කරුණාකර අපි දරුවන් සම්බන්ධව සිතන ආකාරය සම්බන්ධව යලි සිතා බලන්න.
Posted on November 22nd, 2020
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
“පුතේ මේ එන්නේ ඔබගේ පියායි. යන්න ඔහු ලඟට! ඔහුගෙන් ඔබට උරුම දායාදය ඉල්ලා ගන්න”
ඒ යසෝධරා දේවිය රාහුල කුමරුන් අමතා, පිඬු සිඟා වදිනා බුදුරජානන්වහන්සේ පෙන්නා පැවසූ වදන් වැලයි
බුදුරජුන් වෙතගිය රාහුල කුමරුන් තම මව පැවසූ ආකාරයෙන්ම තමන්ට උරුම දායාදය ඉල්ලුවිට සිදුවුයේ, යසෝදරාවන් අපේක්ෂාකළ දෙය නොවේ. බුදුරජානන්වහන්සේ රාහුල කුමරුන් සම්බන්ධව සිතු ආකාරයත්, යසෝදරා දේවිය රාහුල කුමරුන් සම්බන්ධව සිතා සිටි ආකාරයත් පරස්පර විරෝධී බැවින්, යසොදරාවන්ට ඇදහිය නොහැකි තත්වයකට පත්වීමට සිදුවිය. සිය සැමියා අහිමිව සිටි යසෝධරාවන්ට සිය දරුවාද අහිමිවීම සිදුවිය.
යසෝධරා දේවිය රාහුල කුමරුන් සම්බන්ධව සිතා සිටි ආකාරයත්, බුදුරජානන් වහන්සේ මේ කුමරුන් සම්බන්ධව සිතා සිටි ආකාරය සම්බන්ධව අහසට පොලව මෙන් දුරස්ථ බාවයක් තිබුණි. යසොදරාවන්ට සත් හැවිරිදි හුරතල් පුතෙක්වූ රාහුල කුමරු, බුදුරජාණන්වහන්සේ දුටුවේ සත් හැවිරිදි දරුවෙක් සේ නොවේ. විශාල කාල පරාශයක් පුරා භව තරණයක නිරත වෙමින්,පුළුල් දැනුම් සම්භාරයක් සහිත, නිර්වාණය අවබෝධකරගත හැකි ඥාණ ශක්තියක් ඇති දරුවෙක් සේය.
අපි අපේ දරුවන් ඔවුන්ගේ වයස් මට්ටමින් වර්ග කර සිතීම ඔවුන්ට සිදුකරන බලවත් අවමානයක් බවත්, එසේ සුදුකරන අප එසේ සිතීම නවතා දමා ඔවුන්ගේ ප්‍රශ්න කතා කිරීමේදී ඔවුන්ගේ දනුමටද මුල් තැනක් ලබාදී කටයුතු කරන්නේ නම් ඉතා ශුභවාදී ප්‍රතිපල අත්කරගත හැකි බව මට අද දින මනාව තේරුම් කර දුන්නේ මගේ සත් හැවිරිදි මිනිබිරියක විසිනි. පාසල් යන්නෙත් නැතිව සිය මිතුරු මිතුරියන්ගෙන් වෙන්ව, පාසලෙන් එවන පාඩම් කරමින් සිටින මේ දරුවන්ගේ මනස තේරුම්ගෙන ඔවුනට සැරකරන්නේ නැතිව ආදරයෙන් දරුවන්ගෙන් අධ්‍යාපන කටයුතු කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට මෙය අවස්තාවක් කර ගනිමි. ඔබේ දරුවා ඔබ තරමටම බුද්ධිමත්ය. එසේ සිතා කටයුතු කරමු. හැම විටම දරුවන්ව සතුටින් තබමු.