අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (1 කොටස)
Posted on September 13th, 2025
චානක බණ්ඩාරගේ
නුවරට කෝච්චියේ යනවිට අම්මා සමඟ ගමන් කල අවුරුදු 12ක පමණ හුරුබුහුටි පිරිමි ළමයෙක් ගෙදරින් ගෙනා විවිධ කෑම ජාති කා ඒවා ඔතා ගෙන ආ සෑම කොලයක්ම, අත පිසින කොළ, හිස් බීම බෝතල, ප්ලාස්ටික් බෑග්, පොලිතීන් ෂීට්, බට පවා, ජනේලයෙන් එලියට විසි කලේ එළිය කුණු පෙට්ටියක් කියා හිතා ගෙන වගේ. අම්මයි, පුතයි හරි හරියට මේ දේ කළහ. ඉදිරි පරම්පරාවත් අපගේ ඒ නරක සිරිත් දිගටම ගෙන යනවා නේද කියා ලොකු දුකක් ඇති වුණි. පේරාදෙණිය පසු වූ පසු, දුම්රිය මැදිරියේ සෙනග අඩුවූ කල, හොඳින් කියා පහදා දුන් විට දෙන්නම කැමැත්තෙන් පිලි ගත්තා ආයි කරන්නේ නැහැ කියා; පොරොන්දු උනා. කෝච්චියේ මැදිරි තුල කසල දැමීමට බඳුනක් තබන්නේ නම් හොඳයයි අප දෙගොල්ලම පිලිගත්තා.
රජයන්ට පමණක් බැන වැඩක් නැත; රටේ ජනතාව රට අපවිත්‍ර කරනවා නම්, තමන්ගේ යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටු නොකරනවා නම්, කවදාවත් රට, පරිසරය, (මෙයට ගංගා, මුහුද, අප හුස්ම ගන්න වාතාශ්‍රයද ඇතුලත්) පිරිසිඳුව තබා ගත නොහැකියි.
Clean Sri Lanka අසාර්ථක යයි අප කියන්නේ ආරම්භයේදීම එය මහජන ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත නොවුණු නිසයි. හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක, රජයේ සේවකයන් අල්ලා කරන ශ්‍රමදාන සෑම රජයක් විසින්ම කරන ලද්දක්. ශ්‍රමදානයේ යෙදෙන වෙලාවට ඒ අයට පඩි ගෙවනවා නේද?
පෝල් කගාමේ රුවන්ඩාව අප්‍රිකාවේ පමණක් නොව මුළු ලෝකයේම පිරිසිදුම රටක් බවට පත් කර ඇත. ඒ, ඔවුන් මාසිකව පවත්වන ‘ රුවන්ඩාව පිරිසිදු කිරීමේ දිනය’ නිසායි. එයට රටේ මුළු ජනගහනයම සහභාගී වේ. පෝල් කගාමේ, ඔහුගේ අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් සෑම මසකම අවසාන සෙනසුරාදා උදෑසන රට පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වෙත්.
ආරම්භයේ පටන්ම Clean Sri Lanka දැවැන්ත මහජන ව්‍යාපාරයක් විය යුතුව තිබුණි. – හැකි සෑම පුරවැසියෙකුම එයට අවශෝෂණය වන. එසේම, එය රුවන්ඩාවේ මෙන් අඛණ්ඩ ව්‍යාපාරයක් විය යුතුව තිබුණි.
එම ගම්‍යතාවය ආරම්භයේ සිටම එහි නොතිබුණි. දැන් එයට යළි පණ දිය හැකිද? නැත.
2025 ජනවාරි මාසයේදී AKD හට තිබු දැවැන්ත මහජන සහයෝගය, සෙනෙහස, ආකර්ෂණය, උද්ගෝෂණය අද නැත; අඩුවී ගොසිනි.
නැවත ගොඩ නැඟිය හැකියි.
තමන් ජීවත්වෙන ගේ දොර පමණක් නොව අවට පරිසරයත් පිරිසිඳුව තියා ගැනීම වැදගත්ය යන්න අපේ මිනිස්සුනට නොතේරීම ඔවුන්ගේ නුගත්කම නොවේ; ප්‍රධාන ලෙසම රට ගැන ආදරයක් නොමැතිවීමයි.
මේවා X, Y, Z පරම්පරාවනට පාසැල්වල උගන්වා නැත. දියුණු රටවල මේ දේ සිදු වේ.
නේපාලයේ තරුණයන් තම වටිනා දේපළ ගිණි තබා ගන්නේ මේ නිසායි. ජවිපෙ ත්‍රස්තවාදීන් 1971 සහ 1988 – 1990දී මේ දේම කළහ.
තම ගෙදර කුණු අතුගා, එය ඉතා හොඳට පිරිසිඳු කර, ඒ කුණු පාරට/එලියට විසි කරන ජනතාවකි මෙහි සිටින්නේ – ඔවුන් එසේ කරන්නේ අනෙකා ගැන අබමල් රේණුවක සැලකීමක් නොමැති නිසයි.
මේ පාරට දමන කුණු වලින් මියන්/කැරපොත්තැන්/මැස්සන් බෝවී තමන්ගේ ගෙදරටම ආපසු එන බව මේ අයට නොවැටහේ.
සමහර අයට මෙවැනි සතුන් තම නිවසේ සිටියත් ගානක් නැත. ඒවා නෑ මෙන් ජීවත් වෙත්. මේ අයගේ පව් ගෙවන්නේ සෙසු රට වැසියන් වන අපය.
පසුගියදා රාවණා ඇල්ල බස් අනතුරේ තුවාලවූ මගීන්ව රෝහල් වලට රැගෙන යන ඇම්බ්යුලන්ස් රථ වලට පාරේ ඉඩ නුදුන් රථවාහන රියදුරන් වුහ. ඒ තරමටම අපේ රටේ මිනිසුන් ආත්මාර්ථකාමී වී ඇත.
රටේ නායකයා නිති පරිදි රටේ ජනයාට කථා කල යුතුය. හොඳ දේ නිතරම කියා දිය යුතුය. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙය කළේය.
සිඩ්නිවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයා සිය බස් ටිකටය පාරේ විසි නොකර එය නිවසට ගෙන ගොස් කසළ බඳුනට දමයි. හැකි සෑම විටම පරිසරය පිරිසිඳුව තබා ගැනීමට ඒ ගැන අවධානය යොමු කර ක්‍රියා කරයි. Clean Up Australia දිනයදා උද්යෝගයෙන් එම වැඩසටහන් වලට සහභාගී වේ.
ඔහු ශ්‍රී ලංකාවට එනවිට ගුවන් යානයේ දුන් චෝකලට්යේ ඇසුරුම සාක්කුවේ දමා ගනී. නමුත් ශ්‍රී ලංකාවට පා තැබූ විගසම එය ගුවන්තොටුපොලේදීම බිමට විසි කර දමයි.
සිංගප්පුරුව, ඕස්ත්‍රේලියාව, ස්විට්සර්ලනතය, ජපානය වැනි රටවල් ඔය තරම් පිරිසිඳු ඒ රටවල ජනතාව තමන්ගේ පරිසරය සුරැකීමේ යුතුකම අකුරටම ඉටු කරන බැවිනි. බස් ටිකට් එකක් නැත්නම් කෝච්චි ටිකට් එකක්, කාපු හිස් චිප්ස් බෑග් එකක් වැනි දේ කසල දමන බින් එකක් ළඟ නැත්නම් සාක්කුවේ දමා ගෙන ගෙදර ගෙන ගොස් ගෙදර බින් එකට දමති. ඒ රටවල සිගරට් බට් එකක් කාර් එකකින් ඉවතට විසි කිරීම පවා නිතිය කැඩීමක්. රටට ආදරය කරන ඒ මිනිසුන් ඉතා විනය ගරුක වී අවට පරිසරය තමන්ගේම භූමිය ලෙස සිතා පරිස්සම් කරත්. වැරදි කරන අයට කියා දෙනවා, සමහරවිට අල්ලා දෙනවා.
සිංගප්පුරුවේ මිනිස්සු චුවින් ගම් හපා හපය කෝච්චිවල ස්වයංක්‍රිය දොර පීලි වල අලවා යන සිරිතක් තිබු නිසා කෝච්චි වල දොරවල් නොවැසිමේ තත්ත්වයක් ඇති විය. ඒ රජය ඒ රට චුවින් ගම් අලෙවි කිරීම තහනම් කිරීමේ නීතියක් ගෙනාවේය. එය අදත් තිබේ. කෝච්චි දොරවල් හරියට වැඩ කරයි. රට ඉතාම පිරිසිඳුයි.
මනම්පිටියේ ඉස්පිරිතාලේ කුණු ගෙනිහින් දාන්නේ වල් අලි ඉන්න කැලේට ආසන්න තැනකටයයි පැවසේ. ඒ කුණු අතර ලේ තැවරුණු බැන්ඩේජ්, ඉන්ජෙක්ෂන් සිරින්ජ්, බාගෙට හිස් වෙච්ච බෙහෙත්/සේලයින් බෝතල් එහෙම තිබේ. ඒ කුණු කන අලින්ගේ බඩවැල් වල මොන තරම් දේ ඇද්ද? මේ සත්තු ඉක්මනට මැරෙනවා විය යුතුයි.
කැලේ සිටින අලි අම්මලාගෙන් පැටවූන් සොරකම් කරන කරන කාලයක් මේ රටේ තිබුණි. නැවත කිසිදා එවැනි කාළයක් උදා නොවේවා!
මුහුද ආශ්‍රිත වැසියන් මුහුදට කුණු කුණු දමා සමහර උද්‍යාන, මුහුදු වෙරළවල් අද කැත කුණු ගොඩවල් කර ඇත. අනුන්ගේ හෝ මහජන/රජයේ ඉඩම් වල තමන්ගේ කුණු දමන අයට අපරාධමය දඬුවම් දිය යුතුයි. ඉතා දැඩි දඩයන් ගැසිය යුතුයි.
කුණු ලොරිය නොඑන ප්‍රදේශවල අය කුණු මුහුදට දමනවා වෙනුවට වලක් කපලා කුණු දැමීම කල යුතුයි. කුණු ගොඩවල් නම්, වේළුණු කුණු කාලයෙන් කාලයට පුළුස්සා දැමිය හැක.
බොහෝ ප්‍රදේශවල දැන් කුනු ලොරිය/ට්‍රැක්ටරය සතියකට වරක් හෝ දෙවරක් පැමිණ කුණු එකතු කරගෙන යයි. ඉතාමත්ම හොඳ දෙයක්. ඒත්, සමහරු කුණු ටික අතුගා පාරට හරි වෙන කාගේවත් ඉඩමකට හරි වෙරළට හරි දමති. මේ මෝඩ මිනිස්සු හිතන්නේ තමන්ගේ ගෙවත්ත විතරක් පිරිසිඳුව තබා ගත්තොත් ඇතියි කියායි.
හැටන් -නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ දිඹුල සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල අසල, නුවරඑළිය ප්‍රාදේශීය සභාව මඟින් ඒ අසල කැලිකසල බැහැර කිරීම සඳහා ස්ථාන කීපයක ප්ලාස්ටික් බදුන් සකස් කර තිබුනත්, එම මාර්ගයේ නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන් එම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට තමන් රැගෙන එන ආහාරපාන අනුභව කර, ඉවත ලන ප්ලාස්ටික්,පොලිතින් සහ ඉතිරි කසල ද්‍රව්‍ය එම ඉවතලන බදුන් වලට නොදමා, අවට දර්ශනීය පරිසරයටම මුදාහරිත්. ඔවුන් ප්‍රිය කරන පරිසරය ඔවුන් විසින්ම විනාශ කරගන්නවා නේදැයි ඔවුන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.
කිරිවෙහෙර මාර්ගයේ ගමන් කරන ගොඩක් අය පුදබිම ගැන අබමල් රේණුවක්‌වත් නොසිතා, පලතුරු කා, කොටස් කසළ බඳුන් පෙනි පෙනී, කිරිවෙහෙර මාර්ගයේ දමා යති.
කන්ද උඩරට පලාතක දිසා ලේකම් තුමෙකුට අනුව ඒ දිස්ත්‍රික්කයේ අපයෝජනය නොවූ එකදු ජල පෝශිතයක් වත් නැති තරම්ලු. බොහොමයක් දිය උල්පත්, දිය ඇලි වල වතුර අපවිත්‍ර වෙන්නේ විශේෂයෙන්ම වතුවල ජනයා තම වැසිකිලි, කුස්සි, නාන කාමර ආදියේ අපද්‍රව්‍ය එම ජල පෝෂිත දෙසට හරවන නිසාලු. මේවාට ඒ මිනිසුන්ට දොස් තබනවාට වඩා ආදාල නිලධාරින්විසින් තම සේවා කටයුතු නිසි ලෙස නොකිරීම බලපානවා.
අතීතයේදී දරුවෝ අරගෙන ගෝල් ෆේස් ගිහින් රැල්ල පෑගුවා. පෝට් සිටියට පින්සිද්ද වෙන්න ඒ තිබිච්ච වෙරළ දැන් නැහැ, උරහිස ගාවට වතුර එන වෙලාවල් බොහෝයි. ගෝල්ෆේස් එකේ මුහුදට බසින පඩි පෙලවලුත් මුළුමනින්ම වගේ ගලවලා දාලා.
ඔය පෝට් සිටියෙන් නව ගල් බැමි වලින් නවත්තපු මුහුදු රැල්ල වෙන කොහෙන් හරි වෙරළටම ගහන්නම ඕන, ස්වභාව ධර්මය එයයි. මේ නිසා කොල්ලුපිටියේ ඉඳලා ගල්කිස්ස පැත්තට මුහුද කෑම වැඩියි.
පසුගිය සතියේ මුහුදු කෑම නිසා වැල්ලවත්ත කින්රෝස් ක්ලබ් එකට දැඩි අලාභ හානි සිද්ධ වුනා. ඉතා කණගාටුදායක දර්ශනයක්.
දැඩි මුහුදු රළ නිසා ගෝල් ෆේස් එකේ පවා තියෙන ගල් බැම්ම නිතර අලුත්වැඩියා කරන්න වෙයි. අනිත් පැත්තෙන්, මුහුදු කෑම මෝදර, උස්වැටකෙයියාව, පමුනුගම, මිගමුව පැති වලට ඉතාම දැඩි වෙලා – සමහරවිට හලාවත දක්වා. ඉතාම වටිනා ඉඩම් මේවා.
වත්තල, ජා ඇළ පැත්තේ මූදු කෑම වැඩි පෝට් සිටියේ නැව් පැමිණ ගැඹුරු මුහුදේ තිබෙන වැලි හාරා රැගෙන යන නිසායි. දැනටත් මේ දේ සිද්ධ වෙනවා – බොහෝ විට රෑට. වෙරළේ පන්දම්, ටෝච් උස්සා කෑ ගැසූ අසරණ මිනිස්සු ඉන්නවා.
එක්ස්ප්‍රස්ස් පර්ල් මහා නවූකා අනතුර නිසා අදටත් ඒ පැතිවල පරිසර හානි සිද්ධ වෙනවා. නැවේ තිබුණු ප්ලාස්ටික් හදන කැට වැනි දරුණු රසායනික ද්‍රව්‍ය ගොඩට ගසනවා. මේවා නිසා මැරුණු මාළු සෙත්තප්පාඩුව වැනි වෙරළට ගියොත් දැක ගන්න පුළුවන්.
ඉන් අපට හිමි වන්දිය නැව් සමාගම නොගෙවන්නේ මන්ද? රජයට නිශ්ශබ්ධව සිටින්න බැහැ.
සමන් ගිරේ පිරිසිඳු උල්පත් වලින් පටන් ගන්නා කැළණි ගඟ කොළඹ මෝදර මෝය කටින් මුදට ගොඩ බසින තැනට ගිහින් බැලුවහම පුදුම හිතෙනවා, ගඟ අරන් එන මහා කුණු කන්දරාව දැක්කහම. හැතැප්ම 90 දික්වූ කැළණි ගඟ ඒ ගලන කාලයේදී ටොන් ගණන් කැලි කසළ රැගෙන පහලට ගලනවා.
මොන තරම් විනාශයක් ගඟට, මුහුදට වෙනවා ඇද්ද, විශේෂයෙන්ම එවායේ වාසය කරන ජීවීන්ට?
කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය, බෙලෙක්, ප්ලාස්ටික්, පොලිතින්, ගෙවල් වලින් හරවන ටොයිලට් සහ වෙනත් අප ද්‍රව්‍යය, වාහන සර්විස් ස්ථානවල කුණු තෙල්, ග්‍රීස් ආදිය මේ සමඟ වෙනවා. මහ මුහුද මේ අපද්‍රව්‍ය බාර ගෙන, නැවත අප වෙතටම දෙනවා.
මෝදර සිට මිගමුව දක්වාවූ මුහුදු තීරය දිනපතාම මේ අපද්‍රව්‍යය මහ මුහුද විසින් බැර කරන ස්ථාන. ඒ වෙරල තිරය පමණක් නොවෙයි මුහුදු වෙරල ආශ්‍රිත මුහුදේ වතුර පවා ඉතා අපිරිසිඳුයි.
ලංකාවේ අනිත් ගංගා වල තත්ත්වයත් මෙයමයි. ගංගා වලට කුණු හරවන ව්‍යාපාර ආයතන, පුද්ගලයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.
සමහර ෆැක්ටරි පොලව යටින් වලලපු බට මඟින් කැළණි ගඟට අපද්‍රව්‍ය හරවලා තියෙනවලු අල්ලන්න බැරි විදියට.
කැළණි ගඟෙන් මෝදරිදී මුහුදට වැටෙන කුණු අපද්‍රව්‍ය මීගමුවේ පිටිපන වෙරලේදී (km 35ක් විතරින් එහා), යලි දකින්න පුළුවන්.
තමන්ගේ මට්ටකුලියේ කෝවිලකදී නැතිවෙච්ච සෙරෙප්පු දෙකෙන් එකක් වැල්ල පාගද්දී කැපුන්ගොඩ වෙරළේදී හඳුනා ගත්ත අම්මෙක් හිටියා.
ලොව තර්ජනයට නතුවී ඇති ගංගා 10ට කැළණි නදිය අයත් බව International Rafting Federation එක සිය වෙබ් අඩවියෙන් දක්වනවා.
කැළණි ගඟ කිතුල්ගල පැත්තේදී ඉතා කදිමයි, චමත්කාර ජනකයි. ලොව නන් දෙසින් එහි ඔරු පදින්න සංචාරකයන් එනවා; ඒ මඟින් කිතුල්ගල/ගිනිගත්හේන ප්‍රදේශවලට හොඳ ආදායමක් ලැබෙනවා. නමුත්, යෝජිත කිතුල්ගල ජල විදුලි බලාගාරයෙන් කැළණි ගඟ ඒ පැත්තේදී ‘මරා’ දමන්න පුළුවන්.
මුළු කොළඹටම පානිය ජලය සපයන්නේ ලබුගම, කලටුවාව සහ අඹතලේ ජලාශ වලින්; ඒවායේ කොටසක් කැළණි ගඟේ වතුර. සමහර ජලාශවල ෆිල්ටර් වලට පෙරන්න බැරි තරම් රොන්මඩ සහ වෙනත් අපද්‍රව්‍ය එකතුවෙනවලු මේ වතුරට.
සෑම මැයි දිනයකම පෙළපාලි, උත්සවය අවසන්වූ පසු රැස්වීම් භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ ආදර්ශය ජවිපෙ දේශපාලන පක්ෂය ක්‍රියාවෙන්ම කර පෙන්වූවා. ඉතා විශිශ්ට ක්‍රියාවක්. අන් සැම පක්ෂයක්ම මහා කසළ ගොඩවල ඉතිරි කරලයි රැස්වීම් භූමීවලින් පිටත්ව ගියේ.