ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
Posted on May 31st, 2025

Lanka Leader

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඉකුත් දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී පැවසුවේ කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් සභාපතිවරයා අවබෝධයකින් තොරව කරුණු දක්වා ඇති බවය.

මෙහිදී මත්තල, යාපනය සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සඳහා අපගමන බදු සහනයක් ලබාදීමට අදාලව රෙගුලාසි  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහෙත් එම රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති අපොහොසත් වීම හේතුවෙන් එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා  පැවසුවේ මෙහිදී සාකච්ඡා කෙරෙන කරුණු සම්බන්ධව තමන් මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණෙන තුරුම දැන නොසිටි බවයි.

මෙහිදී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම ආයතනයේ සභාපතිවරයා ලෙස එම ආයතනය ගැන කරුණු නොදැන සිටීම පුදුමයට කරුණක් බවය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා  රේගු දෙපාර්තමේන්තුවේ වසර 37ක් පමණ රාජකාරි සිදුකළ පුද්ගලයකි. 

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වේ.

කෙසේ වුවද මෙරට සිවිල් ගුවන් සේවාව සම්බන්ධයෙන් ඔහුගේ අවබෝධය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටිති.

මෙම තනතුරු වලට මෙවැනි පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයන් අනාවරණය කරන්නේ ජනාධිපති ලේකම් වරයාගේ හිතවතුන් මෙම තනතුරු වලට පත්කිරීම හරහා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress