2024 කුඩු පට්ටම් වූයේ වර්ගවාදී ව්‍යාපාර මිස ජාතිකවාදී ව්‍යාපාරය නොවේ
Posted on January 2nd, 2025
– දිල්රූක් කන්නන්ගර
ජාතිකවාදය (nationalism) යනු උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන සතර දිග්භාගයම එක්සේසත් කිරීමයි. මෙය 2024 මහා චන්දේදී මනාවට සිදුවුනා. අධිරාජ්‍යවාදීන්ට එරෙහි ජාතික ව්‍යාපාරය මෙන්ම 2024 චන්දය ජයගත් පක්ෂය සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන එකමුතුවෙන් රාජ්‍ය පාලනය දිනා ගත්තා. ඊට වැඩි ජාතික ව්‍යාපාරයක් 15 වන සියවසේ සිට තිබී නැත. දැනට ඇත්තේ ජාතිකවාදී (රටේම සහයෝගය දිනා ගත හැකි) පක්ෂ දෙකක් පමණි. ඒ සජිත් ප්‍රමුඛ සජබ පක්ෂයත් අනුර ප්‍රමුඛ ජාජබ පක්ෂයත් පමණි.
වර්ගවාදය (racism) යනු තනි ජන වර්ගයක් පමණක් පිනවීමයි; තනි ජන වර්ගයක චන්දෙන් පමණක් පාර්ලිමේන්තුවට රිංගීමයි. 2024 කුඩු පට්ටම් වූයේ එවැනි තනි ජාතියක, වර්ගවාදී පක්ෂ කිහිපයක් පමණි. එහෙත් වර්ගවාදී පක්ෂ සම්පූර්ණයෙන්ම අතුගෑවී යනවා වෙනුවට JR ගේ බහුබූත සමානුපාතික චන්ද ක්‍රමයට සහ ජාතික ලැයිස්තු පස්සා දොරට පිං සිද්ද වන්නට වර්ගවාදී පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට හැකි විය. සජබ සහ ජාජබ හැරුනුකොට ඉතිරි සියලු පක්ෂ තනි ජාතියක චන්දයෙන් යාන්තම් පාර්ලිමේන්තු ගිය පක්ෂයි. සිංහල පමණක් රටක් නොමැති නිසා සිංහල ජාතිකවාදය කියා දෙයක් නැත. දෙමළ පමණක් රටක් නැති නිසා දෙමළ ජාතිකවාදය කියා දෙයක්ද නැත. ඇත්තේ සිංහල ජාතිවාදය සහ දෙමළ ජාතිවාදය පමණි. මෙය ශ්‍රී ලාංකික ජාතිකවාදයට විරුද්ධව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ සියලු ජන වර්ග වලට අයත් ජන සහභාගීත්වයෙන් වන එක ජාතික ව්‍යාපාරයක්ද නැතහොත් තනි ජාතික වර්ගවාදී ව්‍යාපාර සමූහයක්ද යන්න තීරණය කල යුතුව ඇත. 2024 දී නම් එම තීරණය ඉතා පැහැදිලිව පිළිබිඹු විය.
මෙමගින් අදහස් වන්නේ බොරුවට ජාතිකවාදී ලේබලය අලවාගත් තනි ජාතික චන්ද පදනමක් ඇති වර්ගවාදී ව්‍යාපාර රටට/ජනතාවට අනවශ්‍ය බව නොවේ. 1921 සිට වරින් වර වර්ගවාදී පක්ෂ උතුරේත්, දකුණේත් රජ විය. එය ජනතා මතය අනුව සිදුවේ. සිංහල ක්‍රමයට උතුර සහ නැගෙනහිර විරුද්ධ වන්නා සේම දෙමළ ක්‍රමයට දකුණ සහ බස්නාහිර විරුද්ධ වේ. 2024 එකමුතු කමින් සුවිශේෂී වූ සේම මීළඟ චන්දය යළිත් ජාතිවාදී සහ වර්ගවාදී පක්ෂ වලට වාසිසහගත විය හැක. 2024 සුන්නත්ධූලි වී ගිය වර්ගවාදී පක්ෂ වලට සැමදාම රජයන්නට නම් දූපත ජාතිය අනුව බෙදා තනි ජාතික රටවල් තුනක් සෑදිය යුතුය. නොඑසේනම් ජාතිකත්වය යනු සමස්ථ දූපතම තනි පක්ෂයක ජයට උරදීමයි. එය කල හැක්කේ සජබ (ප්‍රධාන විපක්ෂය) සහ ජාජබ (ආණ්ඩු පක්ෂය) පක්ෂ දෙකට පමණි. වෙන කිසිම පක්ෂයකට ජාතික පදනමක් නැත; ඇත්තේ තනි ජාතියක/වර්ගයක/ගෝත්‍රයක චන්ද පදනමක් පමණි.
උතුරු – දකුණු එකමුතුව සඳහා 1977 JR ඇටවූ බහුබූත චන්ද ක්‍රමය වෙනුවට යළිත් ඊට පෙර පැවතී චන්ද ක්‍රමය සුළු වෙනස්කම් ඇතුළුව ක්‍රියාත්මක කළ යුතුය. රටේ සියළුම පළාත්වල, වෙන් වෙන් වශයෙන් ඒ ඒ පළාතේ අඩුම තරමින් 10% ක චන්දයක් වත් දිනා ගත නොහැකි පක්ෂ වලට පාර්ලිමේන්තු ආසන හෝ ජනාධිපති පදවිය හිමි විය යුතු නැත. මෙමගින් ජාතිකත්වයෙන් හෙබි උතුර-දකුණ යා කරන පක්ෂ පමණක් සිරිලක පාලනය කරනු ඇත. එකමුතුකම රජයනු ඇත. ගෝත්‍රික පක්ෂ වලට වැට බැඳෙනු ඇත. 2024 දී සුන්නත්ධූලි වී ගිය වර්ගවාදී පක්ෂ දුහුවිලි කැට සේම පවතිනු ඇත.