කතානායක පුටුවට අපලයක් වගේ.. පුද්ගලික ලේකම්ට එරෙහිවත් පැමිණිල්ලක්..
Posted on February 7th, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන චමීර ගාල්ලගේ යන අයට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත පැමිණිල්ලක් යොමු කර ඇත. 

පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කිරීම මෙම පැමිණිල්ලට මූලික හේතුව වී තිබේ.

වාර්තා වන අන්දමට, මෙම අර්බුදය හටගෙන ඇත්තේ පිළිගැනීමේ අංශය වෙත පෞද්ගලික ලේකම්වරයා ලබාදුන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. 

මෙයින් කෝපයට පත් චමීර ගාල්ලගේ මහතා, අදාළ නිලධාරියාව සිය කාර්යාලය වෙත කැඳවා ඇති අතර එහිදී ඔහුගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින් බැන වැදී තර්ජනය කර ඇති බව පැවසේ. විශේෂත්වය වන්නේ මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී කථානායකවරයා ද එම ස්ථානයේ රැඳී සිටීමයි.

මෙහිදී මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු පරිශීලනය කිරීමට කථානායකවරයාට හෝ ඔහුගේ ලේකම්වරයාට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවයි. එවැනි කටයුතු සිදු කිරීමේ පරම බලය ඇත්තේ ලේකම් මණ්ඩලයට පමණක් බව ඔහු අවධාරණය කරයි.

මෙම සිද්ධියට අමතරව, චමීර ගාල්ලගේ මහතාට එරෙහිව තවත් බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. දැනට සේවය අත්හිටුවා සිටින නියෝජ්‍ය මහ ලේකම් වමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ කරුණු අතර, කථානායක ලේකම්වරයා නිසි පරිදි මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගන්නා බවට වන චෝදනාව ද ඇතුළත් වේ.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress