කතිකා අවශ්‍ය නැත
Posted on August 24th, 2020

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු සියලූ පාර්ශ්වවල අදහස් සැලකිල්ලට ගතයුතු බවත් නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් විය යුත්තේ එම සියලූ පාර්ශ්වයන්ගේ මත නියෝජනය වන පරිදි බවත් හිටපු කථානායකවරයා වන කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබේ.

 හිටපු කථානායකවරයා 19 අහෝසියට පෙර පුළුල් කතිකාවක් පිළිබඳව මතයක් ගොඩන`ගන්නේ මන්ද? 19 අහෝසි කිරීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන ජාලය මෙන්ම කොළඹ ලිබරල් බුද්ධිමතුන්ද කැමති නැත. නමුත් ආණ්ඩුවට රටේ ජනතාව නොපැකිලිව තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නේ තනි පාලකයකු යටතේ නිවැරදිව රට ඉදිරියට ගෙන යෑමට මිස යහපාලනයේ මෙන් දෙපැත්තට අදින පාලනයක් ඇති කිරීමට නොවේ.

 19 නිසා රටට කිසිම යහපතක් අත්නොවූ බව බහුතර ජනයාගේ මතයයි. ඒ ගැන කිසිම තර්කයක් නැත. ජනාධිපතිවරයාගේ බලතල සීමාකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීම ඉක්මනින්ම සිදුකිරීම ආණ්ඩුවේ ප‍්‍රමුඛ අභිලාශය වී ඇති විටක හිටපු කථානායක නිවේදන නිකුත් කරමින් කියන්නට යන්නේ කවර මතයක්ද? ඔහු 19 අහෝසියට අකමැති බවද? යහපාලන රජයේ කථානායකවරයා ලෙස කටයුතු කරමින් ජයසූරිය මහතාද ව්‍යවස්ථාදායක සභාව හරහා තමන්ගේ බලය පතුරවමින් කටයුතු කළ බව රහසක් නොවේ. එම නිසාම 19න් රටේ පාලකයන් තිදෙනකු බිහිවිය. ජනපති අගමැති පමණක් නොව කථානායකටද බලයේ පංගුවක් ලැබිණි. මේ නිසා රටට අත්වූයේ යහපත නොව අයහපතකි.

 19 හරහා කථානායකවරයාට පොලිසිය මෙහෙයවීමේ බලයත් ලැබිණි. රට පාලනය කරන්නේ කවරකුදැයි නිසි ලෙස වටහා ගැනීමට නොහැකිවීම තුළින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට ඇති කළ විකෘතිමය තත්ත්වයක් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැක. ඒ විකෘතිය නිසාම සහරාන් ගේ කණ්ඩායමට රටේ ආරක්ෂාව විනාශ කර දැමීමට හැකිවිය. ලොව සාඩම්බර දේශයක් ලෙස ශ‍්‍රී ලංකාවට

 නැ`ගීසිටීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය කෙරෙහි ගෞරවය අත්‍යවශ්‍ය බවද කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති නිවේදනයේ අවධාරණය කර තිබේ. එහෙත් ලංකාවේ සාඩම්බරය 19 නිසා විනාශ වූ බව පැහැදිලිය. සාඩම්බරය නොව රටට කඳුලක් උරුම කරන්නට මේ නිසා හැකි විය.

 සුළු පිරිසකගේ වුවමනාව මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නට ගොස් රටේ ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අර්බුදයට ලක්විය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. හිටපු කථානායකවරයා කියන පුළුල් කතිකාවක් ඇති කිරීමට අවශ්‍ය නැත. සිදුවිය යුත්තේ පිළිකාව වහාම ඉවත්කර දැමීම පමණි.

 ශ‍්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීම වෙනුවෙන් දෙස් විදෙස් කුමන්ත‍්‍රණකරුවන් විසින් ඇටවූ උගුලක් ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතුය. ඒ සියල්ල එකවිට තබා පරාජය කිරීමට ඉකුත් වසරේ නොවැම්බරයේදී මෙන්ම මේ අගෝස්තුවේදීත් හැකිවිය. ජනතාවගේ ජනවරමට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් රජය ක‍්‍රියාත්මක විය යුතුය. විධායකය බලවත් වීම යනු රාජ්‍යයේ සුරක්ෂිතභාවය ශක්තිමත් වීමකි. ජනපතිගේ බලතල ඉවත් කර රට ඉදිරියට ගෙනයා නොහැක. එනිසාම හිටපු කථානායකවරයා කලබල වියයුතු නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress