුරුවරු කැමති කැමති විදියට මුදල් උපයති.  මුලදී එක් මුදලක් පවසා පන්ති ආරම්භ කල පසු ගාස්තු ක්‍රමානුකූලව වැඩි කරති. ඔවුන්ට සිතැඟි පරිදි එක් වරම What’s Up පණිවුඩ මඟින් පන්ති කැන්සල් කරති. සමහර විට ඒවාට නැවත පන්ති නැත.

ප්‍රමාද වී පන්තිවලට පැමිණෙන ටියුෂන් ගුරුවරු ඇත. එතෙක්, ළමුන් කෑ කෝ ගසමින්, ගෝෂා කරමින් පන්ති තුල සහ ඉන් පිටත සිටිත්. පිරිමි ළමුන්ගෙන් කාන්තා ළමුන්ට ලිංගික ඇතුළු විවිධ හිංසන සිදුවිය හැක. ළමුන් ස්මාර්ට් ෆෝන් ඇති අයගෙන් ඒවා ඉල්ලා ගෙන හෝ ඔවුන් සමඟ එක්ව අසංවර සමාජ ජාලා වෙබ් අඩවි බලති.

Free Card දෙන ටියුෂන් ගුරුවරු නැත්තේ නොවේ.

ඉතා හොඳ ටියුෂන් ගුරුවරු ඇත. නමුත් අද සිදුව ඇත්තේ මාෆියාවක් වැනි ටියුෂන් සංස්කෘතියක් රට පුරා (උතුරු නැගෙනහිර මෙසේ නොමැත) බිහිවී තිබීමයි.

රටේ බොහෝ පාසැල් අමිශ්‍රය. පිරිමි/ගැහැණු ළමුන් එකට නොගැටේ. නමුත් ටියුෂන් පන්ති මිශ්‍රය. ටියුෂන් පන්ති නිසා අද වයස 14, 15 වනවිටත් ළමුන් ප්‍රේම සම්බන්ධතාවලට පැටලේ. මුදල් දුන් විට හෝටල් කාමර ඇරෙන නිසා, ඒවාට රිංගන ටියුෂන් දරුවන් ගැන අපට අසන්නට ලැබී තිබේ.

ටියුෂන් පන්ති තුල ඇඳිය යුතු ඇඳුම් පිළිබඳව වාරණයක් නොමැත. ඕනෑම ඇඳුමක් ඇඳ ඒමට ඉඩ දෙනු ලැබේ. පිරිමි/ගැහැණු ළමයින් නොමනා/අශෝභන ලෙස සැරසී එන ස්ථාන ඇත. පිරිමි/ගැහැණු ළමයි එකට යාබදව හිඳ උගනිති.

ලිංග ආකර්ෂණය නිසාත්, යොවුන් විය නිසාත්, ටියුෂන් පන්ති වලට ළමුන් ඒමට බලන්නේ ඉතා උසස් ලෙස සැරසීය. මේවා දෙමව්පියනට අමතර මුදල් බරකි.

තම ටියුෂන් පන්තියට එන ගැහැණු දරුවන් සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වූ  ටියුෂන් ගුරුවරුන් ගැන අසන්නට ලැබී තිබේ. මේ අය දරුවන්ව හෝටල් කාමර වලට රැගෙන ගොස් තිබේ. කෝටිපතියන් වන සමහර ටියුෂන් ගුරුවරුන් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථවලින්, ජැන්දියට ඇඳ පැළඳ, ඉගැන්වීමට යති.  ළමුනට මේ අය ‘දෙවිවරුන්’ මෙන්ය. පාසලේ ගුරුවරයා/ගුරුවරිය ඔවුනට එපා වීය.

සමහර ටියුෂන් ගුරුවරු  පන්ති වෙලාවේදී ඉගැන්වීමට වඩා වල් පල් – විෂයට අදාළ නැති දේ කථා කරත්.

සමහරෙක් ඉතා දක්ෂ ගුරුවරු බව සැබවි. ඔවුන් නිසා ළමුන් විභාග සමත් වන බවද සත්‍යකි. නමුත් මේ ටියුෂන් අද මහා වෘක්ෂයක් වී මුළු මහත් පාසැල් පද්ධතියම වසාගෙන ඇත.

5 ශිෂ්‍යත්ව විභාගයට පවා ළමුන් ටියුෂන් යති. අවුරුදු 10 යනු දරුවා කෙළි දෙළින් කාලය ගත කල යුතු, මනරම් වයසකි.

ටියුෂන් ගුරුවරු ගැන කිසිදු නියාමණයක් නොමැති වීම බරපතල අඩුපාඩුවකි. මේ නිසා  ඔවුන් හිතු හිතු සේ වැඩ කරත්.

සිය ගණනින් ළමුන් සහභාගී වන ටියුෂන් පන්ති ඇති නිසා ඒවා මඟින් ළමුන් ඉතා පහසුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්වැටි පානයට එලභිය හැක.

අද බොහෝ පාසැල් ක්‍රීඩා පිටි හිස්ය. මන්ද, පාසැල් ඉවරවුණු විගස ළමුනට ටියුෂන් පන්ති සඳහා යාමට සිදුවීම නිසාය. මේ ළමයිනට ක්‍රීඩා කිරීමට, විනෝදවීමට කාලයක් ඇත්තේම නැති තරම්ය. ඔවුන්ගේ ළමා විය නිරපරාදේ අභාවයට යයි.

ළමා කාලය සෙල්ලමට සහ විනෝදයටද  යන  දරුවා  පසුව අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යන්නෙකි.  

1960 -80 දශකවල ළමෝ පාසැල් අවසන් වූ පසු පාසලේ විවිධ බාහිර ක්‍රියාකාරකම් වල යෙදුනහ. එදා පාසැල් ක්‍රීඩා පිටි විවිධ ක්‍රීඩා සඳහා පුහුණු වන ළමුන්ගෙන් පිරී තිබුණි.

අද මළල ක්‍රීඩා උත්සවයකටවත් ළමුන් සොයා ගත නොහැකි බව එක් ගුරුවරයෙක් මේ ලියුම්කරු සමඟ පැවසීය. එදා ඉතා උත්කර්ෂවත් ලෙස පැවති පාසැල් තෑගී ප්‍රධාන උත්සව, පාසැල් විවිධ ප්‍රසංග අද ඉතා ඇල්මැරුණු තත්ත්වයට ගොසිනි. මේ බිඳ වැටීම් වලට ටියුෂන් පන්ති අඩු/වැඩි වශයෙන් දායක වී ඇත.

එදා සති අන්තය ළමුන් නිවසේ ගත කලේ ඉතා විවේක සුවයෙනි. පොත් පත් කියවීම එකළ සෑම ළමයෙකුගේම ජිවිතයේ කොටසකි. පොත් සොයමින් ළමුන් පුස්ථකාල පීරා ගියහ. අද?

1960 -80 දශකවල පාසැල් ළමෝ අද ළමෝ මෙන් ඉතා බෙහෙවින් සිය දිවි නසා ගත්තේ නැත. කොළඹ 7 ප්‍රසිද්ධ පිරිමි පාසලක පමණක් පසුගිය මාස 2ට සිය දිවි නසා ගැනීම් 4ක්! තවත් කොළඹ ප්‍රසිද්ධ පිරිමි/බාලිකා පාසැලක පසුගිය මාස 4ට සිය දිවි නසා ගැනීම් 3ක්! රටේ අනෙක් පාසැල් වල?

ටියුෂන් ඉවරවී හවසට/රෑට ළමයා ගෙදර ආවිට අධික මහන්සියට නින්දට යයි, සමහරවිට කෑමවත් නොකා. කොටින්ම පාසලේ`ටියුෂන් පන්තියේ ‘නෝට්ස්’ කියවීමටවත් වෙලාවක් ඔහුට/ඇයට  නොමැත.

පාසලේ නෝට්ස් නම් අද කිසි සිසුවෙක් නොබලන තරමටය. සියලු ආධිපත්‍යය ඇත්තේ ටියුෂන් ගුරුවරයා ළඟ නිසා.  

එදා 1960 – 80 දශකවල, පාසැල අවසන්වී හොඳටම ක්‍රීඩා කර, සවසට පාසැලේදී දුන් ‘හෝම්වර්ක්.’ කර, ගුවන්විදුලියේ මුවන් පැලැස්ස/මොණරතැන්න  වැනි නාට්‍යක් අසා, රෑට කෑම කා,  10ට පමණ නින්දට ගිය ළමයි ඉතා වාසනාවන්ත යයි සිතේ. ඔවුහු ළමා විය හොඳින් භුක්ති වින්ද අයයි.  

අද සමහර ළමුන්ට රෑ 11ටත් ටියුෂන් පන්තියේය. සමහර ටියුෂන් පන්ති ඉවර වෙන්නේ රැ 12 පසුවීය.   

මේ පන්තිවල රෑ 9 – 930ට පමණ විනාඩි 20 – 30 පමණ විවේකයක් දෙයි. එවිට ඔවුන් එළියේ සිටින්නේ නම් ඒ බොහෝවිට කළුවරේය. අවුරුදු 15/16 පිරිමි/ගැහැණු ළමයින් එකට එක්ව තිබිය යුතු වේලාවක්ද මෙය?  මේ ගැහැණු ළමයිනට තිබෙන ආරක්ෂාව කුමක්ද?

ටියුෂන් අවසන් වූ පසු මේ ළමුන් ගෙන යන, රැගෙන එන දෙමව්පියන්ට ඇති වෙහෙස?  අමතර වියදම් – වාහන ඉන්ධන, ත්‍රී වීල් ගාස්තු වැනි. මේ වෙලාවලට බස් නැත.

රාත්‍රී 9න් පසු ටියුෂන් කඩ අනිවාර්යයෙන්ම වැසිය යුතු යයි නීතියක් පැණ විය යුතුයි.

ගෙදර පැමිණි පසු පිඩ්සා, බර්ගර්, චිප්ස්, හොට් ඩෝග්ස් , කොත්තු, අයිස් ක්‍රීම්, චොක්ලට්  ඉල්ලා ළමෝ හඬති. ඒ බොහෝවිට ටියුෂන් පන්තියෙන් ලැබූ අභාශයය. මේවා කන වැඩිහිටියෝ පමණක් නොව ළමුන්ද ඉක්මනට පිළිකා, දියවැඩියා වැනි රෝගවලට ලක්වෙති.

දෙමව්පියෝද මෝඩයන් මෙන් ක්‍රියාකරයි. තම ළමයාගේ අවශ්‍යතාවය නොව පන්තියේ අනිත් ළමුන් යන නිසා තම ළමයාවද ටියුෂන් පන්තිවලට යවයි. තම දුවව ගණිතය සඳහා ටියුෂන් පන්ති 3ට යවන මෝඩ දෙමව්පිය යුවලක් සිටී.

ඉතාම දුප්පත් පවුලක නිසා කිසිම ටියුෂන් පන්තියකට යාමට නොහැකිව, පාසලේ පාඩම් වලින් පමණක් උගෙන විභාග සමත් වී විශ්ව විද්‍යාලයට ගිය දරුවෙක් ගැන මෙම ලියුම්කරු දනී.

අද DP Education නොමිලේ මේ සේවය පාසැල් දරුවනට අන්තර්ජාලය මඟින් ලබා දේ – සියලුම විෂයන්ට වාගේ.  බුද්ධිමත් දෙමව්පියන් සහ දරුවන් මෙයින් උපරිම ප්‍රයෝජන නිවසේ සිට ලබා ගනිත්.

සමහරවිට උදේ පන්තියේ පාසලේ ගුරුවරයාගේම සවස අමතර පන්තිය (ටියුෂන්).

ටියුෂන් වලට පාසැල් පද්ධති මඟින් සහාය, අනුග්‍රහය ලැබෙන්නේ රජයේ ගුරුවරුද මහා පරිමාණයෙන් මේ ක්‍රියාදාමයේ නියැළී සිටින නිසාය.

සිනා පිරුණු කටවල් සහිත දේශපාලනඥයින්ගේ පින්තූර සහිත අති විශාල බැනර්/කට් අවුට්  අප 2010 – 2015 කාලයේ රටේ සෑම පළාතකම වගේ දැක්කෙමු. වාසනාවට දැන් ඒවා නැත. ඒ වෙනුවට  දැන් ටියුෂන් ගුරුවරුන්ගේ පින්තූර බැනර්වල වල ගසා ‘ටියුෂන් කඩ’ අවට  පමණක් නොව ප්‍රධාන මාර්ගවල දැවැන්ත බිල් බෝර්ඩ් මඟින් ප්‍රදර්ශණය වේ (උතුරු/නැගෙනහිර මේ විකාර  නැත).

මේ බිල්බෝර්ඩ් එන්න එන්නම වැඩි  වෙනවා පමණක් නොව ප්‍රමාණයෙන් විශාලද වේ.  මේවා නෙතට ඉතා අමිහිරි දසුන් පමණක් නොව, ඒ නිසා පරිසරය දුෂනයද සිදුවේ.  

මේවා දකින මෙරටට එන විදේශිකයන් මොනවා සිතනවා ඇද්ද?

ඉතා දුෂිත වෙළඳ අලෙවි සංස්කෘතියක් මේ අය මේ රටේ බිහි කර ඇත.

මේ සමහර අයට රජයේ ගුරු වෘත්තියේ යෙදීමට අවශ්‍ය මුලික සුදුසුකම් වත් නැත.

හරිහැටි විෂය මාලාව (syllabus) නොදන්නා ගුරුවරුන් ටියුෂන් පන්ති පවත්වන බවට ආරංචි ලැබී තිබේ.

සමහර ටියුෂන් ගුරුවරු විෂය මාලාව උගන්වා අවසන් නොකරති. ඒ වෙනුවට, මුද්‍රිත නෝට්ස් පිටු සිය ගණන් ළමුන්ට What’s Up මඟින් යවා, තම වගකීම ඉටු කලේ යයි පවසත්.

පැරණි, දැන් විශ්‍රාමික ටියුෂන් මුදළාලිලා සමාජ ජාලා මාධ්‍ය මඟින් මේ සංස්කෘතිය රැක ගැනීමට, තව තවත් වර්ධනය කිරීමට නිතර කථා කරයි. ටියුෂන් යනු ඉතා අනගි, විශිෂ්ට, රටට ඉතා වැඩදායක, නැතිවම බැරි දෙයක් බවට පෙන්වා දීමට මේ අය තදබල ලෙස උත්සහ කරයි. ටියුෂන් වල ඍනාත්මක පැත්ත ගැන මොවුහු කථා නොකරත්.

මේ අය සමාජ ජාලා මාධ්‍ය හරහා ටියුෂන් ආදී ශිෂ්‍ය හමු/සංගම් පවත්වති. ඒවායේ වූදේ රස කර කර පවසති. නුදුරේදී පාසැල් ආදී ශිෂ්‍ය සංගම් පරයා මෙවැනි සංගම් බිහිවෙනු නිසැකය.

මේ සියල්ල කරන්නේ ළමුනට ටියුෂන් නැතිවම බැරි දෙයක් බව පෙන්වීමට විය හැක.

අද 10 වසරෙන් පසු බොහෝ ළමයිගේ ප්‍රධාන පාසැල ටියුෂන් කඩයයි, දෙවැන්න පාසැලයි.  

A/L කරන ළමුන් ඔවුන්ගේ 80% පැමිණීම පෙන්විය යුතුය යන නිතිය නිසා එම පන්ති වලට ළමුන් යම් තරමින් යත්.

මේ නිතීය O/L කරන ළමුන්ටද පැනවිය යුතුයි.

ටියුෂන් කඩ අධ්‍යාපනය මුළුමනින්ම වාගේ වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් වී ඇත.  සිංහල, ඉතිහාසය, බුද්ධාගම  වැනි විෂයයන් සඳහාත් අද අනිවාර්යයෙන්ම ටියුෂන් ගැනීමට සිදුවන තත්ත්වයක් බිහිවී ඇත.

ටියුෂන් සඳහා එක් ළමයෙකුට රුපියල් දහස්‌/දස දහස් ගණනින් මාස්‌පතා දෙමව්පියෝ වියදම් කරන්නේ හැකියාව ඇති නිසා නොවේ. රජයේ/පුද්ගලික අංශයේ/ස්වයං රැකියා කරන දෙමවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ටියුෂන් පංතිවලට සිය මුළු පඩියම වගේ දිය කරති. මේ නිසා සමහර පවුලවල් නිසි ලෙස එදා වේලවත් කෑමට හැකියාවක් නැත.

අද තනි දෙමව්පියන් ඇති පවුල් බොහෝය. මේ අයට ටියුෂන් බර දරා ගැනීමට ඉතාම අපහසුය.

සෑම රජයක්ම සැම දා වාගේ ගත්තේ ටියුෂන් කඩ කාරයන්ගේ පැත්තය. සමහරෙක් දේශපාලන පක්ෂවලට මුදල් වියදම් කරන නිසා විය හැක.

ටියුෂන් මාෆියක් ලෙසද ක්‍රියාත්මක වන හෙයින් බොහෝ දෙනෙක් මේවාට අත ගැසීමට බියය.

මේ අය ගැන පැමිණිලි කිරීමට දෙමව්පියන්ට තැනක් නැත. අඩුම තරමින් පොලිස් ‘හොට්ලයින්’ නොම්බරයක් වත් නැත.

‘ටියුෂන් ඔම්බඩ්ස්මන්’ වරයෙක් බිහිකිරීම ඉතා කාලෝචිතයි. මෙය කිරීමට ‘කොන්ද පන’ ඇති රජයන් තිබිය යුතුයි.

ටියුෂන් පිස්සුව නිසා විනාශ වන්නේ මල් කැකුළු වන අපේ දරු පරපුර පමණක් නොවේ, දෙමව්පියන්ද ඇතුළු මුළු පවුල් සංස්ථාවමය. ඒ නිසා, රටද අඳුරු, විනාශ මුඛයට යයි.

දියුණු රටවල මෙවැනි ටියුෂන් පිස්සුවක් නැත. ඒ ළමුන් තමනට අවශ්‍ය අධ්‍යාපනය සිය පාසලෙන් ලබා ගනී.  

ටියුෂන් නොමැති නිසා පාසැලෙන්ම ඔවුන් අවශ්‍ය ඉගෙනුම ලබා ගනී.

ඔවුහු පුස්ථකාල පොත් පත් විශාල වශයෙන් පරිශීලනය කරති. වයස වැඩි ළමුන් කාණ්ඩ වශයෙන් එක්වී විභාග විෂයන් සාකච්චා කරති.

ඒ රටවල පාසැල ඇත්තේ නිවසට ආසන්නවය. ඒ ළමුන් අපේ ළමුන් මෙන් නිතරම පීඩනයෙන් බරව ජිවත් වන්නන් නොවේ. ඒ ළමෝ ඉතා හොඳින්, සතුටින් සිය ළමා/යෞවන විය ගත කරත් (අපේ 1960 -70 අය මෙන්).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress